කියවලා තියෙනව ද "සෝර්බා නම් ග්‍රීකයා" නවකතාව...? ඒක හරිම ලස්සන කතාවක්. එහි ආරම්භය ඉතාමත් සිනමාත්මකයි.
කතාව ආරම්භ වන්නේ ග්‍රීසියේ පිරේයස් වරායේ පිහිටි එක්තරා සීතල, වැසි සහිත අලුයමක යි.
මට ඕනෑම කෑමක් හදන්න පුළුවන්
තරුණ ලේඛකයා (බොස්) වරායේ ආපනශාලාවක වාඩි වී සිටිනවා. ඔහු සූදානම් වන්නේ ක්‍රීට් (Crete) දූපත බලා යාමටයි. එහි තිබෙන ඔහුගේ පාරම්පරික ලග්නයිට් (Lignite) පතලක් නැවත ආරම්භ කිරීම ඔහුගේ අරමුණයි. ඔහු ඒ වෙලාවේ හිටියේ දැඩි කලකිරීමකින්. ඔහුගේ සමීපතම මිතුරකු යුද්ධයට ගොස් සිටි අතර, මිතුරා ඔහුට "පොත් ගුල්ලෙක්" (Bookworm) යැයි පවසමින් සමච්චල් කර තිබුණා. මේ නිසා ලේඛකයා තීරණය කරනවා පොත්පත්වලින් මිදී, පොළොවත් එක්ක වැඩ කරන සැබෑ ජීවිතයකට යන්න.
Nikos Kazantzakis
ඔහු ආපනශාලාවේ වාඩි වී සිටින විට, වීදුරු දොරෙන් එපිට සිටින එක්තරා අමුතු මිනිසකු ඔහුගේ අවධානය දිනා ගන්නවා. ඒ තමයි ඇලෙක්සිස් සෝර්බා. ඔහු අවුරුදු හැටකට වඩා වයසැති, කෙට්ටු, උස, අවුල් වූ පෙනුමක් ඇති මිනිසෙක්. සෝර්බා කෙළින්ම ලේඛකයා ළඟට ඇවිත්, කිසිම පැකිලීමක් නැතිව මෙහෙම අහනවා:
"ඔයා යන තැනකට මාවත් එක්කන් යනවාද?"
ලේඛකයා පුදුම වී ඔහුගෙන් අහනවා "ඇයි මම ඔයාව එක්කන් යන්න ඕනේ... ඔයාට මොනවද කරන්න පුළුවන්?" කියලා.
සෝර්බා දෙන උත්තරය හරිම අපූරුයි:
"මට ඕනෑම කෑමක් හදන්න පුළුවන්; මට පතල්වල වැඩ කරන්න පුළුවන්; හැබැයි මට සැන්ටූරි වාදනය කරන්නත් පුළුවන්."
ලේඛකයා මේ අමුතු මිනිසාගේ නිදහස් කතාවට සහ පෙනුමට වහාම ආකර්ෂණය වෙනවා. ඔහු තේරුම් ගන්නවා තමන් සොයන "සැබෑ ජීවිතය" තියෙන්නේ මේ මිනිසා ළඟ කියලා. ඒ මොහොතේම ඔහු සෝර්බාව තමන්ගේ පතලේ පාලකයා (Foreman) ලෙස බඳවාගෙන ක්‍රීට් දූපතට රැගෙන යනවා.
මම ඉපදුණේ අද
මේ ආරම්භය වැදගත් වෙන්නේ ලේඛකයා සෝර්බාව තෝරාගන්නේ ඔහුගේ සුදුසුකම් බලලා නෙවෙයි, ඔහුගේ "ආත්මයේ ශක්තිය" දැකලයි. සෝර්බාගේ ඒ හදිසි පැමිණීම තමයි ලේඛකයා ගේ මුළු ජීවිතය ම වෙනස් කරන ගමනේ ආරම්භය වෙන්නේ.
ක්‍රීට් (Crete) දූපතට ගොඩබැසීමෙන් පසුව තමයි සෝර්බා සහ ලේඛකයා (බොස්) අතර තියෙන අමුතුම සහ ලස්සනම ගනුදෙනුව ආරම්භ වෙන්නේ.
ඔවුන් එහි පදිංචි වෙන්නේ මුහුදු වෙරළේ තිබෙන කුඩා හෝටලයක. ඒක පාලනය කළේ මැඩම් හෝර්ටෙන්ස් (Madame Hortense) කියන වයසක ප්‍රංශ කාන්තාව.
එදා රෑ ඔවුන් දෙදෙනා වෙරළේ ගිනි මැලයක් ගසාගෙන කතා කරමින් ඉන්නවා. සෝර්බා තමන් ගේ අතීතය ගැන එකින් එක කියන්න ගන්නවා. ඔහු යුද්ධවලට ගිය හැටි, මිනිසුන් මැරූ හැටි සහ අවසානයේ ඒ හැම දෙයක්ම "හිස්" බව තේරුම් ගත් හැටි ඔහු විස්තර කරනවා. ඔහු ලේඛකයාට කියනවා: "බොස්, ඔයා බලනවා ඇති මම මේ හැමදේම කරලත් කොහොමද මෙහෙම සතුටින් ඉන්නේ කියලා. ඒකට හේතුව මම හැමදාම උදේට ඇහැරෙන්නේ මම අද තමයි ඉපදුණේ කියලා හිතාගෙන."

ඇයි මිනිස්සු මැරෙන්නේ?
පසුදා සිට ඔවුන් පතලේ වැඩ පටන් ගන්නවා. සෝර්බා පතල් කම්කරුවෙක් වුණත්, ඔහු වැඩ කරන්නේ හරියට ඒක ඔහුගේ ම ව්‍යාපාරයක් වගේ. ඔහු පතලේ ලී කණු හිටවන විට, පස හාරන විට ඒවා දෙස බලන්නේ දැඩි ආදරයකින්. ඔහු කියන්නේ, "වැඩ කරන කොට අපි ඒ වැඩේට ආදරය කළ යුතුයි, නැත්නම් ඒක වහල්කමක්," කියලයි.
සෝර්බා ඒ හෝටලයේ අයිතිකාරිය වන මැඩම් හෝර්ටෙන්ස්ව තනිකමෙන් මුදවා ගන්නවා. ඇය තරුණ කාලයේ රූ රැජිනක වගේ හිටපු, දැන් වයසට ගියත් තවමත් තරුණ කාලයේ ආදර කතා මතක් කරමින් ජීවත් වන කෙනෙක්. සෝර්බා ඇයට බොරු ප්‍රශංසා කරමින්, ඇයව සතුටු කරමින් ඇයට නැවතත් "ජීවත්වන" බවක් දැනෙන්න සලස්වනවා. මෙතැනදී පෙනෙන්නේ සෝර්බා තුළ ඇති මනුෂ්‍යත්වය සහ ඕනෑම කෙනෙකුව සතුටු කිරීමට ඇති හැකියාවයි.
දිනක් රාත්‍රියක ලේඛකයා තරු දෙස බලාගෙන දර්ශනය ගැන කතා කරන්න හදනවා. සෝර්බා ලේඛකයාගෙන් අහනවා:
"ඇයි මිනිස්සු මැරෙන්නේ? දෙවියන් ඇයි මේවා මැව්වේ?" කියලා.
ලේඛකයා කියනවා "මම දන්නේ නැහැ," කියලා.
එතකොට සෝර්බා කියනවා: "එහෙනම් ඔය ඔයා කියවපු පොත්වලින් ඇති වැඩේ මොකක්ද? ඕවායේ ඒවට උත්තර නැත්නම් ඒ පොත් ගිනිබත් කරන්න!" කියලා.
ද්‍රව්‍යමය දෑ අහිමි වුව ද ආත්මය තවම ශක්තිමත්
පතලේ ලී ප්‍රවාහනය කිරීමට සෝර්බා ලොකු "කේබල් ලයින්" (Cable line) එකක් හදනවා. ඒක විවෘත කරන දවසේ මුළු ගම ම බලන් ඉන්නවා. නමුත් පළමු ලී කොටය එවූ සැණින් මුළු පද්දතියම කඩාවැටී විනාශ වෙනවා. ලේඛකයාගේ මුදල් සියල්ලම විනාස වෙනවා. නමුත් ඒ මොහොතේ ලේඛකයා දුක් වෙනවා වෙනුවට කරන්නේ සෝර්බා ළඟට ගිහින් "මට නටන්න උගන්වන්න" කියලා ඉල්ලන එකයි. ඔවුන් දෙන්නා වෙරළේ වැලි මත පිස්සුවෙන් වගේ නටනවා. ඒකෙන් අදහස් කළේ "ද්‍රව්‍යමය දේවල් නැති වුණත් අපේ ආත්මය තවම ශක්තිමත්" කියන එකයි.
සෝර්බා එක් තැනක පවසනවා, මිනිසෙකු තමන්ගේ ඇතුළාන්තයේ සිටින "සර්පයාව" (එනම් තමන්ගේ ආශාවන් සහ සැබෑ ස්වභාවය) හඳුනාගත යුතු බව. අප බොහෝ දෙනෙක් කරන්නේ ඒ සර්පයාව මරා දැමීම හෝ සිර කර තැබීමයි. නමුත් සෝර්බා පවසන්නේ එම ශක්තිය පාලනය කරගනිමින් ජීවිතය ඉදිරියට ගෙන යා යුතු බවයි.

ගැහැනියක් තනිවම නිදියනවා නම්...?
සෝර්බා මැඩම් හෝර්ටෙන්ස් සමඟ පවත්වන සම්බන්ධය දෙස බලන්න. ඔහු ඇයට ආදරය කරන්නේ ඇය රූමත් නිසා නොව, ඇය පරාජිත, තනිවුණු මනුෂ්‍යයෙක් නිසාය. "ඕනෑම ගැහැනියක් තනිවම නිදියනවා නම්, ඒක මුළු මනුෂ්‍ය වර්ගයාටම ලැජ්ජාවක්" යන්න සෝර්බාගේ මතය යි. මෙයින් පෙනෙන්නේ ලෝකය දෙස ඔහු බලන අනුකම්පාව සහ මානුෂීය බැඳීමයි.
පොතේ ලේඛකයා (බොස්) මුලදී පොතක් ලියමින්, ලෝකය "හිස්" දෙයක් ලෙස දැකීමට උත්සාහ කරයි. නමුත් සෝර්බා ඔහුට පෙන්වා දෙන්නේ ලෝකය හිස් නැති බවත්, එහි ඇති "මස් සහ ලේ" (රසය සහ වේදනාව) අත්විඳිය යුතු බවත් ය. අවසානයේ ලේඛකයා තම අත්පිටපත පසෙකලා සැබෑ ජීවිතයට එබී බලන්නේ සෝර්බා නිසා ය.
"සෝර්බා යනු අප සැමගේ ඇතුළාන්තයේ වෙසෙන, එළියට ඒමට බියෙන් පසුවන ඒ නිදහස් මිනිසාගේ හඬයි."
''අවසාන වශයෙන්, සෝර්බා යනු හුදෙක් චරිතයක් නොව දර්ශනයකි. අපේ ජීවිතවල ඇති 'ලණුව' කපා දමා, වැටීම් හමුවේ පවා නැටීමට හැකි ශක්තියක් අප තුළ ගොඩනගා ගැනීමට සෝර්බා අපට ආරාධනා කරයි. සැබෑ විමුක්තිය ඇත්තේ සියල්ල අත්හැර පලා යාම තුළ නොව, සියල්ල විඳිමින් ඒ මැද නිදහස්ව සිටීම තුළ ය.''

ජීවිතය යනු රඟපැමක් ද...?
අවසානයේ ලේඛකයාට ක්‍රීට් දූපතෙන් යන්න සිද්ධ වෙනවා. සෝර්බා වෙනත් රටකට යනවා. වසර කිහිපයකට පසු ලේඛකයාට ආරංචි වෙනවා සෝර්බා මියගිය බව. ඔහු මියයන මොහොතේ පවා පවසා ඇත්තේ:
"මම ජීවිතේ කරන්න පුළුවන් හැමදේම කළා. මම මැරෙන්න බය නැහැ" කියලා.
සෝර්බාගේ මේ කතාවෙන් අපිට ලැබෙන ලොකුම පණිවිඩය තමයි: "ජීවිතය කියන්නේ රඟපෑමක් නෙවෙයි, ඒක අත්දැකීමක්."
ඇඟිල්ලට මොකද වුණේ...?
සෝර්බාගේ එක් අතක ඇඟිල්ලක් අඩුවෙන් පවතී. ලේඛකයා (බොස්) ඒ ගැන විමසූ විට සෝර්බා දෙන පිළිතුර ඔහුගේ මුළු දර්ශනය ම තවදුරටත් තහවුරු කරයි:
"මම ඉස්සර මැටි භාණ්ඩ හදන්න හරිම ආස කළා. මම මැටි රෝදය කැරකෙන කොට ඒකෙන් හරි අපූරු දේවල් හැදුවා. හැබැයි මම වැඩ කරන කොට මේ ඇඟිල්ල මට බාධාවක් වුණා. ඒක මැටි රෝදයේ හැමවෙලේම පටලැවුණා. ඉතින් මම මොකද කළේ? පොරවක් අරන් ඒ ඇඟිල්ල කපලා විසි කළා!"
සෝර්බා පවසන්නේ තමන් කරන කාර්යයට හෝ තමන්ගේ නිදහසට යම් දෙයක් බාධාවක් වේ නම්, එය තමන්ගේම සිරුරේ කොටසක් වුවද ඉවත් කිරීමට තරම් එඩිතරකමක් මිනිසෙකුට තිබිය යුතු බවයි.
ළමා ඇසකින් ලෝකය දැකීම
සෝර්බා ඔහුගේ සැන්ටූරිය (සංගීත භාණ්ඩය) ගැන පවසන දෙයක් තිබෙනවා. ඔහු එය වාදනය කරන්නේ ඔහුට වචනවලින් කිව නොහැකි තරම් මහා සතුටක් හෝ මහා දුකක් දැනුණු විට පමණයි. ඔහු පවසන්නේ:
"සැන්ටූරිය කියන්නේ මනුස්සයෙක් වගේ දෙයක්. ඒකටත් ආත්මයක් තියෙනවා. මම සතුටින් නැත්නම් ඒක සින්දු කියන්නේ නැහැ."
මෙයින් පෙනෙන්නේ සෝර්බා කලාව දකින්නේ හුදෙක් විනෝදයක් ලෙස නොව, තම ආත්මය ප්‍රකාශ කරන මාධ්‍යයක් ලෙස බවයි.
සෝර්බාට අතීතයක් හෝ අනාගතයක් නැත. ඔහු සෑම දෙයක්ම දකින්නේ පළමු වතාවට දකින දෙයක් ලෙසයි. ඔහු මහලු වුවත්, ගැහැනියක්, දොඩම් ගෙඩියක් හෝ මුහුද දෙස බලන්නේ පුදුමයෙන් පිරුණු ළමා ඇසකින්. ඔහු පවසන්නේ:
"මම හැමදාම උදේට ඇහැරෙන්නේ අද තමයි මම මුලින්ම ලෝකය දකින්නේ කියලා හිතාගෙන" කියායි.
නිකෝස් කසන්සාකිස්ගේ මෙම අසිරිමත් නිර්මාණය අපට පසක් කරන්නේ, ලෝකය වෙනස් කිරීමට පෙර අප අපවම විඳිය යුතු බවයි. සෝර්බා යනු අප සැමගේ හදවතේ ගැඹුරක සැඟවී සිටින, නිදහස සොයන ඒ නොහික්මුණු මිනිසාගේ ප්‍රතිමූර්තියයි.

අසාර්ථකත්වය පවා කලාත්මකව විඳින්න
අපට සෝර්බා කෙනෙකු විය නොහැකි වුවත්, අපේ ජීවිතවල එන 'ලග්නයිට් පතල්' (අපේ ව්‍යාපාර හෝ බලාපොරොත්තු) විනාශ වී යන මොහොතක, ඒ දෙස බලා සිනාසෙන්නටත්, වෙරළේ වැලි මත නර්තනයක යෙදෙන්නටත් අවශ්‍ය කරන ඒ 'කුඩා පිස්සුව' සෝර්බාගෙන් උකහා ගත හැකිය.
''සැබෑ විමුක්තිය ඇත්තේ සියල්ල අත්හැර පලා යාම තුළ නොව, සියල්ල විඳිමින් ඒ මැද නිදහස්ව සිටීම තුළය."
කේබල් ලයින් එක කඩා වැටී, සියල්ල විනාශ වූ සැණින් ගම්මුන් බිය වී පලා යනවා. නමුත් සෝර්බා සහ ලේඛකයා තනි වූ මොහොතේ සෝර්බා මෙහෙම කියනවා:
"බොස්, ඔයා දැක්කද ඒක වැටුණු ලස්සන? ඒකෙන් ආපු සද්දේ ඇහුණද? ඒක හරියට මහා වාද්‍ය වෘන්දයක් වගේ!"
මෙතැනදී සෝර්බා උගන්වන්නේ "අසාර්ථකත්වය පවා කලාත්මකව විඳින" ආකාරය යි. ඔහු පවසන්නේ අප දැඩි ලෙස මහන්සි වී ගොඩනැගූ දෙයක් ඇස් පනාපිටම විනාශ වී යන විට, ඒ ගැන වැලපෙනවා වෙනුවට, ඒ අත්දැකීම දෙස නිරීක්ෂකයෙකු ලෙස බලා සිනාසිය හැකි නම් මිනිසා සැබෑ ලෙසම නිදහස් වන බවයි.
ලැබෙන අවස්ථා මග නොහරින්න
"ජීවිතය කියන්නේ මහා ගින්නක්. ඒ ගින්නට අපි හැමෝම වැටෙනවා. සමහරු ඒ ගින්නේ පිළිස්සිලා අළු වෙලා යනවා. හැබැයි තවත් සමහරු ඒ ගින්නෙන් තවත් පන්නරය ලැබිලා රත්තරන් වගේ එළියට එනවා." ඔවුන්ගේ ව්‍යාපාරය බිඳ වැටීම සෝර්බා දකින්නේ ලේඛකයාගේ ඇතුළාන්තයේ ඇති බිය පිළිස්සී ගොස් ඔහු "රත්තරන්" මිනිසෙකු වීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි.
සෝර්බාට අනුව ලොකුම පව වන්නේ "ලැබෙන අවස්ථා මඟ හැරීමයි."
"කවුරුහරි ඔයාට ආදරය කරනවා නම්, ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක පවක්. මොකද ආදරය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන පණිවිඩයක්."
මෙහිදී සෝර්බා අවධාරණය කරන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව, අවංකව ජීවත් වීම මිස ආගමික නීති රීතිවලට බයේ ජීවත් වීම නොවන බවයි.

තර්කය පසෙකලා ජීවිතයේ රිද්මය වැලඳ ගැනීම
"කතාව පුරාම සෝර්බා නටන නර්තනය හුදෙක් විනෝදයක් නොවේ. එය තම ආත්මයේ ඇති වේදනාව, සතුට සහ බලාපොරොත්තු කියාපාන භාෂාවයි. වචනවලට විස්තර කළ නොහැකි දේ ඔහු නර්තනයෙන් පෙන්වයි. ලේඛකයා අවසානයේ 'මට නටන්න උගන්වන්න' යැයි ඉල්ලා සිටීමෙන් අදහස් වන්නේ ඔහු තර්කය පසෙකලා ජීවිතයේ රිද්මය වැලඳ ගත් බවයි."
"සෝර්බා අපට උගන්වන්නේ ලෝකය දෙස ළමා ඇසකින් (Child-like wonder) බැලීමටයි. ඔහුට සෑම දෙයක්ම අලුත්ය. සෑම උදෑසනක්ම පුදුමයකි. සෝර්බා මිය ගියද, ඔහු ලේඛකයාගේ (සහ අපේ) මනස තුළ සදාකාලිකව ජීවත් වන්නේ, අපට සැබෑ ලෙස ජීවත් වීමට අවශ්‍ය කරන ඒ 'කුඩා පිස්සුව' උරුම කර දෙමිනි."
මියයන ආත්මයකට සහනයක් ලබා දීම
මැඩම් හෝර්ටෙන්ස් ගේ මරණය සහ සෝර්බා ගේ හැසිරීම මෙම නවකතාවේ එන වඩාත්ම සංවේදී සහ මිනිස් සන්තානයේ ඇති ගැඹුරු දයාව පසක් කරන අවස්ථාවක්. මැඩම් හෝර්ටෙන්ස් මරණාසන්නව ඇඳ මත වැතිර සිටින විට, සෝර්බා ඇය අසලින්ම රැඳී සිටිනවා. ගමේ අනෙක් මිනිසුන් ඇය මිය යන තෙක් බලා සිටින්නේ ඇය සතු දේපළ කොල්ලකෑමට වුවත්, සෝර්බා ඇය වෙනුවෙන් අවංකවම කම්පා වෙනවා. ඇය තමන් වයසට ගිය, අවලස්සන ගැහැනියකැයි සිතා මරණ බියෙන් පසුවන විට, සෝර්බා ඇයට බොරු පවසනවා. ඇය තවමත් රූමත් බවත්, ඇය සුව වූ පසු තමන් ඇයව විවාහ කරගන්නා බවත් පවසමින් ඇයව සනසනවා. මෙහිදී සෝර්බා කරන්නේ "ලස්සන බොරුවකින්" මියයන ආත්මයකට සහනයක් ලබා දීමයි.
සෝර්බා පවසනවා, "මිනිසෙකුට කළ හැකි ලොකුම අපරාධය නම් තවත් මිනිසෙකු හුදකලාවේ මියයන්නට ඉඩ හැරීමයි" කියා. ඇය අවසන් හුස්ම හෙළන විට ඇයගේ දෑත අල්ලාගෙන සිටින්නේ සෝර්බා පමණයි.
සැබෑ නිදහස යනු කුමක් ද...?
ලේඛකයා (බොස්) මුළු ජීවිත කාලයම වැය කළේ අන් අයගේ ජීවිත ගැන ලිවීමටයි. නමුත් සෝර්බා ඔහුව පොළඹවනවා තමන්ගේම ජීවිතය ලියන්නට නොව, එය "ජීවත් වන්නට". අවසානයේ ලේඛකයා සෝර්බා ගැන පොතක් ලියන්නේ, සෝර්බා ඔහුට ලබා දුන් ඒ ජීවී අත්දැකීම්වලට උපහාරයක් වශයෙනුයි.
කතාවේ එක් තැනක සෝර්බා පවසනවා, "මිනිසෙකු නිදහස් වීමට නම් ඔහුට තිබෙන ලොකුම බාධාව වන්නේ ඔහුගේම බුද්ධියයි" කියා. සෝර්බාට අනුව සැබෑ නිදහස යනු කිසිවක් අහිමි වේ යැයි බියක් නොමැති (Fearless) තත්ත්වය යි .
"මැඩම් හෝර්ටෙන්ස්ගේ මරණය අසල සෝර්බා හැසිරුණු ආකාරය අපට කියා දෙන්නේ, සැබෑ පිරිමිකම හෝ මානුෂීයත්වය යනු නීති රීති රැකීම නොව, අසරණ වූ හදවතකට අවසන් මොහොතේ හෝ සිනහවක් තෑගි කිරීම බවයි. සෝර්බා යනු මස් ලේවලින් පිරුණු, වැරදි කරන, නමුත් හදවතින් ඉතාම පවිත්‍ර මිනිසෙකි."
ජීවිතය දවා හළු කරන්න
සෝර්බා යනු අහම්බෙන් බිහිවූවෙක් නොව, ජීවිතයේ කටුක අත්දැකීම් සහ පරම්පරාගත උරුමයන්ගෙන් පන්නරය ලැබූවෙක්. සෝර්බාගේ පියා ද සෝර්බා මෙන්ම ඉතා ප්‍රචණ්ඩ, එහෙත් අතිශය ජීවී ගතිගුණ ඇති මිනිසෙක්. සෝර්බා තම පියා ගැන පවසන්නේ ඔහු "මහා වෘකයෙක්" වැනි මිනිසෙකු ලෙසයි. සෝර්බාගේ පියා විශ්වාස කළේ මිනිසෙකු මියයන විට ඔහු සතු සියලු ශක්තිය සහ ආශාවන් ජීවත්ව සිටියදීම වියදම් කර අවසන් කළ යුතු බවයි. ඔහු සෝර්බාට කියා දුන්නේ ජීවිතය මසුරු ලෙස පරිහරණය නොකර, එය දවා හළු කළ යුතු බවයි.
සෝර්බා තරුණ කාලයේදී තම පියාගේ අඩිපාරේ යමින් යුද්ධයට ගිය අතර, එහිදී ඔහු බොහෝ මනුෂ්‍ය ඝාතන සිදු කළා. නමුත් සෝර්බා පසුව ඒ ගැන දැඩි ලෙස පසුතැවෙනවා. ඔහු මේ "පිස්සු" ජීවිතයට හැරෙන්නේ යුද්ධයේදී දුටු ඒ විනාශය සහ මිනිසුන්ගේ අසරණකම නිසයි. ඔහු තේරුම් ගන්නවා දේශපාලනය හෝ ජාතිවාදය වෙනුවෙන් මිනිසුන් මැරීම නිෂ්ඵල බව.
සෝර්බා තම ආශාවන් පාලනය කරගන්නා ආකාරය පිළිබඳව අපූරු අතීත සිදුවීමක් පවසනවා. ඔහු කුඩා කාලයේදී චෙරි ගෙඩි කෑමට දැඩි ලෙස ආශා කළා. නමුත් එම ආශාව තමන්ව පාලනය කරන බව ඔහුට දැනුණු විට ඔහු කළේ කුමක්ද?

තන්හාවක් ඇති වූ විට...
ඔහු විශාල චෙරි ගෙඩි ප්‍රමාණයක් මිලදී ගෙන, ඒවා එක දිගටම කමින්, වමනය යන තෙක්ම අනුභව කළා. ඔහු පවසන්නේ තමන්ට යම් දෙයක් ගැන තණ්හාවක් ඇති වූ විට, ඔහු කරන්නේ එම දෙයම ඕනෑවට වඩා (Excessively) කර එය එපා කරවා ගැනීම බවයි. "තණ්හාවෙන් මිදීමට ඇති එකම මඟ තණ්හාව තුළම ගිලී යාමයි" යන්න ඔහුගේ අමුතුම දර්ශනයයි.
සෝර්බා තම අතීතයේදී විවාහ වී දරුවන් ලැබූ, පවුල් ජීවිතයක් ගත කළ අයෙක්. නමුත් ඔහු ඒ සියල්ල අත්හැර පාරට බසින්නේ තමන් කිසිම දෙයකට "අයිති" නොවන බව තේරුම් ගත් විටයි. ඔහු ගේ පියා ගෙන් ඔහුට ලැබුණු ඒ නොහික්මුණු ගතිය (Wildness) සහ ඔහු ගේ අතීතයේ කටුක අත්දැකීම් එකතු වී ඔහුව වර්තමානය තුළ පමණක් ජීවත් වන "ඇලෙක්සිස් සෝර්බා" බවට පත් කරනවා.
"සෝර්බා යනු අහසින් වැටුණු දේවදූතයෙකු නොවේ. ඔහු තම පියාගේ රළු ගතිගුණත්, යුද්ධයේ කටුක බවත්, පෞද්ගලික ජීවිතයේ පරාජයන් සහ ජයග්‍රහණත් යන සියල්ලම එකට අඹරා නිර්මාණය වූ මිනිසෙකි. ඔහු අපට පවසන්නේ අපේ අතීතය අපව හිර කරන සිරගෙයක් කර නොගෙන, එය වර්තමානයේ නිදහස උදෙසා පන්නරයක් කරගත යුතු බවයි."

Madhu Weerasooriya

