Image

"තුන්වෙනි අයවැය අද.. පරණ පොරොන්දු කප්පරක් තවමත් එහෙමමයි" - සුජිත් සංජය

 "තුන්වෙනි අයවැය අද.. පරණ පොරොන්දු කප්පරක් තවමත් එහෙමමයි" - සුජිත් සංජය

අද ඉදිරිපත් කෙරෙන පුනරුද ආණ්ඩුවේ තුන්වන අයවැය වෙත එළඹෙන විටද, මීට පෙර ඉදිරිපත් කළ අයවැය දෙකකදී මෙන්ම ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු කප්පරක් තවමත් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.

කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය:

"ජනාධිපතිවරණයට පෙර මේ අය එක එක පොරොන්දු ලබාදුන්නා. නැවෙන් බාන ගාණටම ඉන්ධන දෙනවා කීවා. 30%කින් විදුලි බිල අඩු කරනවා කීවා. රාජ්‍ය සේවක වැටුප්, උපාධිධාරීන්ට රැකියා මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර, පාසල් පොත්, ඖෂධ වැට් බද්දෙන් නිදහස් කිරීම වැනි පොරොන්දු ලබාදුන්නා. ආර්ථිකය ශක්තිමත් කිරීමට පනත් ගෙනෙනවා කීවා. ආයෝජන ආරක්‍ෂණ පනතක්, නව ව්‍යාපාර පනතක් ගෙනෙනවා කීවා. ඒ වගේම විගණන පනත සංශෝධනය කරනවා කීවා. තුන්වන අයවැය මහ උජාරුවෙන් ඉදිරිපත් කරන්න සැරසෙන අවස්ථාව වන විටත් මේ කිසිදු පොරොන්දුවක් ඉටු කරල නෑ."

දූෂණයට හා වංචාවට එරෙහිව හඬ නගමින් බලයට පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 76 වසරක ශාපයක් ගැන නිතරම කතා කළද වර්තමාන ආණ්ඩුවේ සිටින හොරු සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

"අපේ ළඟ දූෂිතයින් වංචාකරුවන් නෑ කියල තමයි කිව්වේ. ඒත් ආව විතරයි කන්ටේනර් 323ක් පැන්නුවා. ඊට පස්සේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වුණා විතරක් නෙමෙයි, ඒක හෙළි කළ පුද්ගලයාත් අභිරහස් ලෙස මියගියා. තැපෑලේ ඩොලර් ලක්ෂ ගණනක තවත් වංචාවක් සිදුවුණා කියල ආණ්ඩුවම කිව්වා. ඊට පස්සේ බාල ගල්අඟුරු වංචාව, උගත් බුද්ධිමත් අය තමයි ආණ්ඩුවේ ඉන්නේ කිව්වා. එහෙම පත්වුණු ආණ්ඩුවේ ආචාර්ය රන්වලට කතානායක පුටුවෙන් බැහැල යන්න වුණා. ඊට පස්සෙ පත්වුණු කතානායකටත් එකදිගට වංචා චෝදනා එල්ල වුණා. චෝදනා 50ක් යටතේ අපි විශ්වාසභංගයකුත් ගෙනාවා. හැබැයි ඇත්ත රටට හෙළි වෙන නිසා මේක විවාදයට නොගැනීමට ආණ්ඩුව කටයුතු කළා. කතානායකවරයා සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැනුම්දිය යුතුයි."

නීතිය සැමට එක සමාන නම් සියල්ලටම පොදුවේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවද සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

"නීතිය සැමට සමානව ක්‍රියාත්මක නම් ඉහත කී වංචා සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම ඇතුළු අදාළ ආයතන විමර්ශන සිදුකළ යුතුයි. ඒ වගේම තමයි දැන් පුරුද්දට වගේ වේදිකාවලදීම මාළිමා නියෝජිතයින් කප්පම් අල්ලස් ඉල්ලන තත්ත්වයකට පත්වෙලා. කඩුවෙල නගරාධිපති එහෙම ඉල්ලීමක් කළා. ඔය කප්පම් ඉල්ලීම එයාල විපක්ෂේ ඉන්නකොටත් තිබුණා. මහා පරිමාණ කොම්පැනිවලින් තමයි මේ අය කප්පම් ගත්තේ. සේවකයින් විරෝධතාවලට යොමු කරවන බව පවසිමින් කොම්පැනි බිය කරමින් තමයි මේ අය කප්පම් ගත්තේ."

බලයට පත් වී වසර දෙකක කාලයක් ගතවීමත් සමඟ වෙනත් ජනාධිපතිවරු කොතරම් වැඩ කොටසක් ඉටුකළේදැයි විමසූ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටින්නේ වර්තමාන ජනාධිපතිවරයා මේ දක්වා කාලය තුළම කිසිදු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ආරම්භ කිරීමට අසමත්ව ඇති බවය. ඒ වෙනුවට වර්තමාන ජනාධිපතිවරයා හන්දි ගානේ ජනහමු පවත්වමින් සහ රෙදි කඩ විවෘත කරමින් ජනතාව සනසාලීමට උත්සාහ කරමින් සිටීම හාස්‍යයට කරුණක් බවද මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න