වමේ සංස්කෘතික දුප්පත්කම රහසක් නෙවෙයි. මේක ජයගන්න උත්සාහ කළේ මහාචාර්ය සුචරිත ගම්ලත් සහ මහාචාර්ය පියසීලි විජේගුණසිංහ.
කලාකාරයෝ විශාල වශයෙන් වමට ආකර්ෂණය වුණා. විශේෂයෙන් කොළඹ යුගයේ කවියෝ. කොල්ලුපිටියේ අල්විස් පෙරේරා ප්‍රධාන යි.
පී.බී.අල්විස් පෙරේරා (ඡායාරූපය විල්සන් හෑගොඩ)
මම දන්න කාලේ ධම්ම ජාගොඩ සහ ධර්මසේන පතිරාජ එළිපිටම ට වමට වැඩ කරපු උදවිය. ධම්ම, විකොසෙන් ( විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය - දැන් ස.ස.ප) ගියේ පක්ෂ සමුළුවක් යන අතරේ එයා ගේ නාට්‍ය කණ්ඩායමේ බෙර සද්දය කීරිති බාලසූරියට (විකොස ප්‍රධාන ලේකම්)ට ප්‍රශ්ණයක් වූ නිසා. ඒත් ධම්ම පුහුණු කරමින් හිටියේ ‘මූල්‍ය අට්ටාලය’ නාටකය සමුළුවට පෙන්වන්න.
ධම්ම ජාගොඩ
පති, විකොස සමඟ තිබූ දේශපාලන ආරවුල බේරගන්න ‘බඹරු ඇවිත්’ සිනමා සිත්තමට වීරේ (විමල් කුමාර් ද කොස්තාගේ චරිතය) ඇතුල් කළා. අපි හැමෝ ම පතීට බැන්නා. කොස්තා බස් එකේ යන්නේ පස්සට හැරිල. පතී අපේ වමට හිනා වුණේ එහෙමයි.
ධර්මසේන පතිරාජ
අවාසනාවට සුචරිතට අවුරුදු 20ක්ම ඉංග්‍රීසි ටියුෂන් දීල ජීවත්වෙන්න වුණේ. සරසවියෙන් දොට්ට දාපු නිසා. පියසීලි දිගට ම දේශපාලනය කළා. කොළඹ සරසවියේ ඉගැන්නුව. ඒත් ඔවුන් ගෙනා උරුමය අනාගතයට ගෙනියන්න කවුරුත් හිටියේ නෑ. මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලනී ඍජුව නැතත් වම කලාවට මැදිහත්වීම අගේ කළා; උපකාර කළා.
මහාචාර්ය සුචරිත ගම්ලත් (වම) සහ මහාචාර්ය පියසීලි විජේගුණසිංහ (දකුණ)
‘විමුක්ති ගී’ තනිකරම ලයියාගේ [ලයනල් බෝපගේ] හීනයක්. මාරේට [ නන්දන මාරසිංහ] තිබුණේ ‘මං පොර’ ජාතකයක් පෙන්වන්න. ජනතා කලා සංගමය අරියදේව උන්නාන්සේගේ [ මහා. විලේගොඩ අරිය දේව] වැඩක්. එයා සිංහල බෞද්ධ ජාතිකවාදයට පල්ලං බැස්සට පස්සේ නිකංම්ම නිකං සිවුරක් බවට පත් වුණා. කුමාර ( චන්ද්‍රකුමාර වික්‍රමරත්න) කවියා අරියදේව හදපු ගෝලය.
මට හිතෙන්නේ පතීගේ කරපු හැම නිර්මාණයක් ඇතුළෙ ම එයාගේ දේශපාලන මතය තිබුණ. වසන්ත ඔබේසේකර හැමදාම හිටියේ වමේ ෆුඩ් බෝඩ් එකේ. ඒත් ඒයාට ඊළාම් අරගලය ගැන වගේම ජවිපේ ගැනත් හැඟීම් තිබුණ. මට සිවා [ තරකී/ ධර්මරත්නම් සිවරාම්] ඉස්සේල්ලා ම හමු වුණේ ලෝරිස් පාරේ වසන්තගේ ගෙදර දී. උමාට [උමා මහේශ්වරන්] සිංහල කලාකාරයෝ එක්ක ගනුදෙනු කරන්න ලොකු වුවමනාවක් තිබුණ. උමා මට හමුවුණේත් ලෝරිස් පාරේ දී. සුචරිත තමයි මේ සංස්කෘතික තරගයේ වීරය. එයා විද්‍යාලංකාර පිරිවෙනෙන් මේ සියල්ල ම ගෙනාවේ.
මහාචාර්ය ඒදිරිවීර සරත්චන්ද්‍ර තමයි කලාව අරන් බණ්ඩාරනායකගේ වල්ගේ ගැට ගැහුවේ. මාර්ටින් වික්‍රමසිංහත් ඒකට හවුල් වුණා. ලාංකීය කලාව උඩට සිංහල ජාතිකවාදය පැටෙව්ව. අපිට කුමාරගමල [ නාරම්පනාවේ විමලරත්න] අල්විස් පෙරේරල හොයාගන්න වුණා.
කාටහරි වමේ සංස්කෘතික දුප්පත්කම නැති කරන්න නම් සුචරිත සහ පියසීලි නවත්තපු තැනින් පටන් ගන්න වෙනව. ඊට කලින් මේ පොත කියවන්න ‘කල්පනාලෝකවාදය සාහිත්‍යකලා හා මාක්ස්වාදය’

සුචරිතයි, කීර්තියි හවුලේ ලීවේ.

සටහන - නන්දන වීරරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
