හික්කඩුව නගර සභාව මගින් නඩත්තු කරන වීදි ලාම්පු සඳහා බල්බ මිලදී ගැනීමේදී නගරාධිපතිවරයා විසින් සිදු කළ බව කියන වංචාවක් පිළිබඳ සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු අද (20) ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේය.
සමගි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී දිශාන් බුද්ධික වන්නිආරච්චී මේ පිළිබඳව මෙසේ අදහස් පළ කළේය.
"සාංඝික දේපළ වගේ මේ රටේ ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරනවා කියලා බලයට ආපු NPP එකේ හික්කඩුව නගර සභාවේ වත්මන් සභාපතිවරයා, මහජන බදු මුදල්, වරිපනම් මුදල්, කුණු බද්දෙන් එකතු කරන මුදල් ඉතාම කැත විදිහට විනාශ කරමින් ඉන්නවා. වීදි ලාම්පුවෙන් පවා අද කොමිස් ගන්න තත්ත්වයට, පත්වෙලා.
2026.07.30 කිසිම සභා අනුමැතියක් නැතුව, සභාව දැනුවත් නොකර සභාපතිවරයාගේ උවමනාව මත 'ලක්ෂපාන' වොට් 18 බල්බයක් රු 1300 ගණනේ බල්බ් 700 ක් ගන්න ප්‍රසම්පාදනය කරලා තිබුනා. මේ බල්බ්වල ඇසුරුමේ සඳහන් වෙන මිල රුපියල් 1190/=යි. වෙළඳපොළේ 1190 ට තියෙන බල්බ් එක හික්කඩුව නගර සභාව විසින් රුපියල් 1300/= කට මිලදී ගැනීම ගැන අපි පුදුමයට පත් වුණා. අද සබන් කැටයක් මිලදී ගන්න ගියත් රුපියලක් හරි අඩුවෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට රුපියල් 1190/= ට වෙළඳපොළේ තියෙන බල්බ් එක 1300 ට ගන්නයි සභාපතිවරයා සූදානම් වුනේ. ඒ බදු මුදල් සාංඝික දේපළ වගේ රකිනව කියපු නිසාද?
විපක්ෂය මේ කාරණය දැනගත්තට පස්සේ, සභාපතිවරයා සැපයුම්කරුගෙන් මිල ගණන් වෙනස් කරලා ආයෙත් ලියුමක් අරගෙන තියෙනවා, වෙළඳපොළේ මේ බල්බ් එක රු1300 ට තිබුණය, දැන් ඒක රු 1190 ට අඩු වෙලාය, ඒ නිසා මම රු 960/= ට ඒ බල්බ් එක ලබා දෙන්නම් කියලා සඳහන් කරලා. දැන් ඒකෙනුත් පස්සේ මීට දවස් තුන හතරකට කලින් ආයෙත් ලියුමක් එවලා තියෙනවා සභාවට මේ බල්බ් එක රුපියල් 700 ට දෙන්න පුළුවන්කම තියෙනවය කියලා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අපිට කිව්වා, දැන් ප්‍රශ්නේ ඉවරයිනේ අපි බල්බ් එක 700 ට ගන්නවය කියලත්. මෙතන කළේ තනිකරම වංචාවක්. මේ වංචාව විපක්ෂයේ අපි පෙන්නලා දුන්නට පස්සේ දැන් ලව් ලෙටර් හුවමාරු කරනවා. ඉතාම ලැජ්ජයි, මේ ගෙනාපු මල් පැළ, වල් පැළ වලටත් වඩා අන්තයි.”
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හික්කඩුව නගර සභාවේ සමගි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී දිශාන් බුද්ධික වන්නිආරච්චී පෙන්වා දුන්නේ…,
“හරි අපි හිතමු මේ සභාපතිවරයාට වංචාවක් කරන්න උවමනාවක් තිබුනේ නෑ කියලා, එහෙනම් එයාට තිබුණේ මේ සැපයුමට අදාළව මිල ගණන් ලැබුණු මුල් අවස්ථාවේදීම මේ ටෙන්ඩර් එක අවලංගු කරන්න. නැවත මිල ගණන් කැඳවන්න. හැබැයි සභාපතිවරයා මොකක්ද කරේ. සභාපතිවරයා කරේ මේ හොරකම වහන්න කරන්න පුළුවන් සියලු දේ කරා. එතුමාට තිබුණා පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න, වෙළඳපොළේ සඳහන් මිල ඉක්මවා සභාවට මිල ගණන් දීලා කියලා පැමිණිලි කරන්න තිබුණා. ඒත් එයා එහෙම කටයුතු කරේ නෑ. සභාපතිවරයාට තිබුණා ප්‍රසම්පාදන කමිටුවට මේ සැපයුම්කරු ගෙනැල්ලා නැවත වතාවක් ප්‍රශ්න කරන්න. ඒත් ප්‍රසම්පාදන කමිටුව දන්නෙත් නෑ, සභාව දන්නෙත් නෑ, හොරකම වහන්න සභාපතිවරයා ලියුම් හුවමාරු කරගන්නවා.”
ඔහු මෙහිදී අවධාරණය කළේ, තමන් මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීමේදී, වෙනත් නගර සභා ප්‍රදේශිය සභා සඳහා එම බල්බ රුපියල් 654 ක් වැනි අඩු මුදලකට ලබාගෙන ඇති බවත්, හික්කඩුව නගර සභාවේ නගරාධිපතිවරයා එය රුපියල් 1300 කට මිලදී ගැනීමට යාම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි.
එමෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා උඩින් හොයනා බව පෙනෙන්නට තිබුණත්, ඔවුන්ගේ පහළ පිරිස් යටින් වංචාවන් සිදුකරන බව මේ අනුව පෙනී යන බවද ඔහු කියා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
