ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට රජය කැපවී සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේදී යළි තහවුරු කළේය.
මෙම ප්‍රකාශය සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
අමාත්‍යවරයා සඳහන් කළේ, "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දුවක් ඇතුළත් වන අතර, එම පොරොන්දුව ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, නව නීති කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය මත පත් කළ කමිටුව සිය කාර්යය අවසන් කර ඇති බවත්, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වහාම වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඇප ලබාදීම අධිකරණයේ ස්වාධීන තීරණයක්
අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දීර්ඝ කාලයක් චෝදනා නොමැතිව රඳවා සිටින සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් නොගන්නා බවයි.
ඔහු පෙන්වා දුන්නේ, ඇප ලබාගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන දැනටමත් පවතින අතර සැකකරුවන්ට මහාධිකරණය හරහා ඇප ඉල්ලා සිටිය හැකි බවය. මෑතකදී ද එවැනි ඉල්ලීම්වලට අනුව ඇප ලබාදී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඇප ප්රදානය කිරීම අධිකරණයේ ස්වාධීන බලතල යටතේ සිදුවන ක්‍රියාවලියක් බැවින් ඒ සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කිරීමට රජය කටයුතු කරන බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
