Language Switcher

V2025

තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන හැඳුනුම්පතක් ලබා ගත් ලොව පළමුවැන්නා

උගන්ඩාව යනු එල්ජීබීටී+ අයිතිවාසිකම්වලට නෛතිකභාවයක් ලබා නොදුන් රටවල් අතර නිතර දෙවේලේ කියවෙන රාජ්‍යයකි. සමලිංගික ලිංගික ක්‍රියා නීති විරෝධී උගන්ඩාව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සලකනු ලබන්නේ හුදෙක් ලිංගික වෘත්තියේ යෙදෙන පිරිසක් ලෙසය.

කෙසේවෙතත්, උගන්ඩාව තුළ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට එරට සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් සමත් වී තිබේ.

ඇය නමින් ක්ලියෝපැට්රා කම්බුගු ය. 35 හැවිරිදි ක්ලියෝපැට්රා නීත්‍යානුකූලව කාන්තාවක් ලෙස හඳුනාගනිමින් එරට රජයෙන් ජාතික හැඳුනුම්පතක් නිකුත් කර තිබේ. ඒ අනුව, උගන්ඩාවේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් දරන පුද්ගලයකු තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබාගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

image 11fa8d9e9c

ක්ලියෝපැට්රා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව, අන්තර්ලිංගික ප්‍රජාව, ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයන් සහ ස්ත්‍රි-පුරුෂ සමාජභාවයේ ද්වි-අනන්‍යතාවයෙන් පිටත (නැතහොත් නන්-බයිනරි) අනන්‍යතා හඳුනා ගන්නා ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.

කුඩා කල පටන් තමා වෙනස් බව හඳුනාගත් ක්ලියෝපැට්රා පවුලේ සාමාජිකයන් ඇතුළු සමාජයේ බොහෝ ඒකක වල විවිධ අන්දමේ වෙනස්කොට සැලකීම් වලට ලක්ව තිබේ. ක්ලියෝපැට්රා ජාත්‍යන්තර අවධානය දිනා ගන්නේ 2016 වර්ෂයේ නිකුත් වූ ද පර්ල් ඔෆ් ඇෆ්රිකා නම් සංක්‍රාන්ති සමාජභාවය වස්තුවිෂය කොටගත් චිත්‍රපටය හරහා යි.

අප්‍රිකානු මහද්වීපය තුළ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ සටනේ දිගටම නිරත වන ක්ලියෝපැට්රා අවධාරණය කරන්නේ සමලිංගිකත්වය සාපරාදී වරදක් ලෙස හඳුනාගන්නා උගන්ඩාව ඇතුළු අප්‍රිකානු රටවල සිදුකිරීමට බොහෝ ප්‍රතිසංස්කරණ තිබෙන බවයි.

ඒ වෙනුවෙන් තමා දිගටම සටන් කරන බව ක්ලියෝපැට්රා සඳහන් කළාය.

Outbound Today