අලි පැටියෙක් කරේ තියාගෙන කැලයෙන් ආව වනජීවි මාමා !

අලි පැටියෙක් කරේ තියාගෙන කැලයෙන් ආව වනජීවි මාමා !

පොළොන්නරුව සිට කි.මී. 28ක් දුරින් පිහිටි වැලිකන්ද දැඩි වියළි කාලගුණයෙන් නිතර බැටකන වනාන්තර වටකර ගත් පෙදෙසකි. කාලිංගවිල රක්ෂිත වනාන්තරය පිහිටා ඇත්තේ එහි සිට තවත් කි.මී. 8ක් දුරිනි. මාදුරුඔය ජාතික උද්‍යානය, සෝමාවතිය ජාතික උද්‍යානය සහ ත්‍රිකෝණමඩු රක්ෂිතවල ජීවත් වන අලි ඇතුන් සංචරණය කරන්නේ කාලිංගවිල වනාන්තරය හරහාය. මෙසේ අලි සිය ගණනක් නිතර හැසිරෙන පෙදෙසක් ලෙස කාලිංගවිල දැක්විය හැකිය. එක් පසෙකින් සෝමවතිය වනාන්තරයටත් අනෙක් පසින් මාදුරුඔය වනයටත් මායිම් වෙමින් පිහිටීම නිසා කාලිංගවිල ඉතා වැදගත් අලිමංකඩකි. ඒ අතරම ගැමියන්ගේ කුඹුරුද වනයට යාබදව පිහිටා තිබේ. පසුගියදා තම ගොවිතැන් කටයුතුවලට වනය හරහා ගිය ගොවීන් කිහිප දෙනෙකුට වනයේ මියගොස් සේ වැටී සිටින කුඩා අලි පැටවකු දකින්න ලැබුණි. වඩාත් ළංවී පිරික්ෂා බැලූ විට පෙනුණේ විශාල අලි රංචුවක් ආසන්න දිනයකදී මේ අවට සැරිසරා ඇති බවත් අලි පැටවා සිහිසුන්ව සිටියත් ඌට පණ තිබෙන බවත්ය.

මේ තම රුළෙන් අතරමංව තනිවූ කිරි බොන අලි පැටවෙක් බව සිතූ ගොවීන් පිරිස මේ ගැන වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්හ. පොලිස් ස්ථානාධිපතිවරයා වහාම වැලිකන්ද අඩවි වන ජීවී කාර්යාලයට මේ ගැන පැවසූහ.

වැලිකන්ද අඩවි වන කාර්යාලය ඉතා කාර්යබහුල තැනකි. නිලධාරීන් 4-5 දෙනකු සිටියත් ඔවුන්ට ග්‍රාමසේවා වසම් 33ක රාජකාරි ආවරණය කිරීමට සිදුවේ. මේ අවට නිතරම අලි මිනිස් ගැටුම සිදුවන නිසා නිතර බැණුම් ඇසීමටද මේ නිලධාරීන්ට සිදුවේ. පොළාන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම වන අලි තර්ජන සහ අලි මිනිස් ගැටුම්, අලින් අවදානමට පත්වීම් ඇත්තේ වැලිකන්ද සහ දිඹුලාගල වනජීවී අඩවියේය. අවම පහසුකම් යටතේ කටයුතු කරන මේ නිලධාරීන් රාජකාරියට කැපවුණු වන සතුන්ට දැඩි ආදරයක් දක්වන පිරිසකි. අලි පැටවා ගැන තොරතුර ලැබුණු වහාම ඔවුහු මේ සුරතලා බේරා ගැනීමට පිටත් වූහ.

අපිට තොරතුර ලැබුණු විදිහට අපි තේරුම් ගත්තා අලි පැටවා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයේ බව. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් එම ස්ථානයට යායුතු වුණා. අපි ගොවීන්ගෙන් අලි පැටවා වැටී සිටින තැන ගැන අසාගෙන ස්ථානය නිශ්චිත කර ගත්තා. ඊට පස්සේ වාහනයේ පිටත් වුණා. ඒත් අපිට ඒ ස්ථානයටම කැබ් රථයේ ගමන් කිරිමට අපහසු බව තේරුණා. වනාන්තරයේ වළවල් සහ පොළොවේ කඩතොළු වන බූටෑට නිසා. ඒ නිසා වනය ආසන්න තැනක වාහනය නවත්වා අනෙක් නිලධාරීන්ද සමඟ මම පයින්ම පිටත් වුණා. අලි පැටවා සිටින ස්ථානයට තවත් කි.මී. තුනක් දුරයි. අපි පයින් යන්න පුළුවන් තරම් ඉක්මනින් ගියා. පැටවා මැරිල වගේ කැලේ වැටිලා හිටියේ. ඌට මාසයක් පමණ වයස ඇති.

අප සමඟ තම අත්දැකීම බෙදාගත්තේ වැලිකන්ද අඩවි ආරක්ෂක කේ. ඩී. ජානකයි. වන ජිවි නිලධාරින් පිරිස අලි පැටවා තම භාරයට ගත් විගසම ඌට පණ ඇති බව වටහාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට තීරණය කළහ. සිහිසුන්ව සිටි නිසා වනයේ දී සාමාන්‍ය ප්‍රතිකාර ලබාදිය නොහැකි අතර වනජිවී රෝහලකදී දැඩිසත්කාර ලබාදිය යුතු විය. නිලධාරින් අලි පැටවා කරේ කබාගෙන ඉක්මන් ගමනින් වාහනයට ඒමට පිටත්වූහ. කාලිංගවිල ගොවින් ද නිලධාරින්ට හැකි උපරිම සහයෝගය ලබාදුන්හ. කි.මී. තුනක ගමනකින් පසු වාහනයට පැමිණි ඔවුන් පැටවා ආරක්ෂිතව වාහනයේ දමාගෙන පිටත් වූහ. ඒ ගිරිතලේ වන ජිවී ප්‍රතිකාර මධ්‍යස්ථානයට රුගෙන යාමටයි.

අපි වාහනයේ ඉදිරිපස ලාම්පු දෙකම දල්වාගෙන තමයි පිටත් වුණේ. අපේ රියදුරු මහත්තයා හැකි උපරිම වේගයෙන් වාහනය ධාවනය කළා. ගිරිතලේ පශු වෛද්‍යවරුත් වහාම සතාට සේලයින් ලබාදිලා ප්‍රතිකාරවලට යොමු කළා. ඔවුන් කිව්වේ සතා බේරා ගැනීමට හැකි උපරිම අවධානය යොදවන බවයි.* ජානක අප සමඟ වැඩිදුරටත් කීවේය. ආරංචි විදිහට ලිපිය ලියන අවස්ථාව වනවිටත් අලි පැටවා ප්‍රතිකාර ලබමින් පසුවේ. ඌ සුවපත් වූ පසුව යළිත් රුළට එක්කිරීමට වනජීවී නිලධාරීහු බලපොරොත්තු වෙති.

වනජීවී නිලධාරීන් පවසන්නේ අලි පැටවෙක් ඇතින්නක ලේසියෙන් අත්නොහරින බවත් යම්කිසි ආබාධයක් නිසා ඌට කිරිබීමට නොහැකියාවක් ඇති වී මෙසේ සිහිසුන් වන්නට ඇති බව සිතන බවත්ය. පසුව පැටවා මියගොස් ඇතැයි සිතා මව උගෙන් වෙන්ව යන්නට ඇතැයි ඔවුහු පවසති. කාලිංගවිල අවටින් නිතර අලි අමාරුවේ වැටෙන අවස්ථා ගැන වාර්තා වේ. මෙයට පෙරත් මවගෙන් වෙන්ව රුළෙන් අතරමං වූ අලි පැටව් ගැන මල්විල, සිහංපුර, නෙළුම්වැව, මොරණරතැන්න ආදී ගම්මාන අවටින් වාර්තා විය. පසුගිය වසරේ නොවැම්බරයේදී බෙරවැව ආසන්නයේදී ද අතරමංවූ අලි පැටවෙක් වනජිවී නිලධාරීන් සොයාගත් අතර එම පැටවාද ගිරිතලේ රෝහලට බාරදීමෙන් පසු පූර්ණ සුවය ලැබිණි. ගැමියන් පවසන්නේ මෙසේ අලින් අවදානමේ වැටෙන අවස්ථා නිතර වාර්තාවීමට හේතුව කාලිංගවිලේ තිබෙන විශාල පරිමාණ වගා ව්‍යාපාර බවයි. අක්කර 500, 100, 50 වැනි විශාලත්වයෙන් යුත් ගොවිපොළ මේ අවට තිබෙන අතර ඒවා වටා පෞද්ගලිකව විදුලි වැට සවිකර ගෙන තිබේ. මේ නිසා නිදහසේ ගමන් කළ අලින්ගේ අලිමංකඩට බාධා වැටී තිබේ. උන්ගේ සුපුරුදු ගමන් මාර්ග අහිමිවීම නිසා වැඩිහිටි සතුන් කලබලයට පත් වන අතර කුඩා පැටව් අතරමංවීම සිදුවේ. ඒ අතරම අලි මිනිස් ගැටුමද ඇතිවේ. අලි වගා ළිංවලට වැටීම ගැනද මේ අවටින් අසන්නට ලැබෙන සිද්ධියකි.

image b3398767b7

වැලිකන්ද අවට වනාන්තර මහා පරිමාණ වගාබිම් සඳහා ලබාදීම ද මේ අතර සිදුවන බව අසන්නට ලැබේ. මේ ගැන දිඹුලාගල රාහුලාංකාර හිමි සඳහන් කරන්නේ සහපාලන ආණ්ඩු කාලෙ එක්තරා ඇමතිවරයෙක් අලිමංකඩ හසුවන සේ ඉඩම් අක්කර 25,50 බැගින් එක් එක් ආයතනවලට ලබාදී තිබෙන බවයි. එම අයිතිකරුවන් තම ඉඩම් වටා විදුලි වැඩ සවිරකගෙන තිබේ. වැලිකන්ද අවට පිහිටි සෝමවතිය වනෝද්‍යානයට හා ත්‍රිකෝණමඩු රක්ෂිතයට අයත් සංවේදී විල්ලු පද්ධතියට මේ නිසා විශාල හානියක් සිදුව ඇති බව නොරහසකි. එය අලින්ට නිජබිම් අහිමි කිරීමකි.

දේශය

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න