ගාසා වාසීන්ට අවශ්‍ය කූඩාරම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සම්පාදනයට අවසර දෙන්නැයි, ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති.
ගාසා තීරයට ශීතයේ ප්‍රථම ධාරානිපාත වර්ෂා පතිත වීමෙන් අනතුරුව, ජීවිතාවදානම තවදුරටත් ඉහළ ගොස් තිබේ. අවතැන්ව සිටින මිලියනක පමණ ගාසා වැසියන්ගෙන් තුනෙන් එකක් හදිසි සහන සේවා අපේක්ෂාවෙන් පසුවේ.
"මේ ශීතය භයානකයි. අප, පසුවන්නේ ජීවිත අහිමි වීමේ දැඩි අවදානමකයි. කුඩා දරුවන්, ඔවුන්ගේ පවුල් පිටින්ම වැනසෙන ලකුණු දක්නට ලැබෙනවා," නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ මහලේකම්, ජෑන් එගෙලන්ඩ් ( Jan Egeland) කියයි.
ගාසා තීරයේ දෙවසරක යුද්ධයෙන්, එහි සමස්ත ජනගහනයෙන් බහුතරය අවතැන්ව වෙසෙති. ඔවුන් සැමට තාවකාලික කූඩාරම් හෝ වෙනත් නවාතැන්හි අසීරු දිවියක් ගෙවීමට සිදුව තිබේ. සිකුරාදා (14) හටගත් ශීත කුණාටුවකින් පසු ජල ගැලීම් ඇති විය. උන්හිටිතැන් සියල්ල ද ජලයෙන් යට විය. වැසි ජලය, අප-ජලය හා මුසු වීමෙන් රෝග රැසක් ඇතිවීමේ අවදානම ද මතුව තිබේ. බොහෝ කඳවුරු බිම් හා තාවකාලික වාසස්ථාන දණක් ජලයෙන් යටව පවතී.
අහාර පිණිස පැවති බොහෝ දෑ ද, වර්ෂාවට හා ජල ගැල්මට හසුව විනාශ ව ගොසිණි. රොටී හෝ පාන් වැනි අහරක් නිෂ්පාදනයට තිබූ තිරිඟු පිටි, වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.
ගාසා තීරය පුරා දක්නට ඇත්තේ "පණ පිටින්" විනාශව, "පණ යදින" ජීවිත ය.
දකුණුදිග ඛාන් යුනිස් නගරයේ තත්ත්වය ද ඊට නොදෙවෙනිය.
"අපේ ඇඳුම්, ඇඳ ඇතිරිලි, පොරෝනා, කොට්ට, මෙට්ට සියල්ල ගං වතුරේ ගහගෙන ගියා," ජල ගැල්මෙන් බේරා ගැනීමට හැකි වූ යමක් යාන්තමින් වැටුණු අව් රැල්ලේ වේලාගැනීමට තැත් කරමින් සිටි, නිහාඩ් ෂබට් (Nihad Shabat) එහි පැමිණි බී.බී.සී. මාධ්‍යවේදිනියකට කියා සිටියාය. ඇගේ සෙවණ, පොරෝනා සහ ඇතිරිලි යොදා තැනූ තාවකාලික වාසස්ථානයක්ය. "ආයෙත් ගංවතුර ඒවි. මට බයයි. කූඩාරමක් ගන්නවත් වත්කමක් අපට නැහැ," ඇය පවසන්නීය.
ගාසා තීරයේ සමස්ත ගොඩනැගිලිවලින් 80%ක් සහ ගාසා නගරයේ පමණක් ඉන් 92%ක් යුද්ධයෙන් විනාශව ඇති බව, මෑතක ප්‍රකාශයට පත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන්ය.
ගාසා තීරයේ වෙසෙන පවුල් 160,000කට නොඑසේව, මිලියන 1.5ක අවතැන් ජනතාවට හදිසි වාසස්ථාන සාහාය වහා අවැසිව ඇතැයි, නෝර්වීජියානු සරණාගත කවුන්සිලය පවසයි. රාජ්‍ය නොවන සංවිධාන 20කින් පමණ සමන්විත එම කවුන්සිලය, ගාසා තීරයේ අවතැන් වූවන්ට හිසට සෙවණක් පිණිස පුරෝගාමී මෙහෙවරක යෙදී සිටී.
ඉකුත් ඔක්තෝබර 10 දා එක්සත් ජනපද සහායෙන් ගාසා තීරයේ ඇරඹි සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව, මෙතෙක් ලබා ගත හැකි වූයේ, තාවකාලික කූඩාරම් 19,000ක් පමණක් බව, එම සංවිධානය පවසයි.
තමන් සතු ආහාර නොවන ආධාර, කූඩාරම් සහ නිදන මෙට්ට සහිත ආධාර කට්ටල 44,000ක්, ඊශ්‍රායල අවසර නොලැබීමෙන්, ගාසා තීරයට ප්‍රවාහනය කිරීමට නොහැකිව රඳවා ඇතැයි, නෝර්වීජියානු සරණාගත කවුන්සිලය කියයි. මේ වන විට, එම ආධාර කට්ටල, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය යන රටවල සිරවී තිබේ.
ඊශ්‍රායල පාලන තන්ත්රය, සියලු මානුෂීය මූලධර්මයන්ට පටහැණිව හැසිරෙන, නිලධාරිවාදී, හමුදාවාදී දේශපාලන මඩ ගොහොරුවක් බව, එම කවුන්සිලයේ මහ ලේකම්, එගෙලන්ඩ් චෝදනා කරයි.
ඊශ්‍රායලය, ආරක්ෂක හේතූන් මත, ඉකුත් මාර්තු මස සිට ගාසා තීරයේ ක්‍රියාත්මක ආධාර කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කළේය. ඒ අනුව, එම ආධාර කණ්ඩායම් හා එක්ව ක්‍රියාකරන සියලු පලස්තීන කාර්යමණ්ඩල නාම ලේඛන ඊශ්‍රායල හමුදා වෙත ලබා දිය යුතු වේ. එහෙත්, ආධාර දෙන රටවල තොරතුරු ආරක්ෂණ නීති යටතේ ඊට අවසර නැතැයි, ආධාර කණ්ඩායම් පවසති.

