Language Switcher

V2025

අතීතය පැත්තකට දැමූ : ට්‍රම්ප් - උන් හමුව

“ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා” සහ “ආරක්ෂක සහතිකය” යන කරුණු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අත්සන් කළ ලියවිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

කලක් සතුරන් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම ඓතිහාසික හමුවේදී නැවත එකිනෙකා හමුවන බව ද ප්‍රකාශ කළහ. 

කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමත් යන කරුණු ද අදාළ ලියවිල්ලේ සඳහන් යැයි වාර්තා වේ. 

න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් විමසූ විට “අපි එම ක්‍රියාවලිය ආරම්භ කරනවා” යැයි ද “එය ඉක්මනින්ම ආරම්භ කරනවා” යැයි ද ජනාධිපති ට්‍රම්ප් පැවැසීය. 

ට්‍රම්ප් -කිම් විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තබති 

ඓතිහාසික හමුවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘විස්තීර්ණ’ ලියවිල්ලකට අත්සන් තැබූහ. 

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායකයාගේ හමුව පැවැත්වුණද ඔවුන් දෙදෙනා අත්සන් තබන ලද ලියවිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිදු සවිස්තර විස්තරයක් මාධ්‍යයට ඉදිරිපත් නොවීය. 

මෙම ඓතිහාසික හමුවත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේද නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති අතර ඊසාන දිග ආසියාවේ ආරක්ෂක භූ දර්ශනයට ද වෙනස්කම් ගෙනෙනු ඇත. හිටපු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති රිචඞ් නික්සන් 1972 වසරේදී බීජිං නුවරට ගමන් කිරීම පමණක් හේතු කරගෙන චීන පරිවර්තනය ආරම්භ විය.  

රිචඞ් නික්සන්ගේ නිල සංචාරයත් සමඟ වසර 25කට ආසන්න කාලයක් දෙරට අතර නොතිබුණු සන්නිවේදන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති විය. 
ලියවිල්ලට අත්සන් තැබීමට පෙර එය ‘විස්තීරණ ලිපියක්’ එසෙත් නැතිනම් පුළුල් කරුණු ඇති ලියවිල්ලක් යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය. 

අප දෙදෙනා අතර ඓතිහාසික හමුවක් පැවැති බව උතුරු කොරියානු නායක කිම් එම අවස්ථාවේදී කීය.  

“අතීතය පැත්තකට දැමීමට අපි තීරණය කළා. ලෝකය ඉදිරියේදී විශාල වෙනස්කම් රැසක් දකිවී” යැයි ද උතුරු කොරියානු නායකයා එහිදි කීය.  

න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය ඉක්මනින්ම සිදුවනු ඇතැයි සඳහන් කළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන් හා උතුරු කොරියානු නායකයා අතර “විශේෂ බැඳීමක්” ඇති වූ බව ද සඳහන් කළේය. එපමණක් නොව උතුරු කොරියාව සමඟ ඇතිවන සබඳතාව තරමක වෙනස් සබඳතාවක් වනු ඇතැයි ද හෙතෙම කීය.  

“මේ හමුවෙන් පසු තවත් බොහෝ බොහෝ බොහෝ දේ සිදු වේවි” ට්‍රම්ප් පැවැසීය. 

ට්‍රම්ප්ගෙන් කිම්ට ධවල මන්දිරයට ආරාධනයක්

සිංගප්පූරු හමුව එසේත් නැතිනම් ‘ට්‍රම්ප්-කිම්’ හමුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට ආරාධනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඓතිහාසික හමුව සිංගප්පූරු වේලාවෙන් උදෑසන නවයට ආරම්භ වූ අතර නායකයන් දෙදෙනා අතර පෞද්ගලික හමුවෙන් පසු ඔවුන් දෙදෙනාගේ සහ දෙරටේ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවලින් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ගිවිසුමකට ද අත්සන් තැබූහ.

ඉන් පසුව ඇමෙරිකා ජනාධිපතිවරයා නැවත වරක් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය. උතුරු කොරියානු  නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන්නේ දැයි මාධ්‍යවේදියකු එහිදි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ‘ඇත්ත වශයෙන්ම ඔව්’ යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය.

ඉන් අනතුරුව ඔබ දෙදෙනා නැවත හමුවනවාදැයි තවත් මාධ්‍යවේදියකු විමසා සිටි අතර ‘ඔව් බොහෝ අවස්ථා ගණනකදී’ යැයි ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවැසීය.