Language Switcher

V2025

යුද කතා නොමැතිව ජර්මනිය කොරෝනා පාලනය කරන හැටි..!

 
ලොව පුරා ආණ්ඩු විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මිලිටරි සැසඳීම් සහ රූපක (military comparisons and metaphors) භාවිතා කර තිබෙනවා. 
 
එහෙත් ජර්මනිය, වෙනත් බොහෝ රටවල් මෙන් නොව එවැනි භාෂාවක් භාවිතා කිරීමෙන් වැළකී සිටින බව ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ්හි ඩග්මාර් පෝලස් (Dagmar Paulus) පවසනවා. එවැනි භාෂාවක් භාවිත නොකිරීම සහ ජර්මනියේ කොරෝනා මර්දනයට එය බලපාන්නේ කෙසේදැයි ගවේෂණය කරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.
 
ලොව පුරා බොහෝ දේශපාලන නායකයින් කොරෝනා වසංගතය විස්තර කර ඇත්තේ ගැටුම් නිරූපණයක් (imagery of conflict) ලෙසයි.
 
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කියා සිටියේ තම ජාතිය අදෘශ්‍යමාන සතුරෙකු සමඟ යුද්ධ කරමින් සිටින බවයි. 
 
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “යුද කාලීන ජනාධිපතිවරයකු” වීමේ අදහස සහිතව ධනාත්මකව සතුටු වන බවයි ඩග්මාර් සඳහන් කරන්නේ. 
 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෛරසය “සතුරෙකු” ලෙස දකිනවා. ආර්ථිකය රැකගැනීම උදෙසා “අප ඕනෑම යුද කාලීන රජයක් මෙන් ක්‍රියා කළ යුතුය” යනුවෙන් ඔහු පවසා තිබෙනවා. 
 
එහෙත් ජර්මනිය මේ ආකාරයෙන් භාෂාව භාවිත කර නැහැ. වෛරසය “සතුරෙකු” නොවන අතර එය මැඩලීමේ ක්‍රියාවලිය යුද්ධයක් නොවන බව ඔවුන් සඳහන් කරනවා.
 
සාමාන්‍යයෙන් ජර්මනියේ ඓතිහාසික හේතූන් මත (අමිහිරි යුද මතක) දේශපාලකයන් යුද රූපක යොදා නොගැනීමේ ප්‍රවණතාවක් පවතිනවා. 
 
එබැවින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ද කොරෝනා වෛරසය ගැන කතා කිරීමේදී යුද රූපක භාවිතා කර නැහැ. 
 
අර්බුදය අතරතුර ඇයගේ පළමු ප්‍රධාන මහජන මැදිහත්වීම වූයේ මාර්තු 18 වන දින රූපවාහිනී දේශනයක්. එය විස්තර කිරීමට මර්කෙල් භාවිත කළ වචන සරල විය. "මෙම තත්වය”, “ඓතිහාසික කාර්යයක්” සහ ඉදිරියේ ඇති “විශාල අභියෝගයක්” ගැන ඇය කතා කළා පමණි. 
 
අප්‍රේල් 23 වන දින ජර්මානු පාර්ලිමේන්තුව අමතමින් මර්කෙල් නැවතත් රූපක කිහිපයක් භාවිතා කළා. ඇය වර්තමාන තත්වය “සැබෑ පරීක්ෂණයක්”, “බැරෑරුම් කාලයන්”, “නාටකාකාර අර්බුදයක්”(dramatic crisis), දැවැන්ත අභියෝගයක්”(gigantic challenge) ලෙස හැඳින්වූවා. 
 
මාර්කෙල් භාවිත කළ එකම සංකේතාත්මක ප්‍රකාශන වූයේ “තුනී අයිස්” සහ “දුර ගමන්”(thin ice and “long-distance run) යන්න පමණි. මෙම රූපක අභියෝගයක් ඇති කරන නමුත් සටන් ගැන නොවේ.
 
දැඩි වචන සහ හැඟීම්බර ප්‍රකාශ(drastic words and passionate statements) කිසි විටෙකත් මර්කල්ගේ ශෛලිය නොවන බව සත්‍යයක්. එවගේම අනෙකුත් ජර්මානු දේශපාලනඥයන්ද ඒ හා සමාන ප්‍රවේශයක් ගෙන තිබෙන බවයි ඩර්ග්මාර් පෝලස් පෙන්වා දෙන්නේ.
 
යුරෝපය තුළ ජර්මනිය මේ වන විට සාපේක්ෂව කොරෝනා පාලනය ඉහළ මට්ටමක පවත්වා ගෙන යමින් තිබෙනවා. ජර්මානු මහජනතාවගේ ප්‍රතිචාරයද බොහෝ දුරට ධනාත්මකය. 
 
නායකයින් අමිහිරි යුද්ධ කතා, උපමා උපමේය, රූපක භාවිත නොකිරීම  සමහර විටෙක එකී සාර්ථකත්වයන්ට හෙතු වුණා විය හැකිය.
 
මහින්ද රූබසිංහගේ ෆේස්බුක් ගිනුමෙනි