Image

ඉන්ධන පිරවුම්හල් වංචාවකට චමල් රාජපක්ෂ ගේ සම්බන්ධය

ඉන්ධන පිරවුම්හල් වංචාවකට චමල් රාජපක්ෂ ගේ සම්බන්ධය

ශ‍්‍රී ලංකාවේ පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන විවිධ වංචා සහ දුෂණ පිළිබඳව වර්තමානයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මෙවැනි එක් විශේෂිත සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණයේ දී කරුණු අනාවරණය වූ අතර එය ප‍්‍රධාන වශයෙන් හම්බන්තොට ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ ඉන්ධන පිරවුම්හලක් සම්බන්ධයෙන් ඇති වූ නීතිමය ආරවුලකි.

රතු කුරුස සංගමය සහ චමල් රාජපක්ෂ අතර ගැටුම

chamal

මෙම සිද්ධියට අදාළ කතාව ආරම්භ වන්නේ 2007 වසරේ දී ය. ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය සිය මානුෂීය සහ පුණ්‍ය කටයුතු සඳහා ස්ථිර අරමුදලක් රැස්කර ගැනීමේ අරමුණින් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආරම්භ කිරීමට තීරණය කළේ ය. මේ සඳහා සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස ඔවුන් අදාළ බලධාරීන් ගෙන් ඉල්ලීමක් කළේ ය. එම අවධියේ හම්බන්තොට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ ය. රතු කුරුස සංගමයේ ඉල්ලීම පරිදි හම්බන්තොට නගර සංවර්ධන සැලැස්මට අනුකූලව නාගරික සංවර්ධන අධිකාරිය හරහා පර්චස් 40ක ඉඩමක් වෙන් කිරීමට ඔහු නිර්දේශ කළේ ය. කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හලක් පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් පර්චස් 65 ක ඉඩමක් අවශ්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දීමත් සමග එම ඉඩම් ප‍්‍රමාණය පර්චස් 65 දක්වා වැඩි කිරීමට ද චමල් රාජපක්ෂ අනුමැතිය ලබා දී ඇත. මෙම ඉඩම රතු කුරුස සංගමය වෙත ලබා දුන්නේ දීර්ඝකාලීන බදු පදනම මත ය. ඒ අනුව එම සංගමය විශාල ආයෝජනයක් සිදු කරමින් ඉන්ධන පිරවුම්හලක් ඉදිකළ අතර 2010 සැප්තැම්බර් මාසය වන විට එහි වැඩකටයුතු නිම කර සේවාවන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් මෙම කතාවේ හැරවුම් ලක්ෂය වන්නේ පසුව මෙම ඉඩමේ අයිතිය සහ කළමනාකරණය සම්බන්ධයෙන් රතු කුරුස සංගමය සහ චමල් රාජපක්ෂ ප‍්‍රජා සංවර්ධන පදනම අතර ඇති වූ ගැටුමයි.

රතු කුරුසයට රහසේ ඉඩම වෙනත් පාර්ශ්වයකට...?

red

මෙකී හම්බන්තොට ඉන්ධන පිරවුම්හල ආරම්භ කිරීමත් සමග එහි යම් වංචා සහ දුෂණ සිදුවන බවට ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය වෙත තොරතුරු ලැබුණි. මේ පිළිබඳව සිදු කළ අභ්‍යන්තර විගණනයක දී අනාවරණය වූයේ රතු කුරුස සංගමයේ හම්බන්තොට ශාඛාවේ එවකට සභාපතිවරයා මේ සඳහා වගකිව යුතු බවයි. රතු කුරුස සංගමය සිය හම්බන්තොට ශාඛාව විසිරුවා හැරීමටත් එහි පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමටත් 2015 වසරේ දී තීරණය කළේය. කෙසේ වෙතත් රතු කුරුස සංගමය නොදැනුවත්ව ම ඉතා රහසිගත සහ කුමන්ත‍්‍රණකාරී ලෙස එම ඉඩම වෙනත් පාර්ශවයකට පැවරීමට රජයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි. මෙම ඉඩම පවරා දුන්නේ මාගම්පුර ප‍්‍රජා සංවර්ධන පදනම වෙතය. මෙහි ඇති විශේෂත්වය සහ පුදුමයට කරුණ වන්නේ වංචා චෝදනා මත රතු කුරුස සංගමයෙන් ඉවත් කළ එම ශාඛාවේ හිටපු සභාපතිවරයා ම මෙම මාගම්පුර ප‍්‍රජා සංවර්ධන පදනමේ ද සභාපතිවරයා ලෙස කටයුතු කිරීමයි. මෙම ඉඩම පැවරීමේ ක‍්‍රියාවලියේ දී ඉතාම වංචාකාරී ලෙස ලේඛන සකස් කර ඇති බව අනාවරණය වී ඇත. අදාළ ඉඩම් කොටසේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීමක් නොමැති බවට සටහන් කර තිබුණ ද සැබවින්ම ඒ වන විටත් රතු කුරුස සංගමය එහි ඉන්ධන පිරවුම්හලක් සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කර තිබුණි. එවැනි සක‍්‍රිය මට්ටමේ පවතින පිරවුම්හලක් සහිත ඉඩම මෙසේ කිසිදු ඉදිකිරීමක් නැති බව පවසමින් මාගම්පුර පදනම වෙත පවරා තිබිණි.

රතු කුරුස සංගමය නඩු මගට

මෙම අසාධාරණ තීරණයට එරෙහිව රතු කුරුස සංගමය විසින් රිට් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් ලෙස ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය, එහි සභාපති ජගත් අබේසිංහ සහ ජාතික ලේකම් එස්. එච්. නිමල් කුමාර් ඇතුළු පිරිසක් ඉදිරිපත් වූහ. එමෙන්ම මෙහි වග උත්තරකරුවන් ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා, හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම්වරයා, නාගරික සංවර්ධන අධිකාරිය මෙන්ම මාගම්පුර ප‍්‍රජා සංවර්ධන පදනමේ සභාපති කේ.එච්. ප්‍රේරමතිලක සහ එහි ලේකම්වරයා ද නම් කර තිබුණි

2015 වසරේදී ඉදිරිපත් කළ මෙම රිට් පෙත්සම දීර්ඝ කාලයක් විභාගයට ගැනුණු අතර එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමේ දී වැදගත් කරුණු රැසක් හෙළි විය. මෙම නඩුව ධම්මික ගණේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි. පෙත්සම්කාර රතු කුරුස සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වූහ. රජයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙනී සිටි අතර මාගම්පුර ප‍්‍රජා සංවර්ධන පදනමේ සභාපති සහ ලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා පෙනී සිටියේය.

චමල් ගේ වංචාව

නඩු විභාගයේදී අනාවරණය වූ ප‍්‍රධානතම කාරණයක් වන්නේ චමල් රාජපක්ෂ ප‍්‍රජා සංවර්ධන පදනම ලෙස මුලින්ම ආරම්භ කර තිබූ ආයතනය පසුව මාගම්පුර ප‍්‍රජා සංවර්ධන පදනම ලෙස නම වෙනස් කර ඇති බවයි. මේ හරහා එකී පදනම සහ අදාළ දේශපාලන මැදිහත්වීම පිළිබඳ පැහැදිලි සාක්ෂි අධිකරණය හමුවේ තහවුරු විය. මෙම ඉඩම් පැවරීම් සඳහා නිර්දේශ ලබාදීමේ දී හෝ තීන්දු ගැනීමේ දී දිස්ත‍්‍රික් සංවර්ධන කවුන්සිලය ක‍්‍රියා කර ඇත්තේ කුමන නීතියක් යටතේ ද යන්න පිළිබඳව පැහැදිලි කරුණු ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරුන් පෙන්වා දී ඇත. චමල් රාජපක්ෂ මෙවැනි ඉඩම් පැවරීම් සඳහා නිර්දේශ ලබාදීමට ඇති නීත්‍යානුකූල බලය කුමක්ද යන්න පිළිබඳව ද නඩුවේ දී ප‍්‍රශ්න කෙරිණි. මුලින්ම චමල් රාජපක්ෂ ගේ මැදිහත්වීමෙන් රතු කුරුස සංගමයට ඉන්ධන පිරවුම්හල ඉදිකිරීමට ඉඩම ලබාදුන් අතර ඔවුන් විශාල ධනයක් වැය කර එය නිම කළ පසු එකී පිරවුම්හල සහිත ඉඩම චමල් රාජපක්ෂ මහතාගේ ම මූලිකත්වයෙන් නම වෙනස් කරගත් පදනමට ලබා දීමට උත්සාහ කර ඇති බව මෙහිදී මතු වූ ප‍්‍රබලම කරුණයි.

රතු කුරුසයේ ව්‍යවස්ථානුකූල භාවය සහ අධිකරණ තීන්දුව

images

තව ද මාගම්පුර පදනම වෙත මෙම ඉඩම පැවරීමට තීරණය කළ දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටු රැස්වීමට එම පදනමේ ම ලේකම්වරයා සහභාගී වී ඇති බව අධිකරණයේ දී හෙළි විය. මෙය බරපතළ පක්ෂපාතීත්වයක් බවත් තමන්ට වාසි සහගත තීන්දුවක් ගන්නා අවස්ථාවක එම පාර්ශවය ම එහි රැඳී සිටීම නීත්‍යනුකූල නොවන බවත් මෙහි දී අවධාරණය කෙරිණි. ඉඩම පැවරීමේ දී ඉදිරිපත් කර ඇති වාර්තාවල අඩංගු අසත්‍ය කරුණු පිළිබඳවද අධිකරණය අවධානය යොමු කළේ ය. මාගම්පුර පදනමට ඉඩම දෙන අවස්ථාවේ දී එහි කිසිදු ගොඩනැගිල්ලක් නොමැති බවට නිලධාරීන් වාර්තා කර තිබුණ ද සැබවින්ම ඒ වන විටත් රතු කුරුස සංගමය විසින් ඉදිකරන ලද සම්පූර්ණ ඉන්ධන පිරවුම්හල එහි පිහිටා තිබුණි. රතු කුරුස සංගමය පුණ්‍ය ආයතනයක් බැවින් ඔවුන්ට වාණිජ කටයුතු එනම් පිරවුම්හලක් පවත්වාගෙන යෑම කළ නොහැකි බව පවසමින් මෙම ඉඩම ඔවුන් ගෙන් ඉවත් කිරීමට බලධාරීන් උත්සාහ කර තිබුණි. එහෙත් රතු කුරුස සංගමයේ ව්‍යවස්ථාවට අනුව එවැනි ව්‍යාපෘති සිදු කිරීමට ඔවුන්ට නීත්‍යානුකූල බලයක් ඇති බව අධිකරණයේ දී තහවුරු විය. රතු කුරුස සංගමය ලවා ඉන්ධන පිරවුම්හල ඉදිකරවා ගෙන එය නිම වූ පසු එම සූදානම් කළ ව්‍යාපාරය සහිත ඉඩම තමන්ට සම්බන්ධ සංවිධානයකට පවරා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කර ඇති බවට මෙහිදි කරුණු තහවුරු වී ඇත. අධිකරණය අවසානයේ නිගමනය කළේ රාජ්‍ය නිලධාරීන් මෙහි දී කටයුතු කර ඇත්තේ අත්තනෝමතික ලෙස සහ නීතියට පටහැනිව බවයි.

2015 වසරට පෙර මෙරට රාජ්‍ය නිලධාරීන් ගේ අත්තනෝමතික ක්‍රියා

images 1

මෙකී හම්බන්තොට ඉන්ධන පිරවුම්හල් ඉඩම සම්බන්ධ නඩුව අවසානයේ ඉතා තීරණාත්මක තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලනයේ සිදුවූ අත්තනෝමතික ක‍්‍රියා හෙළිදරව් කිරීමට අධිකරණය විසින් පියවර ගන්නා ලදී. මෙහි දී අධිකරණය ලබාදුන් නියෝග ගැන සැලකීමේ දී මාගම්පුර පදනම වෙත මෙම ඉඩම පැවරීමට ගනු ලැබූ සියලූු ම තීරණ සම්පූර්ණයෙන් ම අවලංගු කිරීමට අධිකරණය තීන්දු කළේ ය. ඊට අදාළව රිට් ආඥා නිකුත් කළ අතර රතු කුරුස සංගමය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සාධාරණ විමසීමක් කර නැවත සලකා බලන ලෙසට ද බලධාරීන්ට නියෝග කරන ලදී. මෙහි දී කෙළින් ම ඉඩම ලබාදෙන ලෙස අධිකරණය නියෝග නොකළත් ඒ පිළිබඳව සාධාරණව කටයුතු කරන ලෙස අවධාරණය කර ඇත. මෙම නඩු තීන්දුව මගින් 2015 වසරට පෙර කාලසීමාව තුළ මෙරට රාජ්‍ය නිලධාරීන් ඇතැම් අවස්ථාවල දී නීතියට පටහැනිව සහ අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති ආකාරය පිළිබඳ මනා උදාහරණයක් සපයන බව පෙනේ. දුෂණ සහ වංචා පිළිබඳව නිසි විමර්ශනයක් සිදුවන්නේ නම් මෙවැනි කරුණු අනාවරණය කර ගැනීම ඉතා පහසු ය. තව ද උනන්දුවක් දක්වන පිරිස් වේ නම් මෙම නඩු තීන්දුව කියවීමට අවශ්‍ය තොරතුරු ද මෙහිදි සඳහන් කරමි. අභියාචනාධිකරණ වෙබ් අඩවියේ පළ කර ඇති මෙම නඩුව සීඒ රිට් ඇප්ලිකේෂන් 247/2015 ලෙස ගුගල් සෙවුම් යන්ත‍්‍රය හරහා සෙවුම් කර සොයා ගත හැකි ය.

මෙම තීන්දුවෙන් පාදක කරගෙන අදාළ නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය සහ චමල් රාජපක්ෂ ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. විශේෂයෙන් ම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් මැදිහත් වී පරීක්ෂණ ආරම්භ කිරීමට මෙම අධිකරණ තීන්දුව හරහා ප‍්‍රබල පදනමක් සැකසී ඇති බව අප අවධාරණය කර සිටිමු.

මූලාශ්‍ර - Cyber News LK

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න