Language Switcher

V2025

මාලදිවයිනේ කුමන්ත්‍රණයක් ; හමුදාව පෙරට

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් සිය ජීවිත වුවත් පරිත්‍යාග කරන බවට මාලදිවයින් හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීහු දිවුරුම් දෙති.

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරන බව එරට නීතිපතිවරයා පවසා තිබිණි.

"එම තැත" වැලැක්වීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

ඒ අනුව ඉහත කී දිවුරුම් දීමේ උත්සවය එරට රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

''මතුව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්

සාමකාමී විසඳුමකට

පැමිණෙන ලෙස අප සියලුම

පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා
රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය''

දේශපාලන සිරකරුවන් නව දෙනෙකු නිදහස් කරන ලෙසට මාලදිවයිනේ ඉහළම අධිකරණය පසුගියදා ලබා දුන් නියෝගයට එරට බලධාරීන් අවනත නොවීමත් සමග එහි අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් අට දෙනකු ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වෙති.

මාලේ අගනුවර

මාලදිවයින් විපක්ෂය පවසන්නේ අධිකරණ තීන්දුවට අවනත නොවීම කුමන්ත්‍රණයක් හා සමාන බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වුවහොත් මාල දිවයින් සමූහාණ්ඩු පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂයට හිමිවනු ඇත.

මොහොමඩ් නෂීඩ් මුදා හරින්න - ශ්‍රේෂ්ඨාධිකරණය

ඒ අනුව විපක්ෂයේ පාර්ලිමේන්තු බහුතරයට ඉඩ සලසමින් පදවියෙන් ඉල්ලා අස්වෙන ලෙස බලයේ සිටින ජනාධිපති අබ්දුල්ලා යමීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.

මාලේ අගනුවර සිටින මාධ්‍යවේදියෙකු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විපක්ෂ ආධාරකරුවන් උද්ඝෝෂණ සිදු කරන බවය.

මාලදිවයින් පාර්ලිමේන්තු සංකීරණය අසල ද එවැනි උද්ඝෝෂණයක් දියත් වූ බව නම හෙළි කිරීමට අකමැති වූ එම මාධ්‍යවේදියා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඔහු පවසන පරිදි එහි පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අගනුවර ජන ජීවිතයට මෙතෙක් බලපෑමක් එල්ල වී නොමැත.

ශ්‍රී ලංකාව

male Pm

මේ අතර සෙනසුරාදා (පෙබරවාරි 03) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මාලදිවයිනේ මතුව ඇති තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවය.

මාලදිවයින් ව්‍යවස්ථාවට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වන පරිදි එරට සියලුම පක්ෂ කටයුතු කරනු ඇති බවට ද අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු පළ කර තිබිණි.

"මතුව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමී විසඳුමකට පැමිණෙන ලෙස අප සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් ශ්‍රී ලංකා අගමැතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.