ඉතිං... ඒ සිපිරිගෙයින් නිදහස් විය හැකි ද...? - ‘දහයයි දොළහ 10 x12’ පිළිබඳ කියවීමක්

ඉතිං... ඒ සිපිරිගෙයින් නිදහස් විය හැකි ද...? - ‘දහයයි දොළහ 10 x12’ පිළිබඳ කියවීමක්

මෙලොව පවතින සෑම දාර්ශනික ගැටලුවක ම මූල ප්‍රභවය භාෂාව බව බුදුන්වහන්සේ විසින් සූත්‍ර පිටකයේ දී දේශනා කරන ලදී. ප්ලේලේටෝ ගේ 'ඩයලොග්ස් ඔෆ් සොක්‍රටීස්' සිට වර්තමානයේ ස්ලෝවැජ් ජිජැක් ගේ කෘතියක් දක්වා ම පදනම් වී තිබෙනුයේ ද එක් එක් වචන සහ වචන හේතුවෙන් ගොඩ නැගී තිබෙන ප්‍රපංචවල නිර්වචන පර්යාය කිරීමට හෝ වචනවල අරුත් පසිඳලීමට ය.

ප්ලේටෝ ගේ උක්ත ග්‍රන්ථයේ දී ද සොක්‍රටීස් බෙහෙවින්ම වෑයම් කරනුයේ අප කී පළමු කාරණාවටය. ඉතිං, මේ වියමන සොක්‍රටීස් ගැනවත් ජිජැක් ගැනවත් ප්ලේටෝ ගැනවත් නම් නොවේ. මෙය ‘2022 වසරේදී ගොඩගේ කාව්‍යය අත්පිටපත් තරගයෙන්‘ ජයග්‍රහණය කරනු ලැබූ සංජීව මූණමල්පේ විසින් රචිත ‘දහයයි දොළහ 10 x12’ නමැති කවි එකතුව පිළිබඳව කියවීමකි.

sanjewa

වාස්තවික යථාර්ථය තුළ කමකට නැති වුන්

අද වන විට කිසියම් හෝ කෘතියක් කියවීමට බඳුන් කරන විට කෘතියේ පිටකවරයේ සිට පෙරවදන, පිදුම යන කෘතියේ අන්තර්ගතය හා සමගාමීවම කියවීමට බදුන්විය යුතු විෂයන් ලෙස හැදින්වීමට කැමැත්තෙමු. මන්ද විචාරය නමැති නූතනවාදී භාවිතාව තුළ සෑම විටම කෘතියේ අන්තර්ගතය ඒක පාර්ශවික දෘශ්ටිකෝණයකින් නිර්වචනයට බඳුන් වෙනු ලැබූ අතර ගෙවෙන යුග මොහොත වන පශ්චාත් නූතනවාදී මොහොත තුළ විචාරය යන සංකල්පය වෙනුවට නිර්මාණාත්මක කෘති සම්බන්ධයෙන් කියවීම් සමාජගත වී තිබෙන බැවිනි. ඩෙරීඩියානු අර්ථයෙන් බලන කල නූතනවාදී විචාරයේ මහා ආඛ්‍යානික අධිපතිවාදී බව කියවීම් තුළින් ඛණ්ඩණය වන විට කියවීම යනු විචාරයට සම්මුඛ වූ පශ්චාත් නූතනවාදී *පාර්මකොලජි (Pharmacology)යකි.

ඉතිං, සංජීවගේ කවි පොත ද අප විසින් කියවීම ආරම්භ කරන ලද්දේ එහි පෙරවදනේ සිට ම ය.

පෙරවදන

වදන් යනු

යි

පෙර ද

පසුව ද

මතු ද

කිසිවක් නොකළ හැකි

සිපිරි ගෙය ම යි

ඉතිං, වචන නමැති ඒ සිපිරි ගෙයි මිනිසුන් සිර වූ විට ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතාවන් යම් ආකාරයකට ක්‍රියාත්මකවීමට පසුබෑම ආරම්භ වීම කියවීම තුළින් ශේෂ වන අන්තගාමී ලක්ෂණවලින් එකක් ලෙසට පුද්ගලිකවම පොත පතට බොහෝ වශයෙන් නැඹුරු වී සිටින පාඨකයින් ප්‍රායෝගිකව අත්විදිනු ලබන සත්‍යයකි. ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමක් වන ‘ටුවෙන්ටි වන් පයිලට්ස් ලාගේ රයිඩ්’ (Twenty One Pilots' Ride) නමැති ගීතයේ දීත් ඔවුන් එම අදහසම ලෝකයට කියා පායි. එනම් අධිපාරභෞතිකය තුළ තමන්ට තත්ත්වයක් හිමිකරගන්නා සියලු දෙනා ව්‍යවහාරික ලෝකය තුළ, එනම් වාස්තවික යථාර්ථය තුළ කමකට නැති වුන් බවට පත් වීමයි.

සංවාදිත ප්‍රස්තූතයේ විරුද්ධාභාසී දේශපාලනික අර්ථය

මේ අවපාතනය ගොඩනැගීම ආරම්භ වනුයේ, වචන නමැති සිරගෙයට මිනිසුන් සිර වී භාවිතාව නමැති ක්‍රියාපදය ව්‍යවහාරයෙන් ඈත් කළ විටයි. එසේ නම් එම අවපාතනය ගොඩනැගීම වළකාලීමට අප අනිවාර්යෙන්ම ක්‍රියා කළ යුතු වන්නෙමු. මන්ද මෙම ලිපියේ ප්‍රවේශයේ දී සඳහන් කළ බුදුන්වහන්සේ ගේ කියමන හරහා යමින් සියලු දේ එවැනි පදනමකින් භාරගැනීමට අප සූදානම් වන්නේ නම් අනිවාර්යෙන් ම අපට අතක්කාවචර වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට සිදු වන බැවිනි. නමුත් නිවන බෙහෙවින්ම දුරස්ත වූ කෙලෙස් වඩන්නන් වූ බැවින් පෘථග්ජන යන නමින් හැඳින්විය හැකි අපි සියලු දෙනාට ම වචන සහමුලින්ම පාහේ අතහැර දැමීමට ද නොහැකි ය.

ඉතිං වචන මත යැපෙමින් වචනවල සිර නොවී සිටීමට නම් අප අපගේ පැවැත්මට දයලෙක්තිකයක් එක් කරගත යුතුය. සැබැවින් ම වචන හරහා අප අපගේ පැවැත්මට දයලෙක්තිකයක් එක් කර ගත යුතුව ඇත්තෙමු. එනම් වචන ආත්මීයව විඳිමින් ප්‍රායෝගික සංදර්භයක දී ඒවා තුළින් ක්‍රියාකාරී භාවිතාවල යොමු වීම තුළිනි.

සංජීව ගේ මෙම පෙරවදන හරහා ගොඩනැගෙන මෙතෙක් අප විසින් සංවාදිත ප්‍රස්තූතයට විරුද්ධාභාසීව ගොඩනැගෙන දේශපාලනික අර්ථයක් ද ඒ තුළ නොමැතිවා නොවේ. එනම් ඉංග්‍රීසි පාලනයෙන් වචනයෙන් පමණක් නිදහස් වූ ස්වෛරී ජාතියක් වන අප එදා සිට අද දක්වාම වචනවලින් නිර්මාණය වූ පොරොන්දු නමැති දේශපාලන යාන්ත්‍රණය තුළ දශක ගණනාවක් තිස්සේ සිර වී සිටීම යි. කෘතියේ පෙරවදනෙහි අන්තර්ගතය කෘතියේ අන්තර්ගත කවි වියමන තුළ එන දේශපාලනික කවි සමග එකිනෙකට සම්මුඛ කරලීමෙන් අපට ගත හැකි සංවාදිත ප්‍රස්තූතයේ විරුද්ධාභාසී දේශපාලනික අර්ථය එයයි.

poli

 නව ලිබරල් ධනවාදයේ දාර්ශනික මිරිවැඩි සඟල

එනම් මෙම සමස්ත කවි අන්තර්ගතය ම පෙරවදන හරහා එකිනෙකට විසංයෝජනය කළ හැකි නම්, එයින් බිහි වන ප්‍රතිපක්ෂ යුගලයෙන් එක් ප්‍රතිපක්ෂයක් පාහේ සහමුලින් ම නැඹුරු වනුයේ ආදරය, අහිමිවීම හා හුදෙකලාව නමැති ආත්මීය පක්ෂයට වන අතර අනෙක් ප්‍රතිපක්ෂයට අන්තර්ගත වනුයේ දේශපාලනය, ගමෙන් නගරයට පැමිණෙන කාන්තාව ගේ දේශපාලනික වූ සමාජීය යථාර්ථය සහ උතෝපියානු දේශපාලන නොස්ටැල්ජියාව යන කාරණාවලිනි.

ඒ අනුව බලන කල මෙම කවි එකතුවේ ග්‍රන්ථ නාමය දහයයි දොළහ යන නමින් ඉරට්ටේ සංඛ්‍යා යුගලයක ගුණනයෙන් දක්වා තිබීම එම නමින් හැඳින්වෙන කවිය තුළ වෙනම අර්ථයකට පර්යාය වෙනු ලැබුව ද සමස්ත කෘතියට ම එම නම යෙදීම තුළින් ගම්‍ය වන තවත් කාරණාවක් අපට විවරණය කර ගත හැකි ය. එනම් එකිනෙකට ප්‍රතිපක්ෂ වූ යුගලයක ගුණනය තුළින් සමස්ත කවි අන්තර්ගතයේ ඓක්‍යය ලබා ගත හැකි බව යන කාරණාවයි. එය සැබැවින් ම පෙරවදන නමැති සූත්‍රය උපයෝගී කොට ගනිමින් ග්‍රන්ථ නාමය නමැති දී තිබෙන අගය යොදා ගෙන ලබා ගත් ප්‍රතිඵලයක් වශයෙන් හැදීන්වීමට කැමැත්තෙමි.

නව ලිබරල් ධනවාදයේ දාර්ශනික මිරිවැඩි සඟල ලෙස හැඳින්විය හැකි පශ්චාත් නූතනවාදය තුළ සැබැවින් ම තවදුරටත් කවි නමැති ආත්මීය භාවිතාවට ඉඩක් තිබෙනවා ද යන කාරණාවේ දී අපට එළඹිය හැකි උත්තර ද්විත්වයක් ම තිබේ. එක 'ඔව්' යනුවෙනි; දෙක 'නැත' යනුවෙනි. තවඳුරටත් මෙම පිළිතුරු ද්විත්වයට ඌන පූරණයක් වශයෙන් 'ඔව්...නැත' යන දයලෙක්තිමය පිළිතුර ද ගත හැකිය. සැබැවින් ම ලෝකය කෙතරම් දියුණු මට්ටමකට අද වන විට ළඟා වී තිබෙනවා ද කියනවා නම්, අභ්‍යවකාශ මධ්‍යස්ථාන සෑදීමේ සිට නව වෛරසවලට මුහුණ දිය හැකි එන්නත් නිපදවීම යන කාරණා දක්වා ම සංවර්ධනය හෙවත් දියුණුව යන කාරණාවලින් තාක්ෂණික වශයෙන් හිනි පෙත්තක සිටින තත්කාලය තුළ පවා කවි නමැති ආත්මීය භාවිතාවට ඉඩක් වෙන් වී තිබේ. විශ්වීය නිර්මාණ භාවිතාව අතින් ගත් කල එය මල භාවිතාවක් බවට අද වන විට නම් කෙරී තිබුණ ද ලෝකයේ කොතැනත් අද දක්වාම කවි පොත් ප්‍රකාශනයට පත් වේ. එය කිසි දිනෙක සිදු නොවන දිනයක් නම් උදා නොවනු ඇත.

 කවිය මළ භාවිතාවක් බවට ලඝු වන්නේ ඇයි...?

අපගේ කියවීමේ සංචිතයට මෑතකදී එක් වූ සුභාෂීණී චතුරිකා විසින් පරිවර්තනය කරන ලද ජොසේ සරමාගෝගේ ‘පියැසි කවුළුව’ නම් වූ නිර්මාණයේ කවි සම්බන්ධයෙන් එක්තරා අපූරු කියවීමක් අන්තර්ගත වී තිබේ. මෙම කෘතියේ එන අබෙල් නම් වූ තනිකඩ තරුණයා කවි සම්බන්ධයෙන් හෙලනු ලබන දෘශ්ටිකෝණාවලෝකනය මෙබඳු ය.

Piyesi

“ඇයි කවිවලට නිකරුණේ ලියවෙන්න බැරි ද? පුලුවනි. ඇත්තෙන්ම ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. ඒත් නිකරුණේ කවි ලියන එකේ ඇති තේරුම මොකක් ද? සමහරවිට කවිත් හරියට වසන්තය හෝ කඳුකර දිය දහරාවක් වගේ තේරුමක් නැති පවතින්නනට නිශ්චිත හේතුවක් නැති දෙයක් වගේ වෙන්න ඇති. (උපුටා ගැනීම පියැසි කවුළුව - ජොසේ සරමාගෝ, පරිවර්තනය සුභාෂිණී චතුරිකා)”

සැබැවින්ම බොහෝ වේලාවට කවි අන්තර්ගත බොහොමයක් පාඨකයින් අතරට නොයෑම සිදු වන්නේ ද මෙකී අබෙලියානු කියමන තුළින් සෞන්දර්ය අත්විඳිය හැකි මාර්ග කවි අන්තර්ගත හරහා සොයා ගැනීමට ඇති නොහැකියාව හෝ නොපෙලඹීම තුළිනි. සැබැවින් ම කවිය මළ භාවිතාවක් බවට අද වන විට ලඝු වනුයේ ද එම නිසා ම ය. ඇත්ත වශයෙන් ම බොහෝ වේලාවට බොහෝ කවීන් අතින් ලියවෙන කවි අතිශය පෞද්ගලික අත්දැකීම් මත පදනම් වන ප්‍රස්තූත විෂය වපසරියට ඇතුළු වන ඒවා වේ. ඒ සම්බන්ධයෙන් නොමනාපය පළ කිරීමට අපි නම් අකමැත්තෙමු. මන්ද එම පුද්ගලික භාවිතාවේ පුද්ගලත්වය ඇතුළට රිංගා ගැනීමට සමත් වන පාඨකයකුට ඒ තුළින් ද නව ලොවකට දොරටු විවර වන බැවිනි. ඉතිං, සැබැවින් ම සංජීවගේ මෙම කවි එකතුව තුළ ද එවැනි කවි හමු නොවනවා නොවේ. නමුත් එම කවි රස විදීමට එය බාධාවක් නොවේ.

 සංතෘප්ත නොවූ ස්ත්‍රියක ගේ සුසුම්

දැන්, අපි මෙම කවි එකතුවේ තේමා නාමයට දමා ඇති කවිය දෙසට මඳකට ඇවිද යමු. මේ වචන ඓක්‍යයයෙහි ස්කන්ධයට යොදා ඇති ගාමක බලයේ ත්වරණයෙහි නිසිම අගය ගැබ් වී තිබෙන එක් කවියක් වශයෙන් එම කවිය හැදීන්වීමට කැමැත්තෙමු.

කිමද හිස්කම ගැනම එළඹුම

ඉහුණු හසරැල් වස්ත්‍ර ද දරාගෙන

මේ අසුන් බොකුට්ටට පෙනෙනවා

ඇද ඉහත්තාවක නැගුණු සුසුමක අරුමය

එලෙසින් ආරම්භ වන කවියේ ප්‍රවේශය අනුව අපගේ මනස තුළ ජනිත වනුයේ සංතෘප්ත නොවූ ස්ත්‍රියක ගේ සුසුම් දෙස බලා සිටින පිරිමි රුවක්ය. සැබැවින්ම මෙම පිරිමියා සහ ස්ත්‍රිය විවාහක යුවළක් ද එසේත් නොමැති නම් ප්‍රේමවන්තයින් ද එසේත් නොමැති නම් අනියම් ප්‍රේම ඇසුරක් පවත්වන යුවළක් ද යන කාරණාවේ දී අපගේ කියවීමට අනුව අප එම හැඳින්වූ යුගලවලින් එක යුගලයක් අසලවත් නොරැඳී නව මානයකට මෙය රැගෙන යෑමට කැමැත්තෙමු.

cpl

මන්ද 10 x 12 නමැති වර්ගඵලයෙන් යුතු ඉඩ වපසරියක් සිතින් මවාගෙන බලන්න. එවිට ඔබට පෙනේවි සැබැවින්ම ඔවුන් රැදී සිටින එම කුටිය නම් කොට තිබෙන 10 x 12 නමැති නාමය අනුව යන විට එය සැබැවින්ම ලාභයට කාමර ලබා දෙනු ලබන ලොජ් එකක කාමර වර්ගඵලය බව.

එමෙන්ම,

ගෙවුණු කාලයට පිරියම් සොයන

තිර මෑත් වී එන එළිය තීරු

යන මෙම පද යුගලයේ උත්ප්‍රාසය මේ ආකාරයට අපට ගම්‍යය කර ගත හැකි නම්, එනම් තම විවාහක ලිංගික ජීවිතය තුළ අත්විදින රේඛීය බවත් නොවෙනසක් නැතිකමටත් පිළියමක් සොයන පුරුෂයකු පිටස්තර ලිංගික ඇසුරක් සොයා ගිය අවස්ථාවක උත්ප්‍රාසාත්මක පද රූපිකයක් වශයෙන් එය අපට කියවා ගත හැකි වීම ය.

 රැය පුරා නොනවත්වා සිදු වන රමණය

මේ අයුරින් අප ගොඩන ප්‍රස්තූතය මෙම කවියේ නිවරදිම ප්‍රස්තූත විෂය යැයි කිසිවිටෙකත් නොකියන්නෙමු. මන්ද මෙය විචාරයක් නොව කියවීමක් වන බැවිනි. අනිත් අතට රචකයා පවා නොදන්නා කරුණු රචකයාගේ පෑනින් ලියවෙන යුග මොහොතක කවියක නිවරැදි ම ප්‍රස්තූත විෂය සෙවීම සැබැවින් ම අතිශයින් ම ගෝත්‍රිකවාදී භාවිතාවක් වනු ඇත.

ඉඳින්, අප ගෙන ආ ප්‍රස්තූතයේ සාධාරණත්වය උදෙසා මෙම පැදි පෙළට එකතු කර තිබෙන සංයුක්ත පැදිවල අර්ථය, එනම් පැදි ඉහළ පහළ ගෙන යෑමෙන් එම වචනවල රේඛීය ගමන් මාර්ගය හරහාත් රූපක නිපදවිය හැකි නිර්මාණාත්මක භාවිතාවක් වන සංයුක්ත පද භාවිතයෙන් මෙකී කවියේ අන්තර්ගතය මේ අයුරින් වැඩිදුර කියවීමට පාත්‍ර කළ හැකි ය. එනම් වහිනවා යනුවෙන් මේ අයුරින් ලියා තිබීමෙන් දෘශ්‍යමාන කරනු ලබන්නේ රැය පුරා නොනවත්වා සිදු වන රමණය යි.

වහිනවා

හි

වා

ඉතිං, සිය වෙනසක් නොමැති ඇල්මැරුණු ජීවිතය තුළ සතුටේ සහ ප්‍රහර්ශයේ නාමයෙන් ඔහු සොයා යන ලිංගික ඇසුර තුළත් ඔහු අත්විදින්නේ සාංකාවයි. මන්ද සෑම රමණයක් අවසානයේ ම ඔහු අතෘප්තිමත්ව හදවතට ඉඩ ලබා දුන් විට ඔහුගේ හදවත ඔහුව රැගෙන යනුයේ සිය ආදරවන්තියන් හෝ ආදරවන්තිය පිළිබඳව වූ සාංකාව කරා ය. බොහෝ විට ඔවුන්ට හෝ ඇයට ද්‍රෝහි වුණා යැයි කියන සිතුවිල්ල ඔහු ගේ සිතට වද දෙනවා වන්නට පුළුවන. එමෙන්ම නිරන්තරයෙන් රමණය ගුණනය වන කාලාවකාශයක නිරන්තර සතුටේ ප්‍රහර්ෂය ගැබ් විය හැකැයි කියන උත්ප්‍රාසය ද සංදිග්ධතාවයකින් යුතුව මෙහි අන්තර්ගතය තුළින් හොල්මන් කරයි.

 වෙරළෙහි දී හමුවුණ විජේවීර

කෙසේ වුවද මෙය සැබැවින්ම බහුෂාබ්දික කවියකි. එය බොහෝ අරුත් නිෂ්පාදනය කරලීමට හැකි නිර්මාණයකි. එබැවින් ඒ පිළිබදව පමණක් කතා කිරීමට යෑමෙන් මෙම කවි එකතුවේ තවත් අවධානය යොමු කළ යුතු යැයි හැගෙන කවි අප හට මග හැරී යා හැකි බැවින් තවත් කවියකට යොමු වීමට කැමැත්තෙමු.

මෙම ලිපියේ මැද භාගයේ දී සදහන් කළ අයුරින්ම මෙහි කවි අන්තර්ගතයෙහි එක් ප්‍රතිපක්ෂයක් වන ආදරය සහ ආත්මීයත්වයට උක්ත උපුටා ගත් කවිය ඇතුළත් කළ හැකි අතර හැදින්වූ අනෙක් ප්‍රතිපක්ෂය වන දේශපාලනික උතෝපියානු භාවය සහ දේශපාලනික නොස්ටැල්ජියාව යන කාරණාවලින් සමන්විත අනෙක් ප්‍රතිපක්ෂයට ඇතුළත් කළ හැකි කවියක් ඊළගට විවරණය කරගැනීමට උත්සාහ කර බලමු.

‘විජේවීර සහෝදරයාට’ නම් වූ එම කවිය සැබැවින් ම දේශපාලනික නොස්ටැල්ජියාව යන කාරණාවට පර්යායව වර්තමාන කවියකු අතින් බිහි වූ පද ඓක්‍යයකි. විජේවීර විසින් සමාජගත කරන ලද වාමාංශික දේශපාලන සිහිනය මෙම භූමිය තුළ දී උත්කර්ෂයට නැංවීම සිදු නොවුණ ද ඔහුගේ ගමන් මග යන පිරිසක් අද වන විටද ලේශ මාත්‍ර වශයෙන් හෝ ශේෂ වී තිබේ. ජාත්‍යයන්තර සමාජවාදී කඳවුර බිද වැටීමත් සමග දේශපාලනික උතෝපියානු සිහිනයකට සම වූ කොමියුනිස්ට් ලෝකය, සැබැවින්ම මෙම වාමාංශිකයින් අද ජීවතුන් අතර සිටියා නම් කොයි ආකාරයකට භාර ගනීවිද? ඔවුන් එය කොයි ආකාරයකට කියවා ගනීද? යන කාරණා ඔස්සේ පාඨකයාව සිතීමට පොළඹවන මෙම කවිය සැබැවින්ම සරල වචන කීපයක උත්ප්‍රාසයෙන් යුක්තව අවසන් කර ඇත.

ඔබ උතුම් මිනිස් බව ඇතුළතෙහි

පැසවනා හුදකලා හැඟීමක්

මට මෙන්ම තිබිණිදැයි

දැනගන්න තිබුණා

ජාත්‍යයන්තර සමාජවාදී කඳවුර බිද වැටීමත් සමග ඇන සිටි ගෝලීය විප්ලවාදී ව්‍යාපාරවල නෂ්ටාවශේෂ බඳු ඒ පැරණි සටන්කාමී බව පිළිබඳ මානසික විජිගීෂාව ඉහත පැදිවලින් නිරූපණය වේ. බිඳ වැටුණු දේශපාලන ව්‍යාපාරයක් පිළිබදව සාංකාව ජනිත වීම සහ ඒ තුළින් අත්කර ගැනීමට තැනූ සමාජ යථාර්ථ බිඳවැටීම උක්ත පැදි පෙළේ එන කවියාගේ හුදකලා හැගීමේ මූල බීජය යි. එමෙන්ම වෙනත් තැනකදී නොමැතිව විජේවීර වෙරළක දී හමුවීම සැබැවින්ම සමාජවාදී කඳවුර බිඳ වැටීමේ සාංකාව උත්ප්‍රාසාත්මකව පෙන්වීමට නිර්මාණය කළ පරිසර පසුබිමකි.

rohana

එමෙන්ම තවත් එක්තරා අපූරු කවි වියමනක් ලෙස මෙම කවි අන්තර්ගතයේ එන පාරාදීසයක හිඟන්නෙක් නමැති පැදි පෙළ ද හැඳින්විය හැකි ය. සරසවි සමයේ නවක සිසුවියන් සමග පෙමින් බැදෙන ජ්‍යෙෂ්ඨ සිසුවන්, සැබැවින්ම එකී සම්බන්ධතා බොහොමයක් කෙළවර කරනුයේ වෙන්වීම් තුළිනි. ප්‍රායෝගිකව අප අත් දකිනු ලබන විශ්වවිද්‍යාලයීය ප්‍රේම යථාර්ථය එයයි. එදා ප්‍රේමකීර්ති ද අල්විස් ‘මේ නගරය’ නමැති ගීතය ලිවීමෙන් පැවසූ විශ්වවිද්‍යාලයීය ප්‍රේම යථාර්ථය ම අද සංජීව විසින් පාරාදීසයක හිඟන්නෙක් යන කවියෙන් අප හට පෙන්වා ඇත.

සැබැවින්ම අහිමි වීම කේන්ද්‍ර කරගත් ප්‍රේමයේ සපත්තුවක් ශේෂ කරනුයේ සිගාකනසුලු මට්ටමට ම ප්‍රේමයේ අවැසිතාවය නිර්මාණය කිරීම නොවන්නේ ද? තරමක් දිගු මේ කවිය සැබැවින්ම පාඨක මනස තුළ ඇති කරනුයේ අපූරු චිත්ත නිර්මාණ ය. මෙම කවි අන්තර්ගතයේ එන සාර්ථකම කවියක් ලෙස මෙකව භාර ගැනීමට බොහොමයක් පාඨකයන් මැළි නොවනු ඇත.

අවසාන වශයෙන්

ඉතිං, මෙම සටහන ආරම්භයේ දී ම කවිය යනු මළ භාවිතාවක් වශයෙන් විශ්වීය නිර්මාණාවකාශය තුළ හඳුන්වනු ලබන බවට සදහන් කළෙමු. නමුත් එසේ වූ පමණින්ම කවියන් කවි ලිවීම නැවැත්විය යුතු යැයි කියා නොසිතන්නෙමු. මන්ද පවතින සමාජ ක්‍රමය තුළ සැබැවින්ම කවිය අතිශය සෞන්දර්යවාදී භාවිතාවක් කියවීමට සහ රසවිඳීමට වැඩි අවකාශයක් වෙන් කිරීමට මිනිසුන් නොපෙළඹෙනුයේ අද වන විට පිංතූරය පවා යටපත් කරමින් වීඩියෝ නමැති මාධ්‍යය භාවිතාව සමාජගත වී ඇති බැවිනි.

සියලු දෙනාට ම අවැසි වනුයේ ක්ෂණිකව කියවා ගත හැකි ක්ෂණිකව රස විඳිය හැකි යමක් පරිශීලනය කිරීමට ය. නමුත් අද වන තුරු ම රූපවාහිනිය සේම ගුවන් විදුලියට ද එකසේ රසික හදවත් විවර වන පසුබිමක කවිය නමැති මාධ්‍යය හරහා සමාජය ආමන්ත්‍රණය කිරීම පාහේ සහමුලින් ම වැඩකට නැති භාවිතාවක් නොවේ. මන්ද කවිය වෙනුවෙන් විවර වූ සහෘද හදවත් තවමත් ශේෂ වී ඇති බැවිනි. අනෙක් අතට වර්තමාන නිර්මාණකරුවන් අතින් කවි බිහි වීම යනුම ඔවුන් මේ වත්මන් සමාජ භාවිතාව කෙරෙහි දක්වන ක්‍රම විරෝධී ආකල්ප මුදුන් පමුණුවා ගැනීමකි. මන්ද අද වන විට යාවත්කාලීන නොවන භාවිතාවක් හරහා අදහස් සම්ප්‍රේෂණය යනුම ක්‍රමවිරෝධී භාවිතාවක් වන බැවිනි.

ඉතිං, සංජීව බඳු කවියන් විසින් හෙලන ලද මේ ආකාරයේ දෘශ්‍යාවලෝකන පද්‍ය හරහා සමාජගත වීම භාර ගැනීමට සහෘද හදවත් තව තවත් විවර වේවා යැයි පතන්නෙමු...! එමෙන්ම ක්‍රමයෙන් මරණයට පත් වෙමින් පවතින ලෝකයක මළ භාවිතාවක් හරහා භාවිතා සමාජගත කිරීම ම පැසසිය යුතු කරුණක් යැයි හඟින්නෙමු.

 

basuru

 

සටහන - බාසුරු ජයවර්ධන

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න