Language Switcher

V2025

රටවල් 118ක් පරදා තරගකරුවන් 8000ක් අතරින් ලොව අංක 01 බවට පත්වූ ලංකාවේ අපේ පොඩ්ඩා.......

ලෝකයේ රටවල් 118ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් 8000කගේ පෝස්ටර් නිර්මාණ අභිබවමින් පළමු ස්ථානය දිනා ගැනීමට 5 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙකු සමත් වී තිබේ.

ඔහු නමින් දිනුග ද සිල්වාය.

දිනුග මෙම චිත්‍ර තරගයට ඉදිරිපත් වූයේ, පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදීය.

පසුගිය වසරේ ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් සංවිධානය කරනු ලැබූ මෙම පෝස්ටර් නිර්මාණ තරගයේ තේමාව වූයේ, "Our Actions are Our Future. A Zero Hunger World by 2030 is possible," යන්නය.

එය වයස් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වුණු අතර දිනුග ද සිල්වා ඉදිරිපත් වූයේ, වයස අවුරුදු 5 - 8 වයස් කාණ්ඩය යටතේය.

දිනුගගේ පෝස්ටර් නිර්මාණයේ දැක්වෙන්නේ, ලෝකයට ආහාර සපයන පලතුරු සහ එළවළු බීජ ලෝකයේ ම සිටුවා කුසගින්න තුරන් කිරීමය.

දිනුගගේ පෝස්ටර් නිර්මාණය

බත්තරමුල්ල ප්‍රදේශයේ ඔවුන් වෙසෙන නිවසේදී, ලෝකයෙන් ම පළමු ස්ථානය දිනූ දිනුග ද සිල්වා සහ ඔහුගේ දෙමාපියන් සමග කතාබහ කිරීමට බීබීසී සිංහල සේවයට අවස්ථාව ලැබිණ.

ඔහුගේ මව වන චමිලා එදිරිසූරිය බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, සිය දරුවා මෙම තරගයට ඉදිරිපත් වීම "අහම්බයකින්" සිදු වූවක් බවය.

"මං ඔෆිස් එකේදි වැඩකට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනකොට කවුරුහරි ගූගල් එකේ සර්ච් කරල තිබුණා. FAO Poster contest කියලා. එතකොට තමයි මමත් ලින්ක් එකට ගිහින් බැලුවේ. බැලුවට පස්සේ 5-8 ඒජ් ගෲප් එකක් තිබුණ නිසා, පුතා බිත්තිවලත් අඳින නිසා ගෙදර ඇවිත් ඇහුවා අඳිමු ද කියලා. ඊට පස්සේ තමයි මේකට යැව්වේ අපි."

කුඩා කල සිට ම සිය දරුවා බිත්ති මත කුරුටු ගෑ අතර ඒවා නතර කිරීමට දිනුගගේ මව උත්සහ කර නොමැත.

"අවුරුද්දයි මාස දෙකේ විතර ඉඳල එයා ඩේ කෙයා එකක හිටියෙ, අපි දෙන්න ම ඔෆිස් යන හින්දා. ඊට පස්සේ ඩේ කෙයා එකේ ඉඳන් ඇවිල්ලා මං හවස උයනකොට එයාට වෙන වැඩක් කෙරෙන්නේ නෑනේ. මට බලන්න වෙන්නෙත් නෑ. බිම, බිත්තිවල ඒ ඔක්කොගේ ම කුරුටු ගානවා. ඊට පස්සේ පොත්වල. සමහර දවස්වලට එක දවසට මුළු පොතක ම කුරුටු අඳිනවා," චමිලා එදිරිසූරිය සඳහන් කළාය.

ළමා මනෝ වෛද්‍ය විද්‍යාව අනුව ද දරුවන් බිත්තිවල කුරුටු ගෑම ආදී ක්‍රියාකාරකම් නතර කිරීමට උත්සහ කිරීම ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට බාධාවක් වන බව හඳුනාගෙන තිබේ.

සිය දරුවාගේ ජයග්‍රහණය පිළිබඳව සතුටට පත්ව සිටින දිනුගගේ මව පැවසුවේ, ඉතා කුඩා කාලයේදී ම සිය දරුවා තමන්ට ගෞරවයක් අත් කර දුන් බවය.

"හැම අම්මා කෙනෙකු ම හිතන්නේ තමන් ඉන්න තැනට චුට්ටක් හරි තමන්ගේ දරුවා උඩට ගෙනියන්න ඕන කියලා නේ. දැන් මට හිතෙනව මෙයා මං ඉන්න තැනට වඩා ආඩම්බරයක් එයා මට දීලා තියෙනවා, අවුරුදු පහේදී ම."

උපුටාගැනීම BBC සිංහල සේවය