Image

(සජිත්ගේ දේශපාලන සතිය) - සජිත් ගේ යෝජනවාට අනුව මෝල් හිමියන්ට ණය ලැබේ

(සජිත්ගේ දේශපාලන සතිය) - සජිත් ගේ යෝජනවාට අනුව මෝල් හිමියන්ට ණය ලැබේ

ආණ්ඩු ලහි ලහියේ ගෙන එන්නට කෙටුම්පත් කළ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ජනපති අනුර ඇතුළු ආණ්ඩුවේ 160 ටම පාර වළල්ලක් වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හෝ හයෙන් පහක, බහුතර බලය හිමි වූ සෑම අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවීම ඉතිහාසය පුරා දැකගන්නට ලැබුණු බවත්, තුනෙන් දෙකක බලයක් හිමි වත්මන් රජය ද සිදුකරමින් ඇත්තේ එය ම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතිය පුරා රටට ම අනාවරණය කළේ ය. මෙම අත්තනෝමතික ක්‍රියාවලිය පරාජය කරන්නට සියල්ලන් එක්ව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, සමගි ජනබලවේගයේ සියලු පාර්ශවවලට දැනුම් දුන්නේ ඒ වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවන ලෙසය.

 

මහනාහිමිවරුන් ජනපතිට යොමු කළ ලිපිය සැඟවීමේ යටි අරමුණ

ගොඩගැසී ඇති නඩු අවසන් කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන් ගේ සේවය අවශ්‍ය බවත්, එවැනි පසුබිමක උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට තීරණය කළ බවත් ආණ්ඩුව නිරන්තරයෙන් පැවසූ පසුබිමක, මාලිමා ආණ්ඩුව ම ගැස්සී ගියේ ඊට නොසතුට පළකරමින් මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමත් සමග ය. ඒ අනුව එන පො‌ට හොද නැති බව අවබෝධ කරගත් ජනාධිපති අනුර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස සහ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කැඳවා මහනුවරට ගොස් මහනාහිමිවරුන් හමුවී මෙම තත්ත්වය සමතයකට පත් කරන ලෙස උපදෙස්දී තිබුණි.

ඒ අනුව පවතින තත්ත්වය සමනය කිරීමටය. පසුගිය අගොස්තු 03 වැනිදා නලීන්ද හා හර්ෂණ ඇමතිවරුන් දෙදෙනා මහනුවරට ගොස් අස්ගිරි හා මල්වතු මහනාහිවරුන් මුණ ගැසී තිබූ අතර, අගෝස්තු 04 වනදා කැබිනට් හමුවේ දී ඒ පිළිබඳව මාධ්‍යවේදීන් නලින්ද ගෙන් ප්‍රශ්ණ කර සිටියේ ය.

“ඇමතිතුමා, අර මහනාහිමිවරුන් ජනාධිපතිතුමාට එව්වා කියන ලියුමට මොකද වුණේ, මේ විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන එකට මහනාහිමිවරු ඒ ලියුමෙන් විරුද්ධත්වය පළ කරලා කියලා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහත්තයා කිව්වා. කෝ ඒ ලියුම, එහෙම එකක් ලැබුනද?”

එම ප්‍රශ්ණයට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස කියා සිටියේ, “ මහනායක හිමිවරුන්ට එව්වා යැයි කියන ලිපිය ගැන මගේ දැනුවත්භාවයක් නෑ.” කියා ය.

එහෙත් ඊට දින 7 කට පසු එනම් පසුගිය අඟහරුවාදා (11) කැබිනට් මාධ්‍ය හමුවට පැමිණි ඇමති නලින්දගෙන් යළිත් මාධ්‍යවේදීත් මෙම ලිපිය ගැන විමසද්දී ඔහු කීවේ පසුගිය මාධ්‍ය හමුවේ පැවසූ දේට සම්පූර්ණ ම පරස්පර විරෝධී කතාවක් ය.

මාධ්‍යවේදියා : “ඇමතිතුමා, ව්‍යවස්ථා සංශෝධනය ගැන මහනායක හිමිවරුන්ගේ ස්ථාවරය දන්වලා ජනාධිපතිට එවපු බව කියන ලිපිය ලැබුනේ නැද්ද? එහෙම නැත්නම් ඒක ප්‍රසිද්ධ කරන්න එපා කියලා උන්වහන්සේලා ඒකේ සඳහන් කරලා තිබුනද? ඇත්තටම කෝ ඒ ලිපිය.”

ඊට පිළිතුරු දුන් ඇමති නලින්ද කිව්වේ, “මහනායක හිමිවරුන් ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා, ඒකේ තිබුණ කරුණුත් සැලකිල්ලට අරගෙන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය ගැන පහුගිය 03 වෙනිදා මහනායක හිමිවරුන් හමුවෙලා මමත්, හර්ෂණ නානායක්කාර අධිකරණ ඇමතිතුමාත් කරුණු පැහැදිලි කිරීම කළා.” කියා ය.

කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්සගේ මේ පරස්පර විරෝධී ප්‍රකාශය දුටු සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගය මේ ලිපියේ ඇත්ත නැත්ත සොයන්නට ඉතා සූක්ෂම මෙහෙයුමක් ආරම්භ කළේ ය. ඒ අතරතුර තමන්වහන්සේ ඇතුළු මහනාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායකට යැවූ ලිපිය ගැන විකෘති අදහසක් රජය විසින් සමාජගත කිරීම ගැන මල්වතු මහනාහිමියන් කනස්සල්ල පළ කරන්නට විය.

“තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්වල යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවා. ඒවා වාචිකව වගේම ලිඛිත දැනුම්දීම්, ඒක සාම්ප්‍රදායිකව අතීතයේ සිට සිදුකරන දෙයක්. එහෙම දැනුම්දීමක දී නාහිමිවරුන් වෙත රාජ්‍ය පාලකයා පිළිතුරු යොමු කිරීම පිළිවෙතයි. විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් විදිහට අපි අපේ මතය ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම්දුන්නා, ඒත් අදාළ ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා ම කිසිදු පිළිතුරක් ලැබිලා නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණා ද කියලවත් අපව දැනුවත් කරලා නෑ. රටේ යම් ගැටලුවක් ඇති වුනාම ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය රාජ්‍ය පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම රජ දවසේ සිට සිදු වූ දෙයක්. අවවාද අනුශාසනා ලබාදීම අප සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. නමුත් දැන් සිදුවන දේවල් අපටත් ප්‍රශ්නයක්. මහ නාහිමිවරුන් විදිහට අපි ජනාධිපතිතුමාට යවපු ලිපිය නොලැබුණු බවට ඇතැම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ දී පවා කියනවා අපි දැක්කා. ඒක කණගාටුදායක තත්ත්වයක්.”

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ එලෙස අවධාරණය කළේ, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් (12) වෙනිදා මහනුවරට පැමිණ තමන්වහන්නේ බැහැ දුටු අවස්ථාවේ දී ය.

 

අනුරට යැවූ ලිපිය සුජීවගේ සාක්කුවෙන් මතුවූ හැටි....

WhatsApp Image 2026 08 16 at 12.26.56 PM 1

මහනාහිමිවරුන් විසින් ජනපතිට යොමුකළ ලිපිය සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කරද්දී පසුගිය බදාදා (12 ) සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුව රටම උණුසුම් කළ ප්‍රවෘත්තිය සමාජගත කළේ, ජනාධිපති අනුර කුමාර ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හික් ගෑවෙන්නට ය. ඒ අනුව මන්ත්‍රී සුජීව සේනසිංහ ඉතා සූක්ෂම අයුරින් මහනායක හිමිවරුන් ජනාධිපති අනුරට යොමු කළ ලිපියේ පිටපතක් තමන් වෙත ලබාගෙන තිබුණේ ය.

උදෑසනම පක්ෂ නායක සජිත් ඇමතූ සුජීව…,“ නායකතුමා, මහනාහිමිවරුන් අනුරට යැව්ව කියන ලියුම මට ලැබුණා, මම ඔන්න ඔබතුමාටත් එවනවා දැන්, මේක මෙච්චර දවස් හංඟගෙන හිටියේ ඇයි කියලා ඒක කියෙව්වම තේරෙනවා, මේක යවලා තියෙන්නේ ජූලි 31 මේකේ තියෙන කාරණා මුළු රටට ම කියන්න ඕන. මේ ආණ්ඩුව ජනතාවත් රවට්ටනවා, ඒ විතරක් නෙමෙයි මහනායක හාමුදුරුවන් වහන්සේලටත් නිගා කරනවා, මෙයාලා මේ කරන්නේ මහනායක හාමුදුරුවන් වහන්සේලාවත් සමාජය ඉදිරියේ හෑල්ලු කරලා, උන්වහන්සේලා ගැනත් සමාජ අප්‍රසාදයක් ඇති කරන්න හදන වැඩක්. මහනාහිමිවරුන් ආණ්ඩුව එක්ක මේ 22 කට පක්ෂයි කියලා රටට තහවුරු කරන්න හදන මහා කුමන්ත්‍රණයක් මේක. අනුරලා බොරු මතයක් සමාජගත කරන්න හදන වැඩක් මේක. මම මේ ගැන අද උදේ පක්ෂ ප්‍රෙස් එකට ගිහින් කියනවා නායකතුමා.”

ඒක අහපු සජිත් කියුවේ.

“සුජීව, ඇත්ත තමයි මේක බරපතළයි නේ. මහනාහිමින්‍වරුන් මේකේ එකඟයි කියලා නෑනේ. මේ ලියුම හරියට හරි කියලා තහවුරුයි නේද? ඒක හරි එකක් නේද කියලා ආයෙත් හොඳට චෙක් කරලා, තහවුරු කරගෙන අපි දෙවෙනි අදියරට යමු. මොකද මහනාහිමිවරුන් ජනාධිපතිට යවපු ලිපියේ තියෙන උත්වහන්සේලාගේ මතය රටම දැනගන්න ඕන. දැන් ආණ්ඩුව කරමින් යන්නේ උන්වහන්සේලාගේ මතය විකෘති කිරීමක් නේ.”

“නායකතුමා බයවෙන්න එපා, මේ ඒ ලිපියම තමයි. මම ඒක තහවුරු කරගෙන තමයි මං ඔබතුමාට කතා කළේ”  යැයි සුජීව කියද්දී, සජිත් කීවේ එහෙනම් සුදුසු දෙයක් කරන ලෙස ය.

ඒ අනුව සුජීව ලිපිය රැගෙන පක්ෂ කාර්යාලයට පැමිණෙන විටත්, මාධ්‍ය සියල්ල සූදානම් කිරීමට සමගි ජනබලවේගයේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබුණි. ජනපති දැක්ක, රට නොදැක්ක මහනාහිමිවරුන්ගේ ලිපිය සුජීව රටටම ඉදිරිපත් කළේ එලෙස ය. ගතවූයේ නිමේෂයකි, සුජීවගේ අනාවරණය විදුලි වේගයෙන් රට පුරා හමා ගියේය. නෑ..නෑ.. කියූ මහානාහිමිවරුන් ජනපතිට යැවූ ලියුම රටට හෙළිදරව් වුණේ එහෙම ය.

 

සජිත් ලස්සන ජීවිතයක් ඉල්ලයි

WhatsApp Image 2026 08 16 at 12.26.55 PM

සමගි තරුණ බලවේගය විසින් සංවිධානය කර තිබූ කථිකාවක් පසුගිය දවසේ පැවැත්වුණේ, කෝට්ටේ බංගලා හංදිය පක්ෂ මූලස්ථානයේ දී ය.

අනුර ඇතුළු මාලිමා ආණ්ඩුව තරුණ, තරුණියන් වෙනුවෙන් ලබාදුන් පොරොන්දු සහ ආර්ථිකය සවිමත් කිරීමට ලබාදුන් පොරොන්දු ගැන එකින් එක කථිකාවට ගැණුනේ, එහි සමාජීය බලපෑම සහ මාලිමාව ඒ මොහොතේ තරුණයා ආමන්ත්‍රණය කළ ආකාරය ගැන දත්ත සමීක්ෂණ වාර්තා ද මූලික කර ගනිමින්ය.

තරුණ නායකයින් මෙහි දී අවධාරණය කර තිබුණේ, උපාධිධාරීන් 35,000 රැකියා ලබාදීම, තරුණ ව්‍යවසායකයින්ට පොලී රහිත ණය ලබාදීම, තරුණයින්ට අඩු මිලට ජපන් බයිසිකල් ගෙන ඒම, 33% කින් විදුලි බිල අඩු කිරීම, 17% කින් ඉන්ධන මිල අඩු කිරීම, අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන උපකරණ, සෞඛ්‍ය උපකරණවලින් වැට් බදු ඉවත් කිරීම, වසරකට දෙවරක් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම, ජනපති, අගමැති, ඇමති වියදම් කපා දැමීම, ආදී ලෙස ජන මනස රැවටීමට මෙන්ම, තරුණයින් තුළ කැකැරෙන ප්‍රශ්ණවලට විසඳුම් දෙන බවට රැවටිලිකාර ප්‍රචාරණ යාන්ත්‍රණයක් මාලිමාව දියත් කළ ආකාරය ගැන ය. එමෙන් ම තවත් සැලකිල්ල යොමුවූ කාරණයක් වී තිබුණේ, ඉදිරියේදී මාලිමාව දියත් කරන මෙවැනි උපක්‍රමවලින් තරුණයින් මුදාගැනීමට ප්‍රති ප්‍රචාරක යාන්ත්‍රණයක් සකස් කිරීම ගැනය.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” පෙන්වමින් ජනතාව මුළා කළ අයුරු රටට හෙළිදරව් කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කිරීම සහ පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීම අගොස්තු 22 සහ 23 අනුරාධපුරය දිස්ත්‍රීක්කයේ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් දියත් කිරීම, පක්ෂ නායක සජිත්ගේ උපදෙස් මත පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති කබීර් හෂීම් සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක දැනටමත් සැලසුම් සකස් කර ඇත.

එහි දී ඡන්ද මධ්‍යස්ථානයකට සෙසු දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් තිදෙනා බැගින් පත්කරමින් පුළුල් වැඩසටහනක් දියත් කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන ඇත.

 

සජිත්ගේ තවත් යෝජනාවක් ජයගනී

WhatsApp Image 2026 08 16 at 12.26.56 PM 2

ගොවි ජනතාවගේ වී මිල ගැටලුවට මේ දක්වා නිසි විසදුම් ලැබී නොමැති පසුබිමක, දිවයින පුරා ගොවි විරෝධතා උත්සන්න වෙමින් තිබේ.

පසුගිය මාස කිහිපයේම විටින් විට දිවයින පුරා ගොවි ගැටලු සොයා බැලූ සජිත් අවබෝධ කරගත් කාරණයක් වූයේ, යල කන්නයේ වී අස්වනු විකුණාගත නොහැකිව ගොවීන් ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව ය. එම ගැටලුව ගැන සහ ඊට සිදුකළ හැකි ප්‍රායෝගික විසඳුම ගැන ක්ෂ්ත්‍රයේ ප්‍රවීණයින් සහ විද්වතුන් සමග අවස්ථා ගණනාවක දී සාකච්ජා කළ සජිත් විපක්ෂ නායකවරයා ලෙස අගොස්තු 06වන දා පාර්ලිමේන්තුවේ දී වැදගත් යෝජනාවක් කළේ ය.

“අපි දන්නවා ආණ්ඩුවකට කන්නයේ නිෂ්පාදනය කරන වී ඔක්කොම මිලදී ගන්න බැහැ, ඕනම ආණ්ඩුවක් මිලදී ගන්නේ සමස්ත වී නිෂ්පාදනයෙන් 5%, 6% හො උපරිම උනොත් 8% වගේ ප්‍රමාණයක්. රජය මැදිහත් වෙලා එහිදී කරන්නේ මිල ස්ථාවරව පවත්වා ගන්න යම් ප්‍රතිශතයක් මිලදී ගැනීම. මීට පෙර වසරවල දී ඉතිරි වී ප්‍රමාණය මිලදී ගත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල්. ඒත් අද ඒ අයගේ අතේ සල්ලි නෑ. ව්‍යාපාර කඩාගෙන වැටිලා, අතීතයේ මේ වී ගොවියගේ අස්වැන්න මිලදී ගන්න ඒ කුඩා මෝල් හිමියන්ට ණය මුදලක් දුන්නා Prej Loans කියලා. අද ඒක නැති කරලා. ඒකෙන් වුණේ වී ගොවියට අස්වැන්න විකුණ ගන්න බෑ. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් වැහීගෙන යනවා, ආණ්ඩුව වෙළඳ පොළට හාල් ඕන කියලා පිටරටින් හාල් ආනයනය කරනවා. කරුණාකරලා මේක වෙනස් කරන්න. ඔබ ආවේ සහල් මාෆියාව, ඒකාධිකාරය නැති කරනවා කියලා. ඒත් ඔබ අද ගොවිය ගැන බලන්නෙත් නෑ. මේ රටේ මාධ්‍ය පන්තියේ කුඩා මෝල් හිමියා ගැන බලන්නෙත් නෑ, පාරිභෝගිකයා ගැන බලන්නෙත් නෑ, පිට රටින් හාල් ගෙන්නන මුදලාලි ගැන තමයි ඔබ බලන්නේ, ඒ වගේම මහා පරිමාණ මෝල් හිමියන්ට කුණු කොල්ලයට වී ටික ගන්න තමයි ඔබ පරිසරය හදලා දීලා තියෙන්නේ, කරුණාකරලා මේක ඉක්මනට වෙනස් කරන්න. මේ එදා තිබුණ ණය යෝජනා ක්‍රමය ඒ කුඩා මෝල් හිමියට ලබා දෙන්න, ඒකෙන්, ගොවියගේ මේ වී විකුණා ගැනීමේ ප්‍රශ්ණයට කඩිනම් විසඳුමක් දෙන්න පුළුවන් වේවි.”

මේ ගැන අවස්ථා ගණනාවක දී කියූ විපක්ෂ නායක සජිත් බැරිම තැන අගොස්තු 06 වනදා, පාර්ලිමේන්තුවේදී පැවසුවේ මේක කඩිනම් කිරීම ජනාධිපති ප්‍රමුඛ රජයේ වගකීම කියාය. ගොවියා සමඟ පාරට පැමිණ විරෝධතාවයේ නිරතවීමට වඩා සිදුකළ හැකි ප්‍රායෝගික විසඳුම රජයට යෝජනා කරන බවත්, එලෙස යෝජනා කරන්නේ, ගොවියාත්, කුඩා මොල් හිමියාත්, පාරිභෝගිකයාත් ගැන සිතමින් බවත් පැවසූ සජිත් මෙය ඉටු නොකරන්නේ නම් දැවැන්ත ගොවි විරෝධයකට සූදානම් වන ලෙසද අවධාරණය කළේ ය.

අගොස්තු 06 සජිත් එලෙස කියූ පසුබිමක අගෝස්තු 12වන දා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේ යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් සජිත් ඉල්ලූ ණය මුදල වෙන් කිරිමට අනුමැතිය ලබාදෙමින් ය.

ඒ අනුව එක් මෝල් හිමියෙකුට උපරිමය රුපියල් මිලියන 25ක් බැගින් වී මිලදී ගැනීමට සමාන වාරික 3ක් යටතේ ණය හිමිවනු ඇත.

මම | බංගලා හංදියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න