පුවත්

ආණමඩුව සමූපේ පොහොට්ටුවට !
ආණමඩුව සමුපකාරයේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා තිබේ.
එහිදී නියෝජිතයන් 51ක් දෙනෙකු තේරී පත්වී ඇත්තේ පොදුජන පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙනි.
ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙන් නියෝජිතයන් 23 දෙනෙකු හා සමගි ජනබලවේගය සහාය දුන් කණ්ඩායමෙන් 14 දෙනකු තේරී පත්වී ඇත.

IMF දෙවැනි වාරිකය ලැබුණට පස්සේ අමාරුම කාලේ ඉවරයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
එසේම දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇතිකිරීම සඳහා මෙතෙක් ගෙන තිබෙන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා.
කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මන් සංචාරය නිමා කර මෙරටට පැමිණීමෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදුකර තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙරට රාජ්‍ය ආදායම සියයට 43 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේදී බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා වැදගත් වෙනවා. වත්මන් බදු දැල තුළ සිටින කණ්ඩායමට අමතරව, බදු ගෙවිය යුතු පිරිස් සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා.
මෙරට රාජ්‍ය බදු ආදායම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා.
ඒ වගේම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මෙරට ජනතාව කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා.දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන මේ වෙන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් සාකච්ඡා සියලුම ණය හිමියන් සමඟ දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා.
විදේශීය ණය ප්‍රශස්තකරණ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හුදකලා කර තිබෙන බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරනවා. නමුත් විදේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ කිසිම රටක් අපට සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර නැහැ. එම රටවල් ධනාත්මක ලෙස අපත් සමඟ එම සාකච්ඡාවල නිරතව සිටිනවා. දේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වීමෙන් පසුව විදේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
මේ පිළිබඳ කිසිවෙකු සෘණාත්මක හැඟීමක් ඇති කරගත යුතු නැහැ. මීට වසරකට පෙර මේ රටේ පැවති ආර්ථික තත්ත්වයට වඩා මේ වසරේ අප ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. එදා 70%ක්ව තිබූ උද්ධමනය අද 1. 3%ක දක්ව පහළ බැස තිබෙනවා. උද්ධමනය අඩු වීම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් බවට පත්ව තිබෙනවා.
පසුගිය වසරේ දේශීය වෙළෙඳ පොළේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය 30%ක මට්ටමක පැවතුණා. අද වන විට එය 13% ක ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා. එම අඩු වීම මහා භාණ්ඩාගාරයටත් විශාල ශක්තියක් බව කිවයුතුයි.
අද මෙරට විදෙස් සංචිත ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සාමාන්‍ය පරිදි ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමග මේ වසරට වඩා එළැඹෙන වසරේ ආර්ථික වර්ධන මාර්ග සිතියම කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර තිබෙනවා.
රටක් ලෙස තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළයුතුයි. අප සෑම අවස්ථාවක ධනාත්මකව සිතිය යුතුයි. මීට වසර 20කට පෙර සිදුකළ යුතුව තිබූ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ දැන් සිදුවෙමින් පවතිනවා. ලෝකයේ කුඩා රටවල් දියුණු වුණේ මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි.
රටක් ලෙස මුහුණදීමට සිදුවු අසීරු කාලය අප දැන් පසුකරමින් සිටින බව කිවයුතුයි. ජනාධිපතිතුමා ගෙන යන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන ගියහොත් ස්ථීර ලෙසම අනාගතයේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකියි. පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන්හි නිරතව සිටින කණ්ඩායම්වලට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම සුබවාදී නොවිය හැකියි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙනවා.

දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 7ක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව, නාය යාමේ අවදානමක් පැවතිය හැකි ප්‍රදේශ ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය යන ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශය නම් කර තිබේ.
තව ද මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරළිය යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත, නිවිතිගල, පැල්මඩුල්ල යන ප්‍රදේශ ද ඒ අතර වෙයි.

ධනුෂ්ක ගුණතිලක නිදහස් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කළැයි චෝදනාවට වැරදිකරු නොවන බවට ඕස්‍ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබේ.
එරට මාධ්‍ය පැවසුවේ, අද (28) දිනයේදී ඕස්ට්‍රේලියාවේ ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විනිසුරු සාරා හගට්, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළ කළේ ය.
2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරතුරේදී කාන්තාවක් අපයෝජනය කළැයි සැකපිට ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.
නඩුව නිව් සවුත්වේල්ස්හි ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4න් 3ක් ඉවත් කෙරුණි. එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
උසාවියෙන් පිටත පැමිණ ධනුෂ්ක සදහන් කර ඇත්තේ ලබා දුන් තීන්දුව “සියල්ල කියයි” සහ ඔහුගේ කීර්තිය නැවත ඇති කර ඇති බවයි.
ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නීතීඥයින්ට, කළමනාකරුවන්ට මෙන්ම මිතුරන්ට සහ පවුලේ අයට ස්තුතිය පුද කරමින්, “සියල්ලන්ම මාව විශ්වාස කළා, ඒ නිසා මට ගොඩක් වටිනවා” යැයි පවසා ඇතැයි සදහන් වේ.
“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලා සිටිනවා,” යනුවෙන් ද ඔහු පැවසීය.
පසුගිය මාස එකොළහ “ඇත්තටම දුෂ්කර” වූ බවත් විශේෂයෙන් තම දෙමාපියන් නොමැතිව ඕස්ට්‍රේලියාවේ සිටීම දැඩි අපහසුවක් වූ බවත් ධනුෂ්ක ගුණතිලක එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

ප්‍රදේශ රැසකට අද මි.මී. 100ක තද වැසි ඇති වේ
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (සැප්. 28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසි ද බලාපොරොත්තු විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45)ක පමණ තරමක තද සුළං ඇති විය හැක.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි - සමන්
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.
ලෝකයේ දියුණු රටවල් අධ්‍යනය කිරීමේදී රාජ්‍ය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය ව්‍යාපාර නොකරන රටවල් සංවර්ධනය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මේ බව පවසා සිටියේ ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම‘ මැයෙන් මුදල් අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති විද්වත් සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක පවතින අවධියක රටේ ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක් වන පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳ වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු වැඩබිමේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම වෙනුවෙන් 2010-2020 යන දස අවුරුදු කාලය තුළ රුපියල් බිලියන 333ක් තරම්වූ අති විශාල මහජන මුදලක් වැය කර ඇති බවත් සමන් රත්නප්‍රිය අනාවරණය කළේය.
එමෙන්ම මහජන බදු මුදල් මේ තරම් ප්‍රමාණයක් වැය කරමින් පවත්වාගෙන ආ මෙම රාජ්‍ය ව්‍යවසාය යම් ලාභ දායි ව්‍යාපාරයක් ලෙස ගොඩනගා ගත්තේ නම් එමගින් වසරකට රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි කර ගන්නට හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සූදානම් දැයි වෘත්තීය සමිති නායකයෙකු කළ විමසුමට පිළිතුරු දෙමින් සමන් රත්නප්‍රිය කියා සිටියේ , ඒ සඳහා හෝ එවැනි ක්‍රියා මාර්ගයක් සඳහා කිසිදු අදහසක් රජයට නොමැති බවත්ය. එසේම මෙම වසරට අදාළ අය වැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට වෙන් කළ මුදලටත් වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තවත් සියයට එකක් වැඩිපුර ලබන වසරට ලබාදීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව ඔහු අනාවරණය කළේය.
මෙම සම්මන්ත්‍රණය ඇමතූ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලයට වඩා සේවක පුරප්පාඩු 4000කට ආසන්න ප්‍රමාණයක් දැනට පවතිනවා. මෙවැනි පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතියත් ආයතන පවත්වාගෙන යාමට සහ අවශ්‍ය සේවා කටයුතු සඳහා වත්මන් සේවක සංඛ්‍යාව ප්‍රමාණවත්.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය 3292ක්. දැනට සේවය කරන පිරිස 2100ක්. ඒ අනුව සේවකයින් 1192ක පුරප්පාඩු පවතිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලය 24000ක්. ඉන් දැනට සේවය කරනුයේ 21000ක පිරිසක් පමණයි. තවත් 3000ක පිරිසක් අවශේෂ සේවා කටයුතු සඳහා පිටතින් යොදවා ගෙන තිබෙනවා. අනුමත කාර්ය මණ්ඩලය සම්පූර්ණ කිරීමට 3000ක පිරිසක් අවශ්‍යයි. නමුත් මෙවැනි පුරප්පාඩු සම්පූර්ණයෙන් පුරවා දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන වත්මන් රජය ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් රටේ තිරසර ආර්ථික සංවර්ධනයක් සඳහා අභියෝගාත්මක අසීරු තීන්දු තීරණ ගනිමින් කටයුතු කරනවා.
ශපාලන වාසි ලබාගැනීම සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තවත් දහසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා ලබාදීමට මට පුළුවන්. නමුත් එවැනි සේවක පිරවීම් සිදු කොට එම ආයතන බිඳ වැට්ටවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කළ යුතුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානි මහාචාර්ය සිරිමල් අබේරත්න
ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ආර්ථික දියුණුවක් ළගා කර ගැනීමට මුල පිරීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම යහපාලනය, නීතිය හා සාමය සහ ජනතාවගේ ආකල්පවල ධනාත්මක වෙනසක් සිදු කළ යුතුයි.
රාජ්‍ය ව්‍යවසායන්වල අයිතිකරුවෙක් නැහැ. එමෙන්ම ඒවායේ මූල්‍ය විනය, විනිවිද භාවය, කාර්යක්ෂමතාවය, නාස්තිය, දූෂණය වැනි දුර්වලතා පවතිනවා. ලෝකයේ සෑම රටකම ව්‍යවසායන්ගේ ස්වභාවය එලෙසයි.එවැනි තත්ත්වයක් තුළ අප රටේ ද රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ආර්ථික අර්බුදය ජය ගැනීමට උත්තේජකයක් සපයා ගත හැකියි. ඉන් ඔබ්බට ගොස් රට නගාසිටුවීම සඳහා වැඩකරන ජනතාව පෙළ ගැසීමේ අවශ්‍යතාවය වර්තමානයේ දැඩිව තිබෙනවා.

වසර අවසානයේ සංචාරකයන් ලක්ෂ 15 ක් වෙනුවෙන් ඉලක්කයක් !
මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමට විශේෂ කුළී රථ සංගම් පිහිටුවීමට ද සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරටට සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මෙසේද පැවසුවාය.
ජාත්‍යන්තර සංචාරක දිනය අදට (27) යෙදී තිබෙනවා. සංචාරක අමාත්‍යාංශය වශයෙන් ජාත්‍යන්තර සංචාරක දිනය ඉතා චාම් ලෙස සැමරීමට පියවර ගත්තා. අප රටේ සිටින ප්‍රවීනම සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාට 'ජය ශ්‍රී ලංකා' නමින් සුවිශේෂී සම්මානයක් සංචාරක දිනයට සමගාමීව ලබාදීමට ද අප කටයුතු කළා.
මම හිතන්නේ එය ඉතාමත්ම වටිනා සම්මානයක්. මොකද එතුමා පහළ තැනක සිට, අනතුරුව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී තනතුර දක්වා පැමිණීම සුවිශේෂී සිදුවීමක්. සංචාරක කේෂ්ත්‍රයට සූපවේදීන් අමතක කරන්න බැහැ. අප රටේ සූපවේදී කියන වෘත්තිය නොසලකා හැර තිබෙනවා. මේ නිසා ඉදිරියේදී සූපවේදීන් ඇගයීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍යාංශය ලෙස කටයුතු කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස නවය තුළ පමණක් විදේශීකයන් ලක්ෂ 10ක් පමණ අප රටට පැමිණ තිබෙනවා. මෙම වසර අවසන් වන විට විදේශිකයන් ලක්ෂ 15ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
යුරෝපයේ සීත සෘතුව තව මාස දෙකක් ගත වන විට ආරම්භ වෙනවා. ඒ අනුව සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නේ වසරේ මෙම අවසන් මාස දෙක තුළයි. එංගලන්තය මෙන්ම යුරෝපා රටවලින් විශාල වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යයි.
මීට අමතරව මැද පෙරදිග රටවල්වල සංචාරකයන් ද මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබෙනවා. ලබන මාසය වන විට මැද පෙරදිග රටවල්වල සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා. ඔවුන් වෙනුවෙන් ද විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට අමාත්‍යාංශය ලෙස පියවර ගනිමින් සිටිනවා.
සංචාරකයන් මෙරටට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් අප ලබාදිය යුතුයි. විශේෂයෙන්ම ඇල්ල, නුවරඑළිය, ගාල්ල, කොළඹ වැනි සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී කාලයේ ද සංචාරකයන්ට නිදහසේ ගත කිරීමට ඉඩප්‍රස්ථා ලබාදිය යුතුයි. ඒ වගේම සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි.
එසේම දැනට ඇති ඇතැම් නීතිරීති ද ලිහිල් කළ යුතුයි. සංචාරකයන්ට මෙහි පැමිණ මුදල් වියදම් කිරීමට අවස්ථා තිබිය යුතුයි. ඔවුන්ට අවස්ථා නොමැති නම් රටට ආදායම් ලැබීමට ද අවස්ථාවක් නැහැ.
ඒ වගේම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අප සැමගේ වගකීමක් වෙනවා. වැරදි කරන කිහිප දෙනකු නිසා එහි බලපෑම සමස්ත රටටම එල්ල වෙනවා.
ඒනිසා සංචාරකයන්ගෙන් අසාධාරණ සහ අයථා ලෙස මුදල් අය කර ගන්නා දේශීය වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. විදෙස් සංචාරකයෙක් යළිත් වතාවක් මෙරටට පැමිණෙන ආකාරයට කටයුතු කිරීමට වගබලාගත යුතු වෙනවා.
එසේම ඔවුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ කුළී රථ සංගම් පිහිටුවිය යුතුයි. මෙවැනි ක්‍රියාමාර්ග හරහා සංචාරකයාගේ ආරක්ෂාව මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවන් ද නතර කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අමාත්‍යාංශයක් ලෙස විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රිකාව නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මේ වැඩපිළිවෙළ රුපියල් උපයන ව්‍යාපෘතියක් බවට පත් නොවී, ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත් කරනවා. මේ සඳහා අධිකාරියක් ඇති කරමින් නියාමනයක් සහිතව ආයෝජන ප්‍රවර්ධන කලාප යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

ජනපතිගේ අමාත්‍යංශ ආවරණයට ඇමතිවරුන් 5ක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන ගැන තීන්දුවක් !
ආරක්‍ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලින කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ වන විට 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දැනට අදාළ ආයතන පිහිටුවා ඇති අතර, ඒවායේ ලියාපදිංචිය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සිදුකර ඇත.
ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රය වලංගු කාල සීමාව ඉක්මවීමට මාස 03කට ප්‍රථම ඉදිරි වර්ෂ 02 සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, බලපත්‍ර කාල සිමාව ඉක්මවා අවසරයකින් තොර ව පවත්වා ගෙන යාම 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සඳහන්ය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.defence.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම සඳහා හා ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් ද ඉහත වෙබ් අඩවියේ පළ කර ඇති බව වාර්තා වේ.

චීනය නැතුව බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක් ?
චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
ඒ සඳහා අවශ්‍ය එකඟතාවයට පැමිණීමට එම පාර්ශ්ව බලාපොරොත්තුවෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී අත්සන් තැබීමට ප්‍රධාන ණයගැතියන්ගේ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවත් සඳහන් ය.
පසුගිය වසරේ අගවන විට ශ්‍රී ලංකාවේ බාහිර ණය වලින් 10%ක් පමණ චීනය සතු වූ අතර ඔවුන් වෙනම ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර ඇති බවත් අදාළ පුවත් වාර්තාවෙහි දැක්වෙයි.
ada derana

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසඳයි !
රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඒ අනුව එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .
අද (27) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ය.
අදාළ ගිණුම් පිළිබඳව තොරතුරු 1944 ක්‍ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් ද ගතහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

විහාර 5කට සහ දේවාලයකට පූජා භූමි සන්නස් පත්‍ර !
බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පැවසීය.
ඉතිහාසය හදාරණ සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ බව සඳහන් කළේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රදේශ, පූජා භූමි ලෙස නම් කරමින් එම පූජාභූමිවලට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.
මෙහිදී පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික මෙන්ම පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් සිදු විය.
නිදහසේ අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතියට ගරු කළ යුතු අතර රට තුළ ආගමික ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සාහයන්ට හසු නොවී කටයුතු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.
වෙල්ගම රජමහා විහාරය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත ද, පාතදුම්බර මිටියාවතේ මීගම්මන ග්‍රාමයේ පිහිටි, මීගම්මන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ විමල කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ද පිරිනැමිණ.
තවද කොළොම්තොට ගංගොඩවිල ග්‍රාමයේ පිහිටි, ගංගොඩවිල ශ්‍රී විජයාරාම රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය අමුණුමුල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූ අතර පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.
එසේම මින්නේරිය මහසෙන් රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාතලේ උඩුගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ද, රුවන්වැල්ල, මැදගොඩ ග්‍රාමයේ පිහිටි මැදගොඩ ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එහි භාරකරු වන කේ.ඩබ්.එම්. අජිත් ශාන්ත බණ්ඩාර මහතා වෙත ද පිරිනැමීය.
මහාවිහාර වංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමිපානන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිධාරී ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ සාසනරතන නාහිමිපානන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී අමරපුර වජිරවංශ පාර්ශ්වයේ වැඩබලන මහා නායක රුසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බුදධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය ණය කළමනාකරණයට ආයතනයක් !
රාජ්‍ය ණය කළමනාකරණය සඳහා ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
2022 අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍ය භාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛස්ථානගත ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගනු ලැබ ඇත.
යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ද ලබා දී තිබෙන බව රජය සඳහන් කරයි.
අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වනවිට සැලසුම් කර තිබෙන බවද රජය අවධාරණය කර සිටියි.
ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක ට උපදෙස් දීම සඳහා වැඩබලන හා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සජිත් IMF ට ලංකාව එපාම කරවන උත්සාහයක !
තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ට දැන්වූ බව වාර්තා වෙයි .
දඹුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකයා විසින් මේ බව සඳහන් කර ඇත .
එහිදී ඔහු පවසා ඇත්තේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායකයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට පිළිබඳව ඇති විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇති බවය.
පසුගිය වසරේ මෙරට බංකොලොත් බව ප්‍රකාශ කර සිටීම හමුවේ කිසිදු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් කිසිදු ගනුදෙනුවක් ශ්‍රී ලංකාව සමග සිදුකිරීම අත් හැර දැමුණු බවත් , එම තත්ත්වය මේ වන විට සමනය කරගන්න හැකියාව ලැබී තිබෙන්නේ ලංකා රජය IMF සමග ගිවිසුම් ගතවීම නිසා බවත් ඔවුන් පෙන්වා දෙයි.
එහිදී කාල වකවානු සහිතව මෙරට සිදුකළ යුතු දැඩි කොන්දේසි IMF විසින් පනවනු ලැබුවේ ඊට පෙරත් ලංකාව මූල්‍ය දුෂ්කරතා සමනය ගන්නට IMF වෙත ගොස් ආධාර ලබා ගත්තද ඒ වෙනුවෙන් පොරොන්දු වූ කඩකළ නිසා බවත් විචාරකයන් පවසයි .
එවුන් පසුබිමක මේ ආකාරයකට අමනෝඥ ප්‍රකාශ සිදුකිරීම විපක්ෂ නායක ධූරය ට තරම් නොවන බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම පක්ෂයක් හෝ ආණ්ඩුවක් සමග ගිවිසුම් ගත නොවන බවත් , ශ්‍රී ලංකා රජය සමග ඇතිකර ගන්නා ගිවිසුමක් ඒක පාර්ශ්වීය ලෙස උල්ලංඝනය කළහොත් රට යළිත් බරපතළ අර්බුදයකට ඇදවැටෙනු ඇති බවය.

රේගුව සුරාබදු සහ දේශීය ආදායම අධීක්ෂණයට විශේෂ ඒකකයක් !
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එම සාකච්ඡා ඉතා සාර්ථකයි. රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති ගිවිසුමට අනුව ගත් තීන්දු තීරණවල ප්‍රගතිය සම්බන්ධව ඔවුන් රටට දැනුම් දීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොමු කළ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. මේ අනුව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමත්, විදේශ සංචිත වැඩි කිරීමත් රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමටත් අවශ්‍යයි.
පසුගිය සමයේ 95%ක්ව තිබූ ආහාර උද්ධමනය මේ වන විට -5%ක් දක්වා පහතට ගෙන ඒමට හැකි වී තිබෙනවා. උද්ධමනය 70% සිට 2.6%කටත්, ඩොලර් මිලියන 20ක් තිබූ විදෙස් සංචිතය ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්ධවයි. ඊට මූලික හේතුව රාජ්‍ය ආදායමෙන් 90%ක්ම බදු හරහා සපයා ගන්නා නිසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3101ක ආදායම් ඉලක්කයක් මේ වසර සදහා රජය බලාපොරොත්තු වෙනවා.
නමුත් මේ වන විට එකතුකර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 956ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 578ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109ක් වශයෙන් රුපියල් බිලියන 1643ක් පමණයි.
අප විශ්වාස කරනවා මේ වසර අවසාන වන විට මේ කටයුතු කර ඇති ආකාරයට, ලබාදී ඇති ඉලක්කයෙන් එකතු කර ගත හැකි බදු ආදයම රුපියල් බිලියන 2380ක් පමණයි. මේ අනුව රුපියල් බිලියන 637ක හිඟයක් ඇති වෙනවා.
නමුත් මේ ආදායම එකතු කර ගැනීම කල නෙහැක්කක් නොවෙයි. ඒ නිසා අප කාරක සභාව විසින් රජය බලාපොරොත්තු වන ඉලක්කයට යෑමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවා. එහිදී රජයට වැඩිම ආදායමක් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන කාරත සභාව හමුවට කැඳවනු ලැබුවා.
ඒහි දී අනාවරණය වූ ආකාරයට 2022 වසරේ මේ ආයතන විසින් නිසියාකාරව අදාළ බදු මුදල් එකතු කර ගැනීමට සැලසුම් සකස් කළා නම් මේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකියාව තිබුණා.
පසුගිය වසරේදී (2022) මෙරට පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව ලෙස දෙලක්ෂ අනූදෙදහසක් වාර්තා වී තිබෙනවා. මිලියන 22ක ජනගහනයක් සිටින රටේ බදු ලිපි ගොනු තිබෙන්නේ දෙලක්ෂ අනූදෙදහසක් පමණයි. ඒ අනුව මේ ලිපි ගොනුවලින් රුපියලක් හෝ බදු ගෙවා තිබෙන්නේ 10%ක් පමණයි.
ඒ වගේම මෙරට සමාගම් එක්ලක්ෂ පන්දහසක් තිබෙනවා. එයින් බදු ගෙවනු ලබන්නේ සමාගම් 15%ක් පමණයි. රාජ්‍ය ආදායමෙන් 86%ක් එකතු වෙන්නේ සමාගම් 494කින් පමණයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2500ක සේවකයන් පිරිසක් ඉන්නවා.
රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතුයි.මේ ආයතනවල පවතින අක්‍රමිකතා මැඩපැවැත්වුවහොත් අපිට බිලියන 500කින් ආදායම වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව මගින් වසරකට රුපියල් බිලියන 360ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වසරකට මිලියන 60ක් වශයෙන් රුපියල් බිලියන 500ක් පමණ අකාර්යක්ෂමතාව සහ අක්‍රමිකතා නිසා රජයට අහිමි වී තිබෙනවා.
උදාහරණයක් ලෙස ගතහොත් මේ රටේ මත්පැන් නිෂ්පාදනාගාරවලින් මාසිකව මත්පැන් බෝතල් මිලියන 50ක් පමණ නිෂ්පාදනය කරනවා. වසරකට මත්පැන් බෝතල් මිලියන 540-600 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නිෂ්පාදනය කරන ප්‍රමාණයෙන් 40%ක් රාජ්‍ය බදු නොගෙවා වෙනත් ආකාරයකට වෙළද පලට යනවා.
මේ තත්ත්වය වලක්වා ගන්න සුරාබදු දෙපාර්තමේන්තුව හරහා මත්පැන් බෝතල් සදහා 2018 වසරේ දී ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දුන්නා. එතැන් සිට පළමු මාස කිහිපය තුළ රාජ්‍ය ආදායම වැඩි වුණා. නමුත් පසුව ව්‍යාජ ස්ටිකර් නිසා නැවතත් 40%කින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වී තිබෙනවා. කෙසේ වුවත් සුරාබදු දෙපාර්තමේන්තුව අප කාරක සභාව හමුවට කැඳවනු ලැබීමෙන් පසුව ව්‍යාජ මත්පැන් බෝතල් 40000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙහොම නමුත් මෙම ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාව නිසා ජනතාවගෙන් චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන් වෙතයි. ඒ නිසා මේ ආයතනවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කර නිසි වැඩපිළිවෙළක් සකස් කළහොත් රාජ්‍ය ආදායම වැඩි කර ගන්න හැකියාව තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් බදු වශයෙන් රුපියල් බිලියන 904ක් අයවිය යුතුව තිබෙනවා. මෙරට දැන් පවතින ක්‍රමය අනුව යම් සමාගමකට රජයට බදු නොගෙවා අභියාචනා හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒසේ අවස්ථාව ලබා දී තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එම අභියාචනා 4 විභාග කිරීමට අවුරුදු 15ක් ගත වෙනවා. මේ නිසා රුපියල් බිලියන 904ක මුදල අය කර ගැනීම වසර 15ක් තිස්සේ පමා වෙමින් තිබෙනවා.
ඒ නිසා මේ ආයතන අධීක්ෂණය කිරීමට සහ නියාමනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු කාරක සභාවක් වශයෙන් අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද වාර්තාවක් ලබා දී තිබෙනවා. බදු වැඩි කිරීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා අලුතින් බදු ලිපිගොනු ලක්ෂ 10ක් විවෘත කරන බවට. නමුත් මේ යන විදිහට අලුතින් විවෘත වෙන්නේ ලිපිගොනු දසදහසක් පමණයි.
රටේ ජනතාවට සහනාධාර ලබා දීම, සංවර්ධන කටයුතු, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු සියලු දේවල් කරන්නේ රාජ්‍ය බදු ආදායම මගිනුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම වැඩි කර ගැනීම ගැන නැවත වරක් කල්පනා කළ යුතුයි. බදු අය ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි තීරණ ගත යුතු කාලය එළැඹ තිබෙනවා.

දයාසිරිට නෝ චාන්ස් : වාරණ නියෝගයත් ඉවතට !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය අනුව කටයුතු කිරීමෙන් පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද(26) නියම කළේය.
දයාසිරි ජයසේකර ට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයක් ඇතැයිද එම සත්‍ය කරුණු වසන් කරමින් දයාසිරි ජයසේකර මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයිද පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගත් දිසා විනිසුරුවරයා ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනාවන්ට දින 14ක් තුළ පිළිතුරු සැපයීමට නියම කරමින් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට එරෙහිව නිකුත් කොට ඇති ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මෙම පෙත්සම ගොනු කොට ඇත.
වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමට අනුව පෙත්සම කැඳවන ලදී. පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කරුණු දක්වමින් පෙත්සම්කාර දයාසිරි ජයසේකර ගෙන් නිදහසට කරුණු විමසා මෙවැනි ලිපියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය ඇතැයි කීය.
ඒ අනුව පෙත්සම්කරුගෙන් නිදහසට කරුණු විමසා මෙම ලිපිය නිකුත් කොට ඇතැයිද පෙත්සම්කරු එම කරුණු අධිකරණයට වසන් කොට මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එහෙයින් නිකුත් කොට ඇති වාරණ නියෝගය අත්හිටුවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

මෛත්‍රී - චන්ද්‍රිකා එක වේදිකාවකට !
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම ඇතුළු එම පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීලනිප සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර යළි දේශපාලන හිතවත්කමක් මතුව ඇතිදැයි යන්න සම්බන්ධයෙන් දේශපාලන කරළියේ අවධානය යොමුව ඇත.
ඒ ඔවුන් දෙදෙනා අද (26) කලකට පසුව එකම වේදිකාවක දැකගන්නට ලැබීමත් සමග ය.
වඩාත් විශේෂ කරුණ වන්නේ මේ හමුව , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදී සිදුව තිබීමය .
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ මෙම බණ්ඩාරනායක ගුණ සමරුව සිදුකිරීම වෙන් වෙන් වශයෙන් සිදුකර තිබීමය.
මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් අද පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය.
සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට සහභාගි ව සිටියේ ය.

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීමට නව නීතියක්
අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (සැප්. 26) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ බේරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමිණි.
ඊට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් කර මෙම වර්ෂය අවසන් වන විට බලාත්මක කරන බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
Page 153 of 464