Image

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට තවත් ගෞරවණීය ජයග්‍රහණයක්

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට තවත් ගෞරවණීය ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් අද භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමේ දී ඒකමතිකව SAFF උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.

මෙම ඓතිහාසික තෝරා පත්කිරීමේ දී ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන SAFF සාමාජික රටවල් හතම ඒකමතිකව ජස්වර් උමාර්ට සිය සහයෝගය පළ කළහ. එය දකුණු ආසියානු පාපන්දු ක්ෂේත්‍රය තුළ ඔහුට හිමි වී ඇති ගෞරවය සහ විශ්වාසය මනාව පිළිබිඹු කරයි.

කැපවීම, දූරදර්ශී සැලසුම් සහ ශක්තිමත් නායකත්වයේ ප්‍රතිඵලයක්

මීට වසර දෙකකට මඳක් වැඩි කාලයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නායකත්වය භාරගත් ජස්වර් උමාර් ගේ දැක්ම සහ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය සුවිශේෂී පරිවර්තනයකට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම 207 වන ස්ථානයේ සිට 187 වන ස්ථානය දක්වා ස්ථාන 20කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. වසර 15කට පසු ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම මෙය වන අතර, එය ඔහු ගේ කැපවීම, දූරදර්ශී සැලසුම් සහ ශක්තිමත් නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස සැලකේ.

ජාත්‍යන්තර තරගකාරීත්වයේ ප්‍රගතියට අමතරව, ඔහු ගේ පරිපාලනය යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ යහපාලන මූලධර්ම තහවුරු කිරීම, දේශීය පාපන්දු තරගාවලි ශක්තිමත් කිරීම, තරුණ සහ බාල වයස් පාපන්දු සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීම සහ පාපන්දු ක්‍රීඩාවේ තිරසාර සංවර්ධනය සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය මේ වන විට ඉතිහාසයේ වඩාත්ම සාර්ථක හා ප්‍රගතිශීලී අවධියකට

SAFF උප සභාපති ධුරයට පත්වීමට අමතරව, ජස්වර් උමාර් මේ වන විට FIFA Grassroots Football Committee හි සාමාජිකයෙකු ලෙසත්, Asian Football Confederation (AFC) Development Committee හි සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි. මෙම ජාත්‍යන්තර පත්වීම් ඔහු ගේ පාපන්දු සංවර්ධනය සහ යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම තහවුරු කරන සුවිශේෂී ගෞරවයකි.

පාපන්දු විචාරකයන්ගේ අදහස වන්නේ ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය මේ වන විට ඉතිහාසයේ වඩාත්ම සාර්ථක හා ප්‍රගතිශීලී අවධියකට පිවිස ඇති බවයි. එහි මීළඟ ප්‍රධාන ඉලක්කය වන්නේ මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන SAFF පාපන්දු ශූරතාවලිය ජයගැනීම යි.

මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත පාපන්දු ප්‍රජාව ජස්වර් උමාර්ට සිය උණුසුම් සුබපැතුම් එක් කරමින්, ඔහුගේ නව වගකීම් සාර්ථක කර ගැනීමට සුභාශිංසන පිරිනමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න