Image

පංති-ගැටුම අර්ථය සහ විනෝදය

පංති-ගැටුම අර්ථය සහ විනෝදය

අතිශයින් පාරිශුද්ධ සහ නිර්මල වූ සිංහල-බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීමට 1956 දී බලයට පැමිණි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1959 දී තමන්ගේ "ක්ල්බ් මිතුරෙකු" වූ සිවිල් සේවයේ සිටි වෝල්ටර් එෆ්. අබේකෝන්ව පොලිස්පති ලෙස පත්කරන අතර එතෙක් පොලිස්පතිව සිටි ඔස්මන්ද සිල්වා ව අනිවාර්‍ය නිවාඩු යවයි. මෙය පොලීසිය තුළ බරපතළ විවාද වලට භාජනය වූ පත්වීමක් වන විට එහි ඇතිවූ ආරක්ෂාව පිළිබඳ "හිඩැස" 1959 සැප්තැම්බර් 25 අගමැති බණ්ඩාරනායක ගේ ජීවිතය අවසන් වීමට ද වක්‍රව බලපෑවේ ය.

පංති-ගැටුම වෙනත් කතාන්දරවලින් වසා දැමීම

පොලිස්පති පුටුව සදහා 2023 පමණ වනවිට ඇතිවූ තිබූ පොරකෑම මත ප්‍රියන්ත වීරසූරිය ගේ නම ඈඳී තිබුනේ නැත. ජ්‍යේෂ්ඨත්වයෙන් පහළ සිටි ප්‍රියන්ත වීරසූරිය මාලිමා ආණ්ඩුවක් බලයට පත්නොවුණා නම් කිසිවිටෙක පොලිස්පති වන්නේ ද නැත.

රාජ්‍යයේ වගකීම් සහගත නිලතල සදහා පත්කිරීම් සිදුකිරීමේ දී සෑම විටම එහි යටිපෙල තුළ දේශපාලනය තිබේ. ඒවා ඇති බව කිසිදු පාලකයකු පිළිනොගන්නා අතර මේ අශ්ලීල යටිබඩේ දේශපාලනය මේ යුගයේ දී සමාජ මාධ්‍යවල බලවත් භාවය නිසාම පිටාර ගලා මතුපිටට පැමිණෙයි.

"පංතිය" පිළිබද ඇති අදහස සමාජය තුළ ගිලී ඇති සැබෑ පසමිතුරුතා ගැටුම බව බොහෝ දෙනෙක් නොදැනීම දෘෂ්ටිවාදී මුළාවකි. නැත්නම් පංති-ගැටුම වෙනත් කතාන්දරවලින් වසා දැමීමම දෘෂ්ටිවාදය වෙයි. ජ.වි.පෙ. රාජ්‍ය බලය ලබාගැනීම යනු 1948 සිට 2024 දක්වා ලාංකීය රාජ්‍ය පාලනය කළ පංතියේ සෘජු විතැන් වීමකි. එය වාමාංශික හෝ දක්ෂිණාංශික දැයි පරීක්ෂා කිරීම පිළිබඳ සම්භාව්‍ය ගැටලුව තිබිය දී ම මේ පංතිය පිළිබඳව වූ විතැන් වීම සමාජය දෙදරවනසුලු බව පිළිගත යුතු ය.

 

යුක්තිය පිළිබඳ ව ඇති විශ්වීය මූලධර්ම පළිගැනීම බඳු ආත්මීය සාධක දක්වා පසුබැසීම

ලාංකීය සමාජය තුළ රාජ්‍ය අධිකාරී ආයතනික පද්ධතිය ස්වාධීන යැයි පැවසීම ම තඩි බොරුවකි. අල්ලස් කොමිසමේ සභාපති රංග දිසානායකට හෝ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සතියකට වරක් මාධ්‍ය ඉදිරියට පැමිණ මයික් දික්කරන මෝඩයින් ඉදිරියේ තමන් ගේ ආයතන ස්වාධීන බව කියන්නට සිදුවීම හාස්‍යයක් නිපදවන තත්ත්වයකි. වෙනත් රටවල ද එසේ මයික් ඉදිරියේ තමන් ස්වාධීන බව කියන ආයතන ප්‍රධානීන් දුලභ ය.

ජ.වි.පෙ. පිළිබඳව අපේ විවේචනය පංති විඥානය පිළිබඳ න්‍යායික තත්ත්වයෙන් විනෝදය පිළිබඳ න්‍යායික තත්ත්වයට පොලා පනින්නේ මෙම නිමේෂයේ දී ය. තමන් නියෝජනය කරනා පංතිය පිළිබඳ ඇති අදහස විනෝද ලෝකයක් කරා විපරිවර්තනය වූ විට යුක්තිය පිළිබඳව ඇති විශ්වීය මූලධර්ම පළිගැනීම වැනි ආත්මීය සාධක දක්වා පසුබසී. ජහමනයාව චූන් එකේ තබාගැනීම තුල ජ.වි.පෙ. අනාගතය වෙත විශාල වෛරයක් ආයෝජනය කරමින් සිටී. මෙය ආපිට කැරකැවී එන මොහොත පිළිබඳව හොදම උදාහරණය දැනටමත් රාජපක්ෂවරු අපිට උගන්වා තිබේ.

මාලිමාවේ පංති දේශපාලනයේ කැඩපත

අගවිනිසුරු ගේ ධුර කාලය පිළිබඳව නිශ්චිත අදහසේ ම යටිපෙළ දේශපාලනය බව ඔබට වැටහේ නම් නාමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස බලයේ සිටියහොත් ද ඔවුන් කරන දේ දන්නේ ජලනි-ලිමිනි සහ තිස්තුන්කෝටියක් දෙවිවරු පමණක් බව ද ඔබට අවබෝධ විය යුතු ය. නීතිය යනු පාලකයා ගේ කැමැත්ත මිස ඊට පූජනීය භාවයක් නැත. බලය පිළිබඳ අදහසට පංතිමය මානයක් ඇති බව අවිඥානිකව දැන සිටි ඉහළ-පංතිය වෙත එය සවිඥානික වීම ආරම්භ වී තිබේ. රුසියාවේ දී සාර් රජුගේ සුරතල් බල්ලා පවා මරා දැමුවේ විප්ලවයේ නාමයෙන් බව මතක් කළ යුතුය.

හිටපු පාලක පංතියේ අදෝනා සහ දුක් ගී පිළිබඳව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිඹුල් කදුඳුළුවලට හිමි වටිනාකම මේ යුගයේ දී අහෝසි වී යන්නේ ද මේ පංතිමය දේශපාලනික ගැටුම නිසා ය. නාවලපිටියේ ප්‍රාන්ත චන්ඩියා වූ මහින්දානන්ද අලුත්ගමගේට ජම්පර් ඇන්දවීම පිළිබඳව ග්‍රාමීය ජනයාගේ "සතුට" මාලිමාවේ පංති දේශපාලනයේ කැඩපතකි.

 

බටහිරට වඩා බටහිර විය යුතු අපි

1984 -ධවල මන්දිරයේ දී රොනල්ඩ් රේගන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ජේ.ආර්.ජයවර්ධන කළ කතාව මෙන්ම අර්නස්ටෝ චේගුවේරා 1964 දී එක්සත් ජාතීන් හමුවේ කතා කළ වචන කිහිපයත් පංතිය පිළිබඳව අපිට විප්ලවීය අවබෝධයක් ලබාදෙයි. අනුර කුමාර දිසානායක පිළිබඳව වැල්වටාරම් කියන අය සිය දේශපාලන නායකත්වය සදහා නාමල්-සජිත් හෝ දිලිත් ළඟ ගාල්වූ වහාම අපිට සත්‍ය පැහැදිලි වෙයි. අනුර ලෙනින් නොවන්නා සේම නාමල්, සජිත්, හෝ දිලිත් රේගන් ද නොවේ.

පංති දේශපාලනය සම්භාව්‍ය අර්ථයෙන්: ජේ.ආර්., හෝ රේගන්, ලෙනින් සහ චේ පසුකර අලුත් යුගයකට පිවිස ඇත. විනෝදයේ (enjoiment) අදහසින් සියලු ම පංති පසමිතුරුතා, විනෝදය සංවිධානය කිරීම ප්‍රමුඛ කරගෙන ඇත. විශ්වීය මූලධර්ම පිළිබඳ අදහස ඩොනල්ඩ් ට්‍රම්ප් බඳු කෙනකු ඉදිරියේ දී බිද වැටෙන විට අපිට බටහිර පරමාදර්ශ අවසන් බව වැටහිය යුතු ය.

දීප්ති, විසින් වරෙක කියුවා සේ අපි බටහිරට වඩා බටහිර විය යුතු ය. එය සිතීම පැත්තෙන් වන විප්ලවීය දේශපාලනයයි. අනාගත ලෝකය තුළ ඇති දේශපාලන ගැටලුව අර්ථය සහ විනෝදය පිළිබඳව ඇති ගැටුමයි. පංති දේශපාලනය ගල්වී ඇත්තේ මෙහි ය. අපිට බොහෝ දෙනකු වෛර කරන්නේ අපි ඔබේ විනෝදයට පහර දෙන නිසා ය. සැබැවින්ම ඊට මෙහායින් ඔබව අර්ථයකට රැගෙන යන දේශපාලනයක් ද නැත.

Samabima Party

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න