කලා ගුරු එච්.ඒ. කරුණාරත්න ගැන මගේ මතකය අවදි කරන්නේ මහත් ආස්වාදයකින් යුතුව ය.
ඔහු ලංකාවේ සුලබ අධ්‍යාපන ක්‍රමවේදය තුළ දී හමුවෙන ගුරුවරයකු වුවත්, ඔහු වෘත්තීය ගුරුවරයකුට එහා ගිය මග පෙන්වන්නකු ලෙසින් හැදින්වීමට මම කැමැතියි. මට එසේ සිතෙන්නේ, ඔහු ඇසුරේදී මා ලැබූ අත්දැකීම් නිසා ය. ඒ වගේම ඔහුගේ නිල ගෝලබාලයින්, තම ගුරුවරයා වූ එච්.ඒ. කරුණාරත්න මහතා ගැන කියන කතා අසා තිබෙන නිසා ය. ඔහු අපට හමුවෙන සාම්ප්‍රදායික සුලබ ගුරුවරයාට එහායින් සිටින්නෙකි.

නිවුණු, දියුණු, තියුණු, ශක්තිමත්, නිර්භීත මනසකින් යුතුව විවෘතව සමාජ ජීවිතය දෙස බලන්නකු වූ එච්. ඒ. කරුණාරත්න මහතා මට හඳුනා ගැනීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස මම සලකමි. එය අහම්බෙන් සිදුවූවක් විය.
සම්ප්‍රදායික නොවන විශ්වවිද්‍යාලය
උසස් අධ්‍යාපනය ලැබීම මට සිහිනයක් වූයේ ආයතනයේ පැවැත්ම සදහා වූ තාක්ෂණික “හුටපටයක්” නිසා ය. නමුත් මට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සම්ප්‍රදායික නොවන විශ්වවිද්‍යාලයකට ඇතුළුවීමට අවස්ථාවක් ලැබුණි. උපාලි පුවත්පත් සමාගමේ “දිවයින ඉරිදා සංග්‍රහය” සහ “දිවයින දිනපතා පුවපත” එම සම්ප්‍රදායික නොවන විශ්වවිද්‍යාලය යි. ඒ 1981 දීය. “දිවයිනේ” කතෘ මණ්ඩල චිත්‍ර ශිල්පියා ලෙසින් පත්වීම ලද මට එවකට පැවැති “පුවත්පත් කලාවේ” චිත්‍ර ශිල්පියා ගේ කාර්යභාරයට එහා ගිය කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය විය. ඒ බව ප්‍රකාශ කිරීමෙන් පසුව සාකච්ඡා සම්මන්ත්‍රණ අවසානයේ ඒ සඳහා පුවත්පතේ ප්‍රධාන කතෘ එඩ්මන් රණසිංහ මහතාත්, සහකාර කතෘ දයාසේන ගුණසිංහ මහතාත්, එවකට කළමනාකාර අධ්‍යක්ෂවරයාව සිටි ලෙස්ලි ධර්මරත්න මහතාත් එම අදහසට එකඟ විය; උපකාර කළා ය; නිදහස දුන්නා ය.
ජීවිතයේ ලද වටිනා ම ඔත්තුව
රාජකාරී වැඩ කටයුතු නිම කළ මට චිත්‍ර විෂය වැඩිදියුණු කර ගැනීම සඳහා අභ්‍යාස කිරීමටත්, ගුරුවරුන් හමුවීමටත් ඉඩකඩ සකසා දුන්නේ ඉහත කී මහත්වරුන් තුන්දෙනා ය. ඒ ලද අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන අත්පත් කරගත්තා යයි මට අද සිතේ. මම රජයේ චිත්‍ර කලා විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිවරයකු වූ ස්ටැන්ලි අභයසිංහ මහතා යටතේ “ඇකඩමික” චිත්‍ර කලාව පිළිබඳව වැඩිදුර ඉගෙන ගත්තේ ය. එම කාලයේ මගේ මිතුරන් ලෙස සමීපයෙහිම සිටියේ එම කලා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කිංග්ස්ලි ගුණතිලක, චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, මොන්ටි සෙනරත් කොළඹගේ, කරුණාසිරි විජේසිංහ, අතුල මෙන්ඩිස්, සෝමරත්න සිල්වා යනාදි අද කලා ලොවේ හිණි පෙත්තේ රැදී සිටින කලාකරුවන් පිරිසකි.
1981 වර්ශයේ දී පටන්ගත් "දිවයින" පුවත්පත, “ශ්‍රී ලංකාවේ පුවත් චිත්‍ර කලාවේ” දිශානතිය උඩු යටිකුරු කළේ ය. මෙයට හේතු වූ සීමිත පිරිස අතර සිටි එක් ප්‍රධාන චරිතයකි කලා ගුරු එච්.ඒ කරුණාරත්න මහතා. දිනක් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ඉගෙනුම ලබන අතුල මෙන්ඩිස් මිත්‍රයා මා වෙත පැමිණ අපූරු ආරංචියක් මට කීවේ ය.
“මචං... දැන් උඹ ස්ටැන්ලි අභයසිංහ සර්ගෙන් ඉගෙන ගන්නවා නේ. ඔන්න උඹ තවත් ඉගෙන ගන්න වටිනා චරිතයක අවධානයට ලක්වෙලා තියෙනවා.”
“කවුද ඒ?”
“එච්.ඒ. කරුණාරත්න සර්”
“අද කොලෙජ් එකේදි මරු වැඩක් උණා බන්. “දිවයින” පත්තරයක් බල බල ඉඳිද්දි සර් කිව්වා මේ පත්තරේ මරු “ඉලස්ට්‍රෙෂන්” වගයක් යනවා. ඒවා වෙනස්. හැබැයි ඒවා අඳින්නේ අපේ කොලෙජ් එකේ ඉන්න කෙනෙක් නං වෙන්න බෑ” කියල.
“මචං ඔන්න දොර ඇරුණා. උඹ ගිහිල්ලා එච්.ඒ සර්ව හම්බවෙලා කතා කරලා එයත් එක්ක ඉගෙන ගන්ට පුළුවන්ද බලපන්.”
මම නුගේගොඩ නාලන්දාරාම පාරේ වූ එච්.ඒ. කරුණාරත්න සර්ගේ නිවසට ගියේ ඔය ඔත්තුවට අනුවයි.
අපූරු ගුරු ගෝල සම්බඳතාව

විශාල සුදු තාප්පයක කුඩා කළු ගේට්ටුවකට මා තට්ටු කරේ එච්. ඒ. කරුණාරත්න සර් හමුවීමටයි. දොර විවෘත විය. කුඩා ගස් කීපයක් සහිත මහ කැලෑවක්, පාට පාට මාළුවන් පිරිණු කුඩා පොකුණක්, එය නඩත්තු කරමින් සිටි සිනහ පිරි මුවක් සහිත මිනිසෙක්.
“සර්. මම ආවේ එච්.ඒ. කරුණාරත්න සර්ව හමුවෙන්න.”
“ඔව් කවුද මේ? මොනාද මගෙන් කෙරෙන්න ඕන?”
“සර්. මගේ නම ශාන්ත කේ. හේරත්”
“ආ.. ඔයා ද අර “දිවයින” පත්තරේට අමුතු විදිහේ චිත්‍ර අඳින්නේ?”......
“එන්න එන්න ඇතුළට ගිහින් වාඩිවෙන්න. මං ඇඳුමක් දාගෙන එන්නම්”
එදා ඒ හමුවීම කලාව සමග බැඳුණු අපූරු ගුරු ගෝල සම්බන්ධතාවයක් ඇති කිරීමට සමත් වෙතැයි කිසිවකු කිසිවිටක සිතන්නට නැතුව ඇත.
ගුරුවරයකු ඉක්මවා යන මග පෙන්වන්නා
ඔහු සාම්ප්‍රදායික ගුරුවරයකු ලෙස බොහෝ සාම්ප්‍රධායික ශිෂ්‍යයන් තුළ විශේෂ ජනප්‍රියතාවයක් ඇතිකර ගත් බවක් පෙනෙන්නට නැත. නමුත් ඔහු කාගේත් ගෞරවයට පාත්‍ර වූයේ ඔහු තුළ තිබුණු විශේෂ ගතිලක්ෂණ සහ නොසැලෙන අරමුණක සිට ක්‍රියා කරන්නෙකු වූ නිසා විය හැකිය. මේ අත්දැකීම් නිසා එච්. ඒ. කරු සර් තුළ ගුරුවරයකු ඉක්මවා යන මග පෙන්වන්නෙකු ලෙස නිවැරදිව හඳුනා ගැනීමට මට මට භාග්‍යය හිමිවිය. මම විසල් පරාසයක් තුළ දැනුම එක්රැස් කරන්නෙකු බවට පත්වූයේ එච්.ඒ. කරු සර් වැනි සාම්ප්‍රධායික නොවන ගුරුවරු පිරිසක් ඇසුරුකිරීමට ලැබුණු නිසා ය. ඒ අතරින් ප්‍රධාන වන්නේ තිස්ස ගුණවර්ධන, ස්ටැන්ලි අභයසිංහ, බන්දුල පීරිස් යනාදිහු ය.
විලක් මෙන් පල් නොවූ ප්‍රභල, ගැඹුරු දිය දහර
එච් .ඒ. කරු සර්ගේ ගේ නිර්මාණ දැඩි ය; ස්ථිර ය; නිර්මාණාත්මක ය; වර්ණවත් ය; සියුම් ය; යටි පෙළ අරුත් ඒ තුළ සඟවා ඇති බවක් ද හැඟවේ. ඔහුගේ නිර්මාණ බිහිවන මුල් වකවානුව තුළ දී ම සමකාලීන සමාජය තුළ සුලභ චිත්‍ර කලාවේ මූලික ගති ලක්ෂණ මෙන්ම ඒ තුලින් “වියුක්තව” ගමන් කළ බවක් ද පෙනේ. මෙය ශ්‍රී ලාංකික චිත්‍ර කලාවේ “වියුක්ත කලාවේ” පෙර ගමන්කරු ලෙස හැදින්වීමටද හේතුවෙනවා ඇත. නමුත් අනූව දශකය වෙනවිට එච්. ඒ. කරු සර් කැන්වසය පිච්චීම, නූල් කැබලි, ඇණ, තහඩු කැබලි එකලස් කරමින් තම නිර්මාණ තව තවත් අපූර්වත්වයට පත්කරීමට ගත් උත්සාහය මගේ සිත් ගත්තේ ය. එමගින් ඔහු “සමකාලීන” චිත්‍ර කලාවේ ද පෙරගමන් කරුවෙකු ලෙස සිය සලකුණ තබා ඇත. ඔහුගේ නිහඬ, හුදකලා ක්‍රියාත්මක වීම තුළ ප්‍රභල වැඩ කොටසක් සිදුවී ඇති බව පෙනේ. ඔහු එක තැනක, එක ලෙසකින් විලක් මෙන් පල්වෙමින් නොසිට ප්‍රභල, ගැඹුරු දිය දහරක් ලෙස පරිසරයට අභියෝග කරමින් ගලා යයි. එය විචිත්‍රවත්ය.

මේ නිසාම සාමාන්‍ය ජනතාව අතර එච් .ඒ. කරු සර්ගේ මේ චිත්‍ර පිළිබඳව කුකුසක් මෙන්ම, ප්‍රශ්නාර්ථයක් ද පවතී. නමුත් කිසිවෙක් ඔහු ප්‍රතික්ෂේප නොකරයි. කෘතියේ ඇති සංකීර්ණ, ගැඹුරු බව පිළිබඳව දුරස්ථව සිට සමීප වීමට උත්සාහ කරන බවක් ද දකින්නට ලැබේ.
අපිට ගොඩනගාගත නොහැකි වූ සමාජය
බොහෝ මිනිසුන් අතර එච් .ඒ. කරු සර් ගේ නිර්මාණය ප්‍රහේලිකාවක්, ප්‍රශ්නාර්ථයක් වී තිබෙන බව නොරහසකි. එච්.ඒ කරු සර් ඒ ප්‍රහේලිකාව ලිහා පෙන්වීමට, විසදීමට කටයුතු නොකළ අතර ඔහු ප්‍රහේලිකා නිර්මාණය කිරීම ද නවත්වා නොමැත. ඔහු පවසන්නේ....
“ නිර්මාණය රසවිදීමට රසිකයාගේ කැපවීම මෙන්ම උන්නන්දුවත් ඔන වෙනවා. ඒක, එක එක අයට ඔවුන්ගේ දැනුම, ශක්ති ප්‍රමාණය මත නිර්මාණ රසවිදීමට ඉඩ කඩ සකස් කළ යුතුයි. හැමෝට ම එක හා සමානව මේවා ග්‍රහණය කරගන්න එකවර ම බැරිවෙයි.”
සමාජයක විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, විශ්වවිද්‍යාල ප්‍රජාව, පුද්ගලික සමාජ ක්‍රියාකාරකම්, රාජ්‍ය ආයතන කලාව ජනතාව අතරට ගෙනයෑම සඳහා යටිතල පහසුකම් ඉතා සියුම් ලෙස සකස් කළ යුතු ය. එවිට කාලා කෘතිය සහ පොදු ජනතාවට සමීප සබඳතාවක් ඇතී වේ; දුරස්ථ බව නැති වේ. එමගින් රටක සංස්කෘතික මිනිසා බිහිකරගත හැකි ය. තවමත් අපිට එවැනි සමාජයක් ගොඩනගා ගැනීමට නොහැකිව ඇත.
මේ නිසාම සමහරු එච්. ඒ.කරුණාරත්න කරන වැඩ ඔවුන්ට නොතේරෙන බව පවසයි. ඒ ඔවුන්ට මේ විෂය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නොමැති නිසා බව කියා ඇඟ බේරා ගැනීමට ඔවුන් උත්සාහ කරයි. නිදහසට මෙසේ කියන ඔවුන් කලාකෘතියක් රසවිදීමට උත්සාහ නොකරයි. අපේ අධ්‍යාපනය හෝ සමාජය තුළ ද ඊට ඇති ඉඩ කඩක් නැති තරම්ය. නමුත් ඔවුන් වෙනත් විෂය හදාරා ඒ පිළිබද ලැබූ දැනුම මත, ඔවුන් නොදන්නා මේ සියුම් කලාව පරිපාලනය කිරීම සදහා තීන්දු තීරණ ගනී. මෙවැනි තත්ත්වයක තවමත් එච්. ඒ. කරු සර් වැනිවුන් හුදකලාව කලා නිර්මාණ කිරීම ගැන සාකච්ඡා කිරීම වැදගත්වේ. සමහරු 'අපිටත් ඕවා කළ හැකියි' කියමින් ඔහු අනුකරණය කිරීමට උත්සාහ කර ඇත. එසේ කිරීමට ගියවුන් කොතරම් අසරණ වූයේද යත් ඔවුන්ගේ අනුකාරක කෘති පරීක්ෂාවේදී පිළිබිඹු වේ.
සාම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයට ඔබ්බෙන් තවත් අධ්‍යාපන ක්‍රමවේද
මෙවැනි හේතු නිසා එච්. ඒ. කරුණාරත්න මහතා ගේ නිල ගෝලයින් පවා ඔහු ගේ ඉගැන්වීමේ ක්‍රමය හරි හැටි අවබෝධ කරගත්තා දැයි ප්‍රශ්න මතුවිය හැකි ය. ඔහු ගේ ඉගැන්වීමේ ක්‍රමය ඉතා සරලය. ඔහු කිසියම් ස්ථානයකින් නිර්මාණය සිදුරු කරගෙන ඒ තුළින් කැන්වස් එක තුළට කිඳාබැසීමටත්, ඒ ගමනේදී ලබන අත්දැකීම් තමන් ගේ ඉදිරි ගමන්මග යෑමට ශක්තියක් කරගන්නැයි පොළඹවයි. එය තේරුම් ගැනීම පහසු නැත. ඒ මගෙහි ගමන් කිරීම වෙහෙසකර ය. එය දුශ්කර මගකි.
බෞද්ධ සාහිත්‍යයේ එන “නන්ද කුමාරයා ගේ” කතා ප්‍රවෘත්තියේ දී බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා “නව දැලි හේන” හරහා “දිව්‍ය ලෝකයට” ගෙන ගියේ ද මේ ආකාරයට නොවේ දැයි මට සිතේ.
බුදුරජාණන් වහන්සේ ගේ මුවෙන් පිට වූවා යයි කියමින් සාහිත්‍යකරුවා ධර්මය කියාදීමට ගොස් නැත. බුදුරජානන් වහන්සේ නන්ද කුමරු රැගෙන ගිය මාර්ගය ඔහු විචිත්‍රවත්ව පවසයි. නන්ද කුමරු යන මාර්ගයේ දී දකින දෙයින් පාඩම් ඉගෙන ගත්තේ ය. ඔහු දුටු දෙයින් ලැබූ අත්දැකීම් මගින් ඔහු යමක් පසක් කර ගත්තේය. ඒ අවබෝධකරගත් දැනුම ඔස්සේ ඔහුගේ ජීවන දර්ශනය සහ ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඇත. ඒ වෙනස නන්ද කුමාරයා විසින් ම සිදු කරගත් දෙයකි.

එච්. ඒ. කරුණාරත්නගේ ඉගැන්වීමේ ක්‍රමවේදය ඉහත කී බෞද්ධ සාහිත්‍යයේ ඇති ක්‍රමවේදයට ඉතා ආසන්නය. නන්ද කුමරුට මග පෙන්වූ ලෙස බුදුන් වහන්සේ “සෝපාකට” මග පෙන්වූයේ නැත. “චන්න හාමුදුරුවන්ට”, “ ආලවක යක්ෂයාට” මග පෙන්වූයේ තවත් ක්‍රමයකටය. ඒ සම්බන්ධයෙන් ම බෞද්ධ සාහිත්‍යයෙන් තවත් උදාහරණ ගෙනහැර පෑ හැකිය. මම කියන්ට උත්සාහ කරන්නේ සාම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයට ඔබ්බෙන් තවත් අධ්‍යාපන ක්‍රමවේද තිබෙන බවයි.
නිහඬව ම තමන් පාලනය කරන්නා
බෞද්ධ සාහිත්‍යයේ එන ආකාරයට විවිධ පුද්ගලයින් ගේ දැනුම් මට්ටම විවිධ ආකාරයට වෙනස් වේ. ඒ අනුව ධර්මය හෝ අදාළ විෂය තමන්ට තේරුම් ගැනීම හෝ දිරවා ගැනීම සිදුවේ. ගුරුවරයා ප්‍රඥාවන්තයකු වන තරමට තමා ඉදිරියේ සිටින්නා ගේ දැනුමට ගැළපෙන ආකාරයට දැනුම අත් කර දීම සඳහා මාර්ගය පෙන්වා ඇත. ඒ සදහා විවිධ ක්‍රම උපාය පාවිච්චි කරන ආකාරය ද බෞද්ධ සාහිත්‍යය කියවන්නෝ ඉතා හොඳින් දනිති. කලා කෘතිය රස විදීම එලෙස ම ය. එච්. ඒ. කරු සර්ගේ නිර්මාණ ලෝකයේ පදනම බෞද්ධ දර්ශනය යි.
එච්. ඒ. කරු සර් ඉතා සරල චාම් ගති පැවතුම් ඇත්තෙකි. ඔහු ඉදිරියේ සිටින පුද්ගලයාගේ කනට ඇසෙන නෑසෙන තරමේ ශබ්දයෙන් කතාකරන අයෙකි. ඒ බව ඔහු ඇසුරු කරන අය හොඳින් ම දනිති. බොහෝ වාද තර්ක විතර්ක වන අවස්ථාවල දී ඔහු මඳ සිනහවක් පා එයින් මගහැර යන අයෙකු බව මම ඉතා හොඳින් දැක තිබේ. තමන් උපහාස, අපහාස ලබන විටදී පවා ඔහු සිනාසේ. සරල පිළිතුරක් දී එතනින් මගහැර යයි. එසේ කරන්නේ එම වාද විවාදවලට ඔහුට පිළිතුරු දීමට නොහැකි නිසා නොවේ. තමා ඉදිරියේ සිටින ප්‍රතිවාදියා තර්කයෙන් විතර්කයෙන් පෙරළා සමතලා කර දැමිමට තරම් දැනුමක්, ජවයක්, ශක්තියක් ඔහුට තිබුණු බව මම හොඳින්ම දනිමි. ඒ ශක්තිය ඔහු පාවිච්චි කළේ සිය නිර්මාණ සඳහාය.
ඔහු නිහඩව තමන් පාලනය කරගනී. ඔහු තුළ ඇති වේගය ශක්තිය අභ්‍යාස කිරීම හරහා ලබා තිබුණු විනය ශික්ෂණය මගින් පෙරා නිර්මාණට මුසුකරයි. ලංකාවේ බොහෝ දෙනකුට තේරුම් ගතනොහැකිව ඇත්තේ මෙය යි. ඔහුගේ නිර්මාණ තුළ ගැබ්ව ඇත්තේ මේ අපූරු ශික්ෂණය තුළින් පෙරා ගත් වේගයේ ප්‍රථිඵලය යි. අප වටා ඇති සුලභ කලාවේ බොහෝ ලක්ෂණ අපූර්වත්වයකින් යුතුව නව කලා ආරක් මගින් ඔහු ගෙන එන්නේ මේ නිර්භීතකම නිසා ය. දහසක් දෙනා තමා වටහා නොගන්නා බව දැන දැනම තමන් අගය කරන්නේ නැති බව දැන දැනම ඔහු තමා ගේ අභ්‍යාසය හරහා ලබාගත් නිවැරදි දැනුම ඔවුන් වෙතම පිරිනමයි. මේ නිර්භීත අත්දැකීම එච්. ඒ කරු සර්ගේ නිර්මාණ අධ්‍යයනයේදී, රස විඳීමේදී මා ලැබූ විස්මිත ආස්වාදය යි.
නිහතමානිත්වයට උදාහරණයක්
එච්. ඒ. කරුණාරත්න මහතා රජයේ කලායතනයේ එවකට සිටි මහා කලා ගුරුන් ගෙන් අධ්‍යාපනය හදාරා, ශිෂ්‍යත්වයක් ලැබ, විදෙස් ගතවී දැනුම වැඩිදියුණු කරගෙන ඇත. පසුව ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කර ඇත. ඒ සියල්ලට වඩා වැදගත් කාර්ය භාරය වන්නේ ඔහුගේ නිර්මාණ ජීවිතය යි. මා දන්නා තරමට ඔහු ගේ නිර්මාණ අභ්‍යාසකරණය ඉතා වේගවත් වන අතර එය විවිධ පැති හරහා පැතිරී ඇත. ඔහු “ග්‍රැපික්”, “මුද්‍රණ” මූර්ති, ශුද්ධකලා ක්ෂේත්‍ර හරහා බැඳී ඉහත සඳහන් කළ “වියුක්ත” සහ “ සමකාලීන” චිත්‍රකලාවේ, ශ්‍රීලංකාවේ පෙර ගමන්කරුවා වී තිබේ. ඒසේ කීම අතිශෝක්තියක් නොවේ යයි සිතමි. ඔහු ගේ නිහතමානී බව කීමට මම එක් කතාවක් කීමට කැමැත්තෙමි.

ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයක් එම ආයතනයේ "ලොබියේ" දැවැන්ත චිත්‍රයක් නිර්මාණය කිරීමට එච්. ඒ. කරුණාරත්න මහතාට ආරාධනාවක් කළේ ය. චිත්‍රය ඉතා විශාල වූ අතර ඒ සඳහා කැන්වස් රෙදි, තෙල් සායම්, පින්සල් ආදිය ආයතනය මගින් විදෙස් රටකින් ගෙන්වා සපයනු ලැබී ය. චිත්‍රය ගෙදර දී නිමවා අවසානයේ එය රූපවාහිනී සංස්ථාවේ ප්‍රදර්ශනය සඳහා එල්ලීමට උදව් කිරීම සඳහා යෑමට මටද අවස්ථාව සැලසුණි. පොළවේ සිට කොන්ක්‍රීට් වහලය දක්වා උසින් වූ එම චිත්‍රය දිගින් අඩි පහළොවක් විස්සක් තරම් වේ යැයි මට සිතේ.
එම චිත්‍රය ලී ෆ්‍රේම් එකක් මත සකසා බිත්තියේ එල්ලීම සඳහා කරුණාරත්න මහතාත් මමත් ආයතනයේ කාර්මික නිලධාරියෙකුත් කටයුතු කළ අතර අපි හරි හරියට එම කටයුත්තේ නිරත වීය.
බිත්තිය හිල් කිරීමේ දී ඇතිවුණු දූවිලි, චිත්‍රය ගෙන ඒමේ දී ආවරණය කරගෙන පැමිණි කොළ සහ කාඩ්බෝඩ් ඇතුරුම් සහ තවත් බොහෝ අඩු, බඩු අබලි ද්‍රව්‍ය “ලොබිය” පුරා විසිරී තිබුණි. අපි සිතුවාට වඩා වැඩි කාලයක් මේ සඳහා වැය වුණේ වැඩේ ප්‍රවේශමෙන් කළ යුතු නිසා ය. වැඩේ කරමින් සිටින විට ශාලාවේ ඈත කෙළවරේ සිට ටක්, ටක්, ටක්, ටක්, හඬින් කිසිවකු එන ශබ්දයක් ඇසිනි. ඒ කාන්තාවක් උස් අඩි සහිත සපත්තු දමාගෙන ඇවිදින විට නැගෙන තාලයේ හඩයි. මම ඒ දෙස හැරී බැලූවේ මේ ශබ්ද තාලයේ මිහිර විඳගැනීමටයි.
ඉතා උස සිහින් සිරුරක්, පුළුල් උකුළක්, හිරට අදිනලද ස්කට් එකක්. එහි පැළුම දනහිසට උඩට විහිදී තිබුණි. හිස උඩට කර බැඳි කෙස් වැටියක්, ලොකු රවුම් කරාඹු දෙකක්, දැතේ වළලු, උස්වූ ළැම ට තෙරපාගෙන වැලදගෙන එන රූපවාහීනි “කැසට්පටි” කීපයක් සහිත රූමත් ලලනාවක්. ඇය පැලඳි උස් සපත්තු දෙකේ ශබ්දය ටක්, ටක්, ටක්, හඬින් ශබ්ද කරයි. ඇය අප දෙසට ලතාවකට පැද්දෙමින් එයි. බිත්තියේ ඇණයක් හිරකරමින් සිටින කාර්මිකයාගේ ඇස් ද යොමු වී ඇත්තේ මේ රූමතිය දෙසටය. මගේ අවධානය ද ඒ කෙරෙහිය. නමුත් එච්. ඒ. කරු සර්ට මේ කිසිවක් ඇසී නැත. ඔහු කරමින් සිටි වැඩේ කරමින් සිටී. ඇය අපි ආසන්නයට පැමිනීමත් සමග විලවුන් සුවදින් පළාත ම පිරිණි.
බිත්තියේ සවිකිරීමට ගෙනා දැවැන්ත චිත්‍රය පසෙක බිත්තියට හේත්තු කර තිබේ. එය සවිකිරීමට අවශ්‍ය කළමනා සවිකරන අඩු බඩු අතරට පැමිණි රූමතියගේ මුහුණේ කෝපයක් සටහන්ව ඇත. චිත්‍රය අසලට පැමිණි රූමතිය, නැවතී චිත්‍රය දෙස විමසිල්ලෙන් බලයි.

" ආ.. මේක තවම ඇඳලා ඉවර කරලා නෑ නේද? දැන් මේක ඉතිරි ටික අඳින්නේ මේක මෙතන එල්ලලාද? අයියෝ..බලන්නකෝ දැනටමත් මේ “ලොබිඑක” කොච්චර කිලිටු වෙලා ද කියලා. මේක මෙතන අඳිනකොට “පේන්ට්” බිම වැටිලා තවත් කිලිටි වේවි. ඒක නිසා පත්තර කොළ හරි වෙන මොනා හරි කොළ දාලා මෙතන බිම අපිරිසිදු නොවෙන විදිහට වැඩකරන්න කියන්න බාස් උන්නැහෙ.”
ඇය නුහුරු සිංහලෙන් එච්. ඒ. කරුණාරත්න සර් දෙස බලා කියයි.
“ ඔකේ මැඩම්.”
එච්. ඒ. කරු සර් ගේ පිළිතුරයි ඒ. ඇය මාදෙස බලා.
“කෝ... “ආර්ටිස්ට්” තාම ආවේ නැද්ද?”
මම ඇයට ගෞරවකරමින්
“අර ඉන්නේ “ආර්ටිස්ට්”තමයි. මිස්ටර් එච්. ඒ. කරුණාරත්න” කියා අවසන් කිරීමට නොහැකි විය.
“ ඔ.ඔ.. මයි ගෝඩ්....”
ටක්, ටක්, ටක්, ටක්, හඩ වේග රිද්මයේන් ඇසී නොඇසී ගියේය. ඒ සැනින් විලවුන් සුවද ද අතුරුදන් විය.
තවත් වෙලාවක් යනතුරු කිසිවෙකු කතා කළේ නැත. චිත්‍රය බිත්තියේ එල්ලා අවසන් කළේ ය. කෙහෙන්දෝ කොස්සක් හොයාගෙන පැමිණ් එච්. ඒ. කරු සර් ටයිල් පොළොවේ ඉතිරිවී තිබුනු දූවිලි ටික ද පිස දාන්නට විය. දැන් වැඩේ අවසන් ය. චිත්‍රයෙන් මඳක් ඈතට ගිය එච්. ඒ. කරු සර් චිත්‍රය දෙස මඳ වෙලාවක් බලා සිට මාදෙසට ආවේ ය.
“ශාන්ත, කවුරු හරි එකෙක් මේක බාගෙට ඇඳලා තියෙන්නෙ කියලා හිතලා, අපි ගියාට පස්සේ ඇවිත් ඇඳල ඉවරකරයිද දන්නේ නෑ නේද?” කියමින් සිනාසුණේ ය.
දැන් අපේ වාරය යි
චිත්‍රය අගය කිරීමට, රසවිඳීමට, චිත්‍රය සමග ජනතාවට කිට්ටු ඇසුරක් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා පහසුකම් තිබිය යුතු ය; කලාගාර තිබිය යුතු ය; හොඳ කලා කෘති ප්‍රදර්ශනය විය යුතු ය; කලාවේ ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණ ඇතිවිය යුතු ය; හොද කලා විචාරකයන් බිහිවිය යුතු ය. ඒවා කලාකරුවන්ට ම සිදු කල නොහැකි ය. කලා ගුරු එච්.ඒ. කරුණාරත්න මහතා ඔහු ගේ ශක්ති ප්‍රමාණයෙන් ඔහු ගේ යුතුකම් ඉටුකර ඇත.
දැන් අපේ වාරය යි. කලාකෘති ජනතාවට ආශ්‍රය කිරීම සඳහා රට පුරා කලාගාර බිහිවිය යුතු නොවේද? අවුරුදු පහළොවකට ආසන්න කාලයක් වසා දමා ඇති “ ජාතික කලාභවන” සක්‍රීය කිරීම කළා නම්. කලා ගුරු එච්.ඒ. කරුණාරත්න මහතා ගේ මෙන්ම මෙරට තවත් කලාකරුවන් ගේ නිර්මාණ, විදෙස් කලාකරුවන් ගේ නිර්මාණ අපේ රටේ ජනතාවට රසවිදීමට හැකිවෙනවා නොවේද යන ගැටලුව විසඳාගැනීම ඔබේ වගකීම නොවන්නේ ද?
කලා ගුරු එච්.ඒ. කරුණාරත්න මහතා මුවින් නොඇසූ ප්‍රශ්නය මම ඔබවෙත ඉදිරිපත් කරමි. එතුමා දැන් අප අතර නැත. නමුත් ඔහු පරිසරය හා එක්වී ඔහු ගේ සිතුවම්වල වූ වර්ණ රටා අපේ මනසට මුසුකරාවි. ඒවා රසවිඳින්නැයි මම ආරාධනය කරමි.
ශාන්ත කේ.හේරත්
රතු ඉර පුවත්පතෙහි පළ වූ ලිපියකි.

