පුවත්

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ලෝකය හමුවේ තහවුරු කළයුතුයි – ජනපති
එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින් ම තිබූ බව ත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එමගින් විදේශීය සිසුන් ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, පසුගිය 9දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමිනි.
මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුට ම නිසි වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේ ය.
වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ.
ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මෙහි පිළිගැනීමේ කතාව සිදු කළේ ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළා ය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඇගයීමට ලක් කෙරිණි.
වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත් ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.
මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සමසෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉන්ජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයන, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.
ඒ අනුව, මහාචාර්ය බී. ඒ. කේ. එස් පෙරේරා ( මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී. එම් දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්. බී. ඩී. ආර්. පී විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්. පී කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීන් වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.
ආචාර්ය ඒ. එන් මදුශංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කේ. කේ අසංක සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්. එච්. එම් සංජීව සමරතුංග (රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්. බී කාවින්ද චන්දිමාල් දයාසිරි (කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත් ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
“මම උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලය මට මෙහිදී සිහිපත් වුණා. එම කාලයේ දී මම මදුරාසියේ පැවති ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ද සමත්විය යුතු බව මාගේ පියා තරයේ කියා සිටියා. ඒ නිසා මම මදුරාසියට ගොස් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.
නමුත් ඒ වන විට මම මෙරටදී පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වී මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබුණා. ඉතින් ඒ දවස්වල මෙය සරල ක්‍රියාවලියක්. දැන් වගේ ලකුණු ක්‍රමවේද තිබුණේ නැහැ. විෂය හතරක් සමත් වූ සියලුදෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පසුව විෂයයන් තුනක් සමත් අයව ද ඇතුළත් කර ගත්තා.
මෙම කාලය තුළදීම මට ලන්ඩන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලැබි තිබුණා. ඉතින් මට තීරණය කිරීමට සිදු වුණා ලංකාවේ ඉන්නව ද, එක්සත් රාජධානයට යනවද කියලා. නමුත් මම තීරණය කළා ලංකාවේ සිටීමට. මගේ සීයගේ සමබන්ධකම් මත මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලෙස අම්මා බල කර සිටිය ත් මගේ අදහස වුණේ නීතිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.
මහාචාර්ය ලීගේ අභාවයෙන් පසු රෝමානු ලන්දේසි නීතියේ ඉහළ නිපුණතාවක් තිබුණේ එකල පීඨාධිපති මෙන් ම නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ නඩරාජා මහතාට යි. ඒ වගේ ම අපිට තවත් කථිකාචාර්යවරුන් ගණනාවක් සිටියා. ලාබාල ම තරුණ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ජී.එල්. පීරිස් මහතාත් කටයුතු කළා.
ඉතින් මම ලංකාව තුළ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කළා. මම ලංකාව තුළ මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ බෙහෙවින් සතුටු වෙනවා.
නමුත් අද තරුණ තරුණියන්ගෙන් අහන්න ඔවුන් ලංකාවේ ඉන්න කැමති ද කියලා. ඔවුන් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලැබුවත් ඔවුන් ලංකාවේ ඉන්න කැමති නැහැ.
ඒ දවස්වල අපි ලංකාවේ විශ්වවිද්‍යාලයකට තෙරුණේ නැත්නම් තමයි දෙවන විකල්පය ලෙස එක්සත් රාජධානිය තෝර ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ. අද මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඉන් රටේ අනාගතයට ද බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ අප පළමුව අවධානය යොමු කළ යුතු යි.
අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. නමුත් අපි 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000 – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු යි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මකවන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමග ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේ ම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. ඉතින් මේ ක්‍රම තුන ම ක්‍රියාත්මක කරනවා ද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගනවාද කියා අප අවධානය යොමු කළ යුතු යි.
ඒ වගේ ම, උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ වගේ ම, තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා.
සියලු දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශවීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළ යුතු යි.
විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල් ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදව් කරනවා.අපි මේ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සලකා බැලිය යුතු යි. අපට මේ ප්‍රශ්න මගහැර යා නොහැකියි. මොකද රටක් ලෙස ඉදිරියට යාමේ දී අපට ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.
ඒ වගේ ම, අපි අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින් ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා.
අපි නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කරගන්නේ කෙසේ ද කියා අවධානය යොමු කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතු යි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්විවිද්‍යාල සඳහා ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් තත්ත්වයක් බව කිව යුතුයි.
උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇතිකිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු සඳහා අපි කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.
ඒ වගේ ම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් අවුරුදු 20ක් පමණ වන තුරු උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මම උපාධිය ලබාගන්නා විට මට වයස අවුරුදු 21යි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දී. මම හිතන්නේ දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳ ම කාලය තමයි අපතේ යන්නේ. ඉන්පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙනවා. අපි ඉක්මනින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.
අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් නොවන විශ්වවිද්‍යාල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන නිසා සිසුන් විශාල පිරිසක් ඒ සඳහා යොමු වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවලට පමණක් නොව, විදේශ විශ්වවිද්‍යාලවලට ද ලොකු ගැටලුවක් වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳ අනෙක් අය විසඳුම් ලබාදෙන තුරු බලා නොසිට අපි අපේ ම විසඳුමක් සොයා ගත යුතුයි.
ඊළඟ ප්‍රශ්නය තමයි වැටුප්. එහිදී ඔබේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් බදු අය කිරීමයි. තවත් ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා ගෙවීම් කරන්නේ කෙසේ ද යන්න. බටහිර විශ්වවිද්‍යාල මෙවන් අවස්ථාවලදී වෙළෙඳපොළ වටිනාකම අනුව ගෙවීම් සිදු කරනවා. අපිත් ඒ ක්‍රමය අනුගමනය කරනවාද, එහෙමත් නැත්නම් අපි මේ තිබෙන ක්‍රමයම අනුගමනය කරනව ද යන්න සැලකිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල සැලකුවහොත් ඔවුන් පුද්ගල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන බවට සැකයක් නැහැ.
ඒ වගේ ම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවාද යන්න පිළිබඳව මම CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළා. ඒ වගේ ම අප සිදුකර ඇති පශ්චාත් උපාධි අධ්‍යයන මොනවා ද?
ලංකා විශ්වවිද්‍යාලය “මනමේ” සහ “සිංහබාහු” නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 4කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසළටවත් පැමිණ නැහැ. අපි මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලුදෙනාටම තිබෙනවා. AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය තිබෙනවා. “Chat GBT ” තිබෙනවා. මේවා විභාග සඳහා ත් භාවිත කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිත කරනවා. ඉතින් යල් පැන ගිය ක්‍රම සමඟ සිටිනවා ද, නැත්නම් තාක්ෂණය සමග ඉදිරියට යනවා ද කියා අප අවධානය යොමු කළ යුතු යි.
2050 වන විට දකුණු ආසියාවේ ජනගහනය දෙස බැලුවහොත් එය ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඉන්දියාවේ ජනගහණය සමහර විට බිලියන 1.7ක් දක්වා ඉහළ යා හැකියි. ඒ වගේ ම දරිද්‍රතා මට්ටම අඩු වී ආදායම ඉහළ යාම සිදු වෙනවා. මෙය බංග්ලාදේශයේ, පකිස්තානයේ, මියන්මාරයේ සහ නැගෙනහිර අප්‍රිකානු රටවල ද සිදුවිය හැකියි. මේ වැඩිවන ජනගහණය අනුව අවශ්‍ය විශ්වවිද්‍යාල ඉදිකළ නොහැකියි.ඉන්දියාවට පමණක් මේ සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමට නොහැකියි.
අපි ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. එසේ නම් අප රට තුළ ප්‍රමාණවත් විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් තිබිය යුතුයි. දැන් ඔවුන් අපේ අවශ්‍යතා සපුරනවා වගේ ම ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීමට අපට සිදුවන කාලයක් උදාවිය හැකියි කියා මම විශ්වාස කරනවා.
ඒ නිසා දැන් තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යනව ද, නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා ද කියා අප සිතිය යුතුයි. මෙරට ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ව්‍යුහයයි. නමුත් දැන් තිබෙන නවීන විශ්වවිද්‍යාලවල එවැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. අපි මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. අපි මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.
අද සම්මාන ලැබු ඔබ සියලුදෙනාට මම සුබ පතන අතර මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිව යුතුයි. ඒ වගේ ම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වැඩි ප්‍රතිපාදන ලබා දීමට අපි බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.”

නවීන්ට සබරගමු ආණ්ඩුකාර ධුරය !
හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස ලබන සතිය තුළ දී ජනාධිපති ඉදිරියේ දිව්රුම්දීමට නියමිතය.
සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කළ ටිකිරි කොබ්බැකඩුව ඊයේ (10) ඉල්ලා අස්විය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ අලුත් පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බවයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන එබව සඳහන් කළේය.

අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව පළාතේ, ගාල්ල, මාතර, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද අද (11) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

බදු ගෙවන්නම බෑ කියා : ගොමාව යළි වර්ජන සූදානමක !
ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.
රජයේ ආදායමට හානි නොවන ලෙස බදු සංශෝධන සිදු කිරීමට බාධාවක් නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව පවසා තිබියදී රජයේ ඒ පිළිබඳව නොසලකා හැර ඇති බව ද ලේකම්වරයා චෝදනා කරයි.
ජුනි මාසයේ දී මෙම සංශෝධන සිදු කරන බව ජනාධිපති වරයා දුන් පොරොන්දුව ඉටු වන බවක් දක්නට නැතැයි ද පවසන ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ බවත් කියා සිටියි.
ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ බවද අලුත්ගේ තවදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණයකට සූදානම් : හිටපු ජනපති මහින්ද කියයි !
ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය .
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුව වෙලාවට මැතිවරණ තියාවි. මොන මැතිවරණය ආවත් අපි ඒ එන ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය ආවත් ගැටලුවක් නැහැ.
විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත තවමත් දැක නැති බවයි.
"දැන් ඉතින් තියෙන්නේ නිදහස් මාධ්‍යයක් නේද" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

සංහිඳියාව කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස් !
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලය තුළ අවසන් කර, ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන්නේය.
ඉඩම් ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, රාජ්‍ය අංශයේ පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, මහවැලි ඉඩම් සම්බන්ධ ගැටලු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කරනු ලැබීය.
සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
බලය විමධ්‍යගත කිරීම, පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු ඇතුළු අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ, යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල දිස්ත්‍රික් ලේකම්වරු හා නැගෙනහිර හා උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරු මාර්ගගත තාක්ෂණය (Zoom) ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ වූහ.

“සංවර්ධන අරමුණුවලදී සංචාරක ව්‍යාපාරය උපරිමයෙන් දායක කර ගන්නවා” – ජනපති
මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ශ්‍රී ලංකාවට ම ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති බව ත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (ජූනි 9) ආරම්භ කෙරුණු “2023 සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ” (Culinary Art Food Expo 2023) සමාරම්භක උත්සවය අමතමිනි.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය.
ප්‍රදර්ශනයට එක්ව සිටි සූපවේදින් සමග සුහද කතාබහක නිරත වූ වික්‍රමසිංහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද විමසා බැලීය.
සූපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
වැඩිදුරට ත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
“2023 සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. අපි මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ වැඩපිළිවෙළ වන්නේ පළමු අදියර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කර ගැනීම තුළින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ අනුව අප දැන් ඉහළ ආදායමක් ලබන සංචාරක ව්‍යාපාරයක් රට තුළ පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
සංචාරක ක්ෂේත්‍රයේ ගාස්තු වැඩි කිරීමට නම් අප හොඳ සේවාවක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා බොහෝ අංශ තිබුණ ද වඩාත් ආකර්ශනීය වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු ආගන්තුක සත්කාර සහ අපට ම ආවේණික ඉවුම් පිහුම් කලාව යි. එබැවින් සංචාරක කර්මාන්තය පුළුල් වන විට රටේ ප්‍රමාණවත් සූපවේදීන් පිරිසක් ද සිටිය යුතු යි.
අද රටේ මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙනවා. මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි සූපවේදීන් සංඛ්‍යාවක් අපේ රටේ නැහැ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ හැකියාව නොමැති වී තිබෙනවා. එබැවින් මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ සූපවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට රජයේ සහය ලබා දීමට අපි අපේක්ෂා කරනවා.
නමුත් රජයට තනිව ම එම වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාගත නොහැකියි. එබැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍යයි. එහිදී ඔවුන්ට අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානමින් සිටිනවා.
ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙන ම පාසලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ද පෞද්ගලික අංශයේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු පිළිබඳ පාසලක් සඳහා දකුණු පළාත තුළ ඉල්ලුමක් තිබෙනවා. නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල යන නගරවලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්වාස කරනවා. තරුණ සූපවේදීන්ට අවශ්‍ය දැනුම ලබා දීමටත්, ප්‍රවීණ විදේශීය සූපවේදීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් එය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි මම සිතනවා.
ඒ වගේ ම, මෙරට සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් “තරු” සංකේත ඔවුන්ට ලබා දීමට පියවර ගත යුතුයි. නව සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මේ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ද සහය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත දියුණු නොකර සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි බව මගේ විශ්වාසයයි.
අපේ තරුණ තරුණියන් තුළ විවිධ කුසලතා තිබෙනවා. එම කුසලතා සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර දිය හැකියි. අද මෙහි සිටින ඔබ සියලු දෙනා අනාගතයේ දක්ෂ සූපවේදීන් බවට පත්වී රටට සේවය කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙමින් ඔවුන්ට රට තුළ රැඳී සිටීමට සුදුසු පසුබිම සකස් කර දීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.”

වෙළඳාම සරල කරන්න ජාතික යෝජනාවලියක් !
ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ (NTFC) ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
රට තුළ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණු අතර එහිදී ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය ද විමසා බැලිණි.
ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය විසින් 2025-2030 කාලය තුළ සපුරාගත යුතු කාර්යයන් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡා විය.
මෙහි මූලික පියවරක් ලෙස මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය පවත්වාගෙන යාමටත්, එහි කාර්ය මණ්ඩල අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමටත් තීරණය කෙරිණි.
එසේම දැනට රේගු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය සඳහා 2023 අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම පිළිබඳවත්, එහි වෙබ් අඩවිය සංවර්ධනය සහ ප්‍රගතිය වාර්තාකිරීමේ පද්ධතිය සකස් කිරීම වැනි අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීමටත් අවධානය යොමු විය.
ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ අධිකාරියක් අවශ්‍ය බව පෞද්ගලික අංශ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ. එක් එක් නියෝජිතායතනයේ වගකීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විධිමත් වාර්තාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනිසියස් ප්‍රනාන්දු, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ උප සභාපති ගයානි ද අල්විස්, ලංකා වාණිජ මණ්ඩලයේ සහකාර ලේකම් මනෝරි දිසානායක යන මහත්ම මහත්මින් සහ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ සාමාජිකයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ආනයන සීමා තවත් ලිහිල් කෙරේ !
ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එහිදී HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර තිබේ.
මෙම ගැසට් නිවේදනය 2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත්කර ඇත.
මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවය.

කොවිඩ්-19 සහ ඩෙංගු පාලනය අගමැතිට හා වෛද්‍ය සීතාට භාර දෙයි

'ටෙලිකොම්' පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළිනොගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ අද (09) සඳහන් කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.
ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය ඉවත දමනු ඇති බව එම ඇමතිවරයා විශ්වාසය පළ කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් අද (09) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබුණි.
මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව එහි පුරප්පාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් පත් කෙරිණ.

ජාතික සම්පතක් කියූ තෙලේ සෙල්ලම් : විගණන වාර්තාවෙන් එළියට !
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් 391 දෙනකුගේ හෙවත් සමස්ත සේවකයින්ගෙන් 17% කගේ අතිකාල ඔවුන්ගේ මූලික වැටුපෙන් 100% ඉක්මවා ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවෙන් මේ බව අනාවරණ කර ඇත .
තවද මේ අතර මෙම වාර්තාවේ සඳහන් වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිටින සේවකයින් 2,296 දෙනා අතුරින් සේවකයන් 998 දෙනෙකුගේ අතිකාල දීමනා ඔවුන්ගේ මූලික වැටුපෙන් 50% ඉක්මවා තිබේ.
එසේම මෙරට ඉන්ධන අර්බුදය උග්‍රව පැවැති සමයේ ඉන්ධන තොග අක්‍රමවත් අයුරින් බෙදාහැරීම පිළිබඳ තොරතුරු රැසක් එහි සඳහන් ය.
ඊට අනුව එම සමයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දීපව්‍යාප්ත බෙදාහැරීම් ප්‍රමුඛතා ලැයිස්තු තෙල් සංස්ථාව විසින් දිනපතා ලබා දෙනු ලැබීය.
නමුත් විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 වසරේ ජුනි 07 වැනිදා සහ 18 වැනිදා අතර කාලයේ තෙල් සංස්ථාව ලියාපදිංචි අලෙවිකරුවන් 1,143 දෙනෙකුගෙන් 120 දෙනෙකුටම කිසිදු පෙට්‍රල් තොගයක් ලබාදී නොමැති බවය.
කෙසේ වෙතත් මෙම සමයේදී අලෙවි නියෝජිතයින් 08 දෙනෙකුට එක් අයෙකුට ලීටර් 210,000කට වඩා පෙට්‍රල් තොග ලබාදී ඇති බව විගණනයේදී හෙළිදරව් වී ඇත .
එමෙන්ම අලෙවි නියෝජිතයින් 73 දෙනෙකුට මෙම සමයේ ලංකා ඔටෝ ඩීසල් තොග බෙදාහැරීමක් සිදුකර නැතැයි ද එම වාර්තාව පවසයි .
එහෙත් එක් අයකුට ලංකා ඔටෝ ඩීසල් ලීටර් 200,000කට වඩා ප්‍රමාණය බැගින් අලෙවි නියෝජිතයින් 17 දෙනෙකුට තොග ලබා දී තිබූ බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
පෝලිම් බහුලව පැවති එම සමයේ ඛනිජ තෙල් නිෂ්පාදන ඇණවුම් 2,509ක් බෙදා හැර තිබූ නමුත් ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් ඛනිජ තෙල් ඇණවුම් 2,524 ක් තොග ගබඩා පර්යන්ත සමාගම අලෙවි නියෝජිතයන් වෙත බෙදා දී නොතිබූ බවත් වාර්තාවේ දැක්වෙයි.

නිල සංචිත ඉහළට !
මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එම සංචිත වත්කම් ඉහළ යෑමේ ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව සියයට 26.2 ක් බව පවසන මහ බැංකුව අප්‍රේල් මාසයේ ඩොලර් වත්කම් ප්‍රමාණය මිලියන 2,761 ක් බව ද සඳහන් කර සිටියි.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මැයි මාසය තුළදී සියයට 27.9 කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පවසයි .
චීන මහජන බැංකුව පිරිනැමූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක විදේශ විනිමය හුවමාරු පහසුකම් ලැබීම් ද මෙම සංචිතවලට ඇතුළත් බව ද මහ බැංකුව වැඩි දුරටත් සදඟන් කරයි.

පාර්ලිමේන්තුවේ 225 ටම බදු ලිපිගොනු !
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ පැවති ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අමතමින්ය.
දේශපාලනයට පිවිසෙන සියලු දෙනා වත්කම් බැරකම්වලට අමතරව බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් ගෙන එන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පිවිසෙන සාමාජිකයන්ද බදු ලිපිගොනු විවෘත කළ යුතු බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.
ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු අවුරුදු 18 ට වැඩි වැඩි සියලු සියලුදෙනාට බදු ලිපිගොනුවක් හඳුන්වා දෙන බවද සඳහන් කල අමාත්‍යවරයා ඉන් අදහස් වන්නේ සියලූ දෙනාගෙන් බදු ගැනීම නොවන බවද සඳහන් කළේය.
ආණ්ඩුව ජනතාවට මුදල් දෙන්නේද එම ලිපිගොනු හරහා බවත් බදු ගැන ඇසූවිට අද බොහෝ දෙනා බිය වන බවත් ඒ බියද නැති කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළට !
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දමා ඇති බව ලංකා සතොස නිවේදනය කර සිටියි.
ඒ අනුව පහත සඳහන් භාණ්ඩ 10ක මිල අඩු කිරීම හෙට (09) සිට ක්‍රියාත්මක බවද ලංකා සතොස පවසයි.
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහත දැක්වෙයි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන තීන්දුවක් !
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන පාර්ලිමේන්තු එළබෙන 21 වනදා විවාදයට ගැනිමට තීරණය කර තිබේ.
අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මෙම තීරණය ගෙන ඇත.
එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වනදා විවාදයට ගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් නව ගිවිසුමකට අත්සන් තැබේ !
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ.
ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) මෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) සැලසුම් කළ පරිදි ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී නොහැකි විය.
එබැවින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් මෙම උපාය මාර්ග සැලසුම් දියත් කෙරිණි.
එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කරන ලදී.
එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන මිලදී ගැනීම සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.
2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන ප්‍රකාරව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.
එම සමාගම් වන්නේ,
• Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.
• United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.
• Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.
සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම (M/s Sinopec Fuel Oil Lanka (Private) Limited සහ එහි මව් සමාගම් සමඟ රට තුළ සිල්ලර ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙන පරිදි පසුගිය මැයි මස 22 වනදා රජය සමඟ ගිවිසුමකට එළැඹිණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?start=3258#sigProId8c98583b7f

ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ඔහු සඳහන් කර ඇත.
ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, 2023 ජූනි 10 වනදා සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 සැප්තැම්බර් 18 වන දා ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබ තිබිණි
Page 182 of 463