රෝහින්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට; 11ක් මරුට

රෝහින්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට; 11ක් මරුට

මියෙන්මාරයෙන් පලායන රෝහින්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් තායිලන්ත - මැලේසියා දේශ සීමා ආසන්න මුහුදේ ගිලී යයි.


මේ වන විට මළ සිරුරු 11ක් හමුවී ඇතැයි, ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ මුදා ගැනීමේ කටයුතුවල  නිරත  තායිලන්ත - මැලේසියා බලධාරීහු පවසති. ඒ අතර, වයස අවුරුදු 10 සහ 12 පසුවන ළමුන් දෙදෙනෙක් ද  වෙති. අනතුරට පත් යාත්‍රාවේ 70කට ආසන්න පිරිසක් ගමන් කර ඇතැයි, වාර්තා වේ.

ඒ සමග යාත්‍රා කරමින් තිබූ  රෝහින්යා  සරණාගතයින් 230ක් පමණ රැගත් තවත් යාත්‍රාවක් ද "ආගිය අතක්" නැතැයි, මැලේසියා සහන කණ්ඩායම් පවසති.  දිවි ගලවාගත් 13 දෙනෙක් හමු වූ බව, ඔවුහු කියති. ඉන් බහුතරය රෝහින්යා සරණාගතයින්ය.

රෝහින්යා සරණාගතයෝ  ස්වදේශික මියන්මාරයේ දැවැන්ත භීෂණයකට හසුව සිටිති. බංග්ලාදේශය, ඔවුන්  වෙත සරණාගත පහසුකම් සැපයුවද, එම කඳවුරු ජීවිතය ද  සීග්‍රයෙන් පිරිහෙමින් පවතී. එම හේතුවෙන්, සරණාගතයින් රැසක් දෙරටේම සිට අනාරක්ෂිත මුහුදු මාර්ග ඔස්සේ, මැලේසියාවට සහ ඉන්දුනීසියාවට පලායමින් සිටිති.  

මියෙන්මාරයේ අන්ත දරිද්‍රතාවෙන් පෙලෙන  රඛීන් (Rakhine) ප්‍රාන්තය වසර ගණනක වාර්ගික ගැටුමින් හෙම්බත්ව සිටී. දැඩි සාගතයෙන් ද පෙලෙන    එහි වෙසෙන රෝහින්යා මුස්ලිම් සුළුතරය ඉන් වඩාත් පීඩාවට ලක්ව ඇති ජන කොටස වේ.

2017 වසරේ මියෙන්මාරයේ සිදු වූ හමුදා කැරැල්ලෙන් අනතුරුව රඛීන් ප්‍රාන්තයේ විසූ මිලියන 1.3ක් පමණ රෝහින්යා ජනගහනය සරණාගතයින් ලෙස බංග්ලාදේශයට පලා  යාම ආරම්භ කළහ.

අනතුරට පත් යාත්‍රාවන්හි ගමන් ගත් පිරිස් සොයා තායිලන්ත - මැලේසියා ඒකාබද්ධ ගුවන් හමුදා මෙහෙයුමක් ද දියත් කර තිබේ. එමගින් සයුරේ මුදාගැනීම් මෙහෙයුම්වලට සහාය හිමිවේ.

අනතුරට පත් එක් යාත්‍රාවක්, මීට දෙසතියකට පමණ පෙර බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයෙන්, මියෙන්මාරයේ සිට පිටත්ව ඇති බවට සහ  අනතුරුව එහි ගමන් ගත් මගීන් පිරිසක්  බ්‍රහස්පතින්දා (06) වෙනත් යාත්‍රාවකට මාරුවී ඇති බවට තොරතුරු අනාවරණය වන බව මැලේසියා බලධාරීහු පවසති. මෙතෙක් දිවි ගලවාගත් 13 දෙනකු අතරින් 11 දෙනකු රෝහින්යාවරුන්   බවත්, දෙදෙනකු බංග්ලාදේශ ජාතිකයින් බවත් හඳුනා ඇත.

වසරේ ජනවාරි මස සිට මෙම මස මුල තෙක්, 1500කට අධික රෝහින්යා සරණාගතයින් පිරිසක් මියෙන්මාරයේ සහ බංග්ලාදේශයේ සිට වරින් වර මුහුදු මාර්ග ඔස්සේ පලා ගොස් තිබේ. අතරමගදී, ඉන් 600කට අධික පරිසක්  ජීවිතක්ෂයට පත්ව හෝ අතුරුදන්ව ඇතැයි, සරණාගතයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය  ( UN Refugee Agency) පවසයි.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/10/2025


Eleven found dead in Thai-Malaysia search after Rohingya migrant boat sinks


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න