Language Switcher

V2025

වෙනිසුවෙලාවේ අසාර්ථක කුමන්ත්‍රණය පසුපස ඉන්නේ කවුද ?

ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි.

එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම "කුලී හේවායන්" බවත් ඔවුන්ගේ සන්නද්ධ ආක්‍රමණය ව්‍යවර්ථ කළ බවත් වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාව ආක්‍රමණය කොට තමා බලයෙන් පහ කිරීමේ ප්‍රයත්නයක නිරත වෙන බවට ජනාධිපති මදුරෝ බොහෝ වරක් චෝදනා කර ඇත.

මේ අතර මේ සතිය මුලදී ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, වෙනිසුවෙලා ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බන්ධයක් නැති බව සඳහන් කළේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අදහස් දක්වමින්, වෙනිසුවෙලා ආණ්ඩුවේ අත්අඩංගුවේ පසුවෙන ඇමෙරිකානුවන් ආපසු සියරට පැමිණීම සහතික කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි 'සියලු පියවර' ("every tool") එක්සත් ජනපද ආණ්ඩුව ගනු ඇතැයි කියා සිටියේය.

වෙනිසුවෙලා රූපවාහිනී ප්‍රකාශය !

පසුගිය බදාදා (මැයි 06) වීඩියෝ පටයක 'මිස්ටර් ඩෙන්මන්' (Mr Denman) ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ 34 හැවිරිදි තැනැත්තෙක් 'කරකාස්' අගනුවරට පැමිණීමට පෙර තමා මුදල් ලබා ගනිමින් කුලී පදනම මත කොලොම්බියාවේ සිටින වෙනිසුවෙලා ජාතිකයන් පුහුණු කිරීමේ නිරත වූ බවත්, ඔවුන්ගේ ඉලක්කය වුණේ "ජනාධිපති මදුරෝ රටින් ගෙන යාම සඳහා 'කරකාස්' ගුවන් තොටුපොළ අල්ලා ගැනීම" බවත් විස්තර කළේය.

"වෙනිසුවෙලා ජාතිකයන්ට නැවත රටේ පාලනය අල්ලා ගැනීම සඳහා මම උදව් කරමින් සිටියා" 'ඩෙන්මන්' (Mr Denman) ප්‍රකාශ කළේය.

'ඩෙන්මන්' (Mr Denman) ප්‍රකාශ කළ ආකාරයට ඔහු කලින් ''විශේෂ මෙහෙයුම් බළකායක සාමාජිකයෙකු'' ලෙස කටයුතු කර ඇත.

"කුමන්ත්‍රණය සඳහා හතළිස් එක් හැවිරිදි එරාන් බේරි (Airan Berry) නම් පුද්ගලයා හවුල් කර ගනු ලැබ තිබෙන්නේ ජෝඩන් ගෞඩ්රෝ (Jordan Goudreau) විසිනි. ජෝඩන් ෆ්ලොරිඩා මූලස්ථානය කර ගත් 'Silvercorp' නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන ඇමෙරිකානු හිටපු යුද්ධ නායකයෙකි.

එම කුමන්ත්‍රණ ප්‍රයත්නයට තමා හවුල් බව පිළිගන්නා ජෝඩන් ගෞඩ්රෝ, තම රටට භාර දෙනු ඇතැයි වෙනිසුවෙලා බලධාරීහු පවසති.

ජනාධිපති මදුරෝ පවසන පරිදි 'Silvercorp' ව්‍යාපාරය වෙනිසුවෙලා විපක්ෂ නායක හුවාන් ගුඅයිඩෝ (Juan Guaidó) සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබ ඇත.

හුවාන් ගුඅයිඩෝ වෙනිසුලාවේ විපක්ෂ නායකයා මෙන් ම, ඇමරිකා එක්සත් ජනපදය සහ බොහෝ යුරෝපා රාජ්‍යයන් විසින් එරට නීත්‍යනුකූල නායකයා හැටියට පිළිගනු ලැබ ඇති දේශපාලනඥයෙකි.

රඳවා ගෙන ඇති ඇමෙරිකානුවන් !

'ඩෙන්මන්' සහ 'බෙරී' හැරුණ විට කුමන්ත්‍රණයට හවුල් වූ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැන ගැනීමට නොමැත.

ඉහත නම් සඳහන් පුද්ගලයන් දෙදෙනා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්හි සාමාජිකයන් බව වෙනිසුවෙලා යුද්ධ හමුදාවේ ඉහළ ම නායකත්වය පවසා ඇත. එහෙත් එම ස්ථාවරය තවමත් තහවුරු කෙරී නැත.

එකී පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

එසේ ම සිදු විණැයි පැවසෙන කුමන්ත්‍රණ ප්‍රයත්නයේදී සන්නද්ධ පුද්ගලයන් අට දෙනෙක් මරා දමන ලද බවත් 'කරකාස්' බලධාරීහු පවසති.

කුමන්ත්‍රණයේ පසුබිම !

වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ සමග පවත්වන ලද අතීත සම්බන්ධකම් පිළිබඳව ජෝඩන් ගෞඩ්රෝ දිගින් දිගට ම අදහස් පළකොට ඇත.

එහෙත් සඳුදා ප්‍රකාශයක් කළ වෙනිසුවෙලා විපක්ෂ නායකයා කියා සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ 'Green Beret' විශේෂ යුද්ධ සේනාංකයට අයත් විශ්‍රාමික නිලධාරියෙකු වන ජෝඩන් ගෞඩ්රෝ සමග තමා කිසිදු ගනුදෙනුවක් කර නැති බවය.

තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ, වෙනිසුවෙලාවෙහි මෑතදී ආරම්භ වූ ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ල කෙරෙන් මහජන අවධානය වෙනත් දිශාවකට හැරවීමට ජනාධිපති මදුරෝ කටයුතු කරන බවට චෝදනා කළේය.

එහිදී ඔහු පසුගිය සතියේ සිකුරාදා සිදු වූ කීප දෙනෙකුට මරු කැඳවන ලද බන්ධනාගර කැරැල්ල සහ සෙනසුරාදා රාත්‍රියේ 'කරකාස්' අගනුවරින් වාර්තා වූ මැරයන්ගේ කල්ලි අතර ගැටුමක් ගැනත් සඳහන් කර තිබිණි.

ජෝර්ඩන් ගෞඩ්රෝ කාගේ කවුද?

කැනඩාවේ උපත ලද, එක්සත් ජනපද හමුදාවේ හිටපු යුද නිලධාරියෙකු වන ජෝර්ඩන් ගෞඩ්රෝ 'Silvercorp' නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන අතර ''වීර යුද පදක්කම්'' ලාභියෙකි.

'වොෂිංටන් පෝස්ට්' පුවත්පත වාර්තා කරන පරිදි, ඔහු එක්සත් ජනපද හමුදාවේ වසර පහළොවක් නිරතව සිටි අතර, පළමුව පාබළ හමුදාවේ මෝටාර් විශේෂඥයෙකු විය. පසුව ඔහු විශේෂ කාර්යසාධක බලකායක වෛද්‍ය අංශයෙහි කටයුතු කර ඇත.

යුද නිලධාරීන් උපුටා දක්වන 'වොෂිංටන් පෝස්ට්' පුවත්පත 2006 සහ 2014 වසරවල ඔහු ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ නිරත කරනු ලැබ ඇත.

ජෝර්ඩන් 2018 වසරේ ෆ්ලොරිඩා වහි සිය 'Silvercorp USA' පෞද්ගලික සමාගම ආරම්භ කරයි.

පැහැර ගැනීමට හෝ මුදල් ආදිය බලහත්කාරයෙන් ලබා ගැනීම වැනි අවස්ථාවන්හි දී පිහිටවීම ඇතුළු සේවාවන් කීපයක් ගැන එම සමාගම සම්බන්ධයෙන් පළ කරනු ලැබ ඇති වෙළෙඳ දැන්වීමවල ඇතුළත්ය.

එපමණක් නොව, ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් ''ජාත්‍යන්තර ආරක්ෂක කණ්ඩායම්වලට'' නායකත්වය දීමේ නිරත බවත් 'Silvercorp USA' ව්‍යාපාරය පවසයි.

'Silvercorp USA' සමාගමේ වෙළෙඳ දැන්වීම් මෙහෙයුම පනහකට අධික රටවල ක්‍රියාත්මක කෙරෙයි.

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, බහුජාතික සමාගම්වල ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන්, විශාල අත්දැකීම් සහිත අවදානම් මෙහෙයුම්වල නිරතව ඇති යුද නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධි අංශවල නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් තමන් සමඟ කටයුතු කරන බවත් එම ව්‍යාපාරය කියා සිටියි.

එහෙත් එම පුද්ගලයන් කවුරුන් ද? යන්න නමින් සඳහන් කරන්නේ නැත.

වෙනිසුවෙලා අර්බුදය

වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ "අවසන් අදියර" කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ 2019 වසරේ අප්‍රියෙල් මාසයේ ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාරය දැක්වූ එරට බලධාරීහු "කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බවක්" එම අවස්ථාවේත් ප්‍රකාශ කර ඇත.

නිල ඇඳුම් ලා ගත් පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව එම අවස්ථාවේ සඳහන් කළේය.

2019 ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය "පැහැර ගනු ලැබීම" අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

එහෙත් ගුඅයිඩෝ සමග පැවති අර්බුදය අතරතුර යුද හමුදාවේ සහයෝගය ජනාධිපති මදුරෝට ලැබිණි.

(බීබීසී)