Language Switcher

V2025

පැරීසියේ පානීය නොවන ජල ජාලයෙන් කොරෝනා වෛරස් අංශු හමුවෙයි...

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි පානීය නොවන ජල ජාලයෙන් කෝවිඩ්-19 වෛරසයේ ඉතා කුඩා අංශු සොයා ගෙන ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසා තිබේ.

පැරිස් නගර සභාව මෙම ජලය වැඩි පුරම පාවිච්චියට ගනු ලබන්නේ වීථි පිරිසිදු කිරීම වෙනුවෙනි.

මේ වන විට පැරිස් මහ නගර සභාව මෙම ජල සැපයුම අත් හිටුවා ඇති අතර, අදාල ජල ජාලය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

කෙසේ වෙතත් පැරිස් නගරයේ පානීය ජල ජාලයට මෙයින් කිසිදු අනතුරක් සිදු නොවන බවට පැරිස් මහ නගර සභාව සහතික කර ඇති අතර, ඊයේ (අප්‍රේල් 19 ) මාධ්‍ය හමුවකට සහභාගි වූ ප්‍රංශ අග්‍රාමාත්‍ය එදුආර් ෆිලිප් ( Edouard Philippe ) පැවසුවේ මේ වන විට ප්‍රංශයේ කොරෝනා ව්‍යාප්තියේ වේගය ඉතා සෙමින් නමුත් අඩු වෙන්මින් පවතින බවයි.

රෝගීන්ගේ සංඛ්‍යාව සහ රෝහල්වල පවතින ආතතිය යම් ප්‍රමාණයකින් අඩු වුවද, සෞඛ්‍ය අර්බුදයෙන් අපි තවමත් මිදී නැතැයි යනුවෙන් ද ඔහු පැවසීය.

මේ වන විට දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය 85% සිට 90% දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජූනි මස අවසානය වන විට රෝහල්වල දැඩි සත්කාර ඒකක සඳහා ශ්වසන යන්ත්‍ර 15, 000 ක් ද, සැහැල්ලු ශ්වසන යන්ත්‍ර 15, 000 ක් අලුතින් එකතු වනු ඇති බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා නො ගන්නා තාක්කල් කොරෝනා වෛරසය සමඟ ජීවත්වීමට සිදුවන බවත්, දැනට රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබුවත් ඒවායින් වෛරසය අතුරුදහන් නොවන බවත්, බෝවන රෝග විශේෂඥ කරීන් ලැකෝම්බ් ( Karine Lacombe) පවසයි.

මේ වන විට ප්‍රංශය කොරෝනා වෛරසය මැඩලීම සඳහා නව එන්නතක් නිපදවීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර,  ප්‍රංශයේ පිහිටි " පාස්චර් " නමැති ආයතනයේදී මෙම එන්නත නිපදවීමේ කටයුතු සිදුවන අතර, එය ගිම්හානය අවසානයේදී නිමා වීමට නියමිත ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම එන්නත මිනිස් අත්හදා බැලීම් සඳහා යොමු කිරීමෙන් අනතුරුව ප්‍රංශය තුළ හා ලෝකය තුළ බෙදා හැරීමට සිදුවන්නේ වර්ෂ 2021 මුල් භාගයේදී බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.

මෙ වන විට ප්‍රංශ ජාතිකයන් මිලියන 02 ත් 06 ත් අතර සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින අතර,   ප්‍රංශයේ ජනගහනය වන මිලියන 67 සමඟ සැසඳුව විට ආසාදනය වුවන්ගේ ප්‍රතිශතය ඉතා අඩු ප්‍රතිශතයක් යැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුව අතර තුර ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කොරෝනා වෛරස් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව නවතම සංඛ්‍යා ලෙඛන ඉදිරිපත් කරනු ඇත.

අගමැතිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව 19 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබුණ සංඛයාව 359 ක් ලෙස සඳහන්ව ඇත.

සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 1, 75, 942 ක් වන් විට රෝහල්ගතව සිටින සංඛ්‍යාව 30, 610 ක් ලෙස සටහන් වී ඇත.

මෙ වන විට ප්‍රංශය තුළ කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති සමස්ත පුද්ගලයන් ප්‍රමාණය 19, 718 ක් බවට පත්වී තිබේ.

දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් 5, 744 ක් වේ.

රෝගය වැලඳී රෝහල්වලට ඇතුලත්ව සිටි පිරිසෙන් 36, 578 දෙනකු රෝගය සුවවීමෙන් පසු රෝහල්වලින් පිටවී ගොස්  ඇත.

( සුනිල් ගාමිණි - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි )