හෙරොයින් කිලෝ ග්‍රෑමයකට අධික ප්‍රමාණයක් (රාත්තල් 2.2ක්) අත්බෑගයක සඟවා ඔස්ට්‍රේලියාවට ආනයනය කළ තායි ගුවන් සේවයේ සේවිකාවක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
26 හැවිරිදි එම කාන්තාව තායි ගුවන් සේවයේ ගුවන් සේවිකාවක බව එම ගුවන් සේවය විසින් ද තහවුරු කර ඇත. රාජකාරියේ නිරතව ඇය ජුනි 25වන දා මෙල්බර්න් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ඇය සතු ගමන් මලු 12ක් රේගු නිලධාරීන් පරික්ෂා කිරීමේ දී එම මත්ද්‍රව්‍ය හමු වූ බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කළේ ය.
ඇය විසින් එම අත්බෑග අභ්‍යන්තර අතුරනවල සඟවා රැගෙනවිත් තිබූ හෙරොයින් ප්‍රමාණයේ දළ වීදි වටිනාකම, ඕස්ට්‍රේලියානු ඩොලර් 500,000ක් (ඇමෙරිකානු ඩොලර් 343,300) පමණ වන බව වාර්තා වේ.
දේශ සීමා ඔස්සේ රේගු තහනමට ලත් මත්ද්‍රව්‍යයක විකිණුම් ප්‍රමාණයක් ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ ඇයට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ නඩු පැවරේ. ඒ යටතේ එක් චෝදනාවකට විසි පස් වසර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමේ හැකියාව පවතී. ජුනි 26 දා, රිමාන්ඩ් භාරයට පත් අත්අඩංගුවට ගත් තායි ගුවන් සේවිකාව සැප්තැම්බර 14 දා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිය ගුවන් සේවක සේවිකාවන් සම්බන්ධයෙන් දැඩි නීති රෙගුලාසි ක්‍රියාත්මක බව පවසන තායි ගුවන් සේවය එම සේවිකාව ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත සහාය පිණිස පූර්ණ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව දන්වා සිටී.
රැකියාව සහ සමාජ තත්ත්වය උපයෝගී කර ගනිමින් තහනම් මත්ද්‍රව්‍ය ආනයනය කරන්නන් සහ ඊට සහාය දක්වන්නන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වන බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ වැඩ බලන අණදෙන නිලධාරිනී සිමොන් බුචර් පැවසුවා ය.
ඕස්ට්‍රේලියාවේ සංවිධානාත්මක අපරාධ විමර්ශනය විසින් ගුවන් සේවා කාර්ය මණ්ඩල බඳු විශ්වසනීය අභ්‍යන්තර පාර්ශ්ව සාමාජිකයින් පවා තහනම් මත්ද්‍රව්‍ය එරටට ආනයනය කෙරෙන්නේ දැයි දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් එම සාමාජිකයින් ද, අඛණ්ඩ පරික්ෂාවට ලක් කරන බවත්, ඕස්ට්‍රේලියානු දේශ සීමා බළකා අණ දෙන නිලධාරී ක්ලින්ට් සිම්ස් සඳහන් කළේ ය.
සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
