Language Switcher

V2025

ගුරුවරු නැති,දරුවන් ඇති හරි පුදුම ඉස්කෝලේ - රටේ රාළ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගුරු විදුහල්පති වැටුප් සටන දැන් තීරණාත්මක හැරවුම් ලක්ෂයකට ඇවිත්.

මේ මාසේ 21 වෙනිදාට ආණ්ඩුව සිසුන් 200 ට අඩු පාසැල් 3000 ක් පටන් ගන්න ලෑස්තියි.

දැන් තියන ප්‍රශ්නය 21 වෙනිදාට ළමයි ඉස්කෝලේ එයිද කියන එක නෙවෙයි, එදාට ගුරුවරු ඉස්කෝලේ එයිද කියන ප්‍රශ්නය.

විදුහල්පති සංගම් නම් 21 ක එන්නේ නෑ කියලා අධ්‍යාපනය ලේකම්ට දැනටමත් දන්වලා ඉවරයි.

දැන් දවස් 96 ක් මේ ප්‍රශ්නය එකතැන පල්වෙනවා. ආණ්ඩුවයි, ගුරුවරුයි ඉන්නේ කැත්තට පොල්ල වගේ.

දැන් සටන වර්ධනය වෙලා තියන විදිහට ගුරුවරු දිනුවොත් ආණ්ඩුව පරාදයි. ආණ්ඩුව දිනුවොත් ගුරුවරු පරාදයි. මේ දෙගොල්ලන්ගෙන් කවුරු දිණුවත් පැරදුනත් අපේ රටේ 43 ලක්ෂයකට වැඩි ශිෂ්‍ය පරපුර පරාදයි.

කොහොම හරි දැන් මේ සටන දිනන්න හරි,පරදින්න හරි නැත්නං ජය පරාසයකින් තොරව අවසන් කර ගන්න හරි කාලය ඇවිත්.

ඒකටත් තියෙන්නේ තව තියෙන්නේ දවස් පහයි. දැන් මේ සටන අවසන් වෙන්න ඕනි. ඒකේ වගකීම ගුරු විදුහල්පති සංගම්වලට වගේම ආණ්ඩුවටත් තියනවා.

ඇත්තටම වෙන්න ඕනි මේ දවස් පහ ඇතුළේ සටන Win to win situation එකකින් අවසන් කරන එක. ඒකට අවශ්‍ය මැදිහත්වීම කරන්න තවමත් අවස්ථාව තියනවා.

මේ ප්‍රශ්නයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මැදිහත් වෙනවා දැක්කා. ඒත් උන් වහන්සේට ඒ මැදිහත්වීමට ඕනිකරන මධ්‍යස්ථ බව තියාගන්න බැරි වුණා. රටේ රාළට හිතෙන්නේ උන් වහන්සේ ආණ්ඩුව පැත්තට බර උනා වැඩි කියලා.

ඇත්තටම 21 වෙනිදා වෙනකොටත් ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් මේ සටන අලුත්ම තලයකට යන එක නවත්තන්න බෑ. ඒක මර්ධනය, බියවැද්දීම, පහරදීම්, අත්තඩංගුවට ගැනීම්, රැකියා අහිමි කිරීම වගේ අවධානමක් මැද්දේ කරන සටනක් බවට පත්වෙන්න පුළුවන්. ඒ ගැන දැනටමත් ඉගි බිගි පලවෙනවා.

කොහොම උනත් 21 ක පාසැල් එන ගුරුවරුන්ට බලපෑමක් කරන්න කිසිම වෘත්තීය සමිතියකට අයිතියක් නෑ. ඒක ඒ ගුරුවරුන්ගේ ස්වාධීන කැමැත්ත. සමහරවිට ඒ තීරණයට දේශපාලන වගේම පෞද්ගලික හේතුත් බලපාන්න පුළුවන්.

ඔය වැටුප් සටනට එකතු නොවී දරුවන්ට දිගටම ඔන්ලයින් අධ්‍යාපනය දෙන ගුරුවරු ඉන්නවා. රටේ රාළගේ ගමෙත් එහෙම ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා. අපි කවුරුත් ඒ ආදර්ශය අගය කරන්න ඕනි.

හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම ගුරුවරයම එහෙම කරන්න ඕනි කියලා. මොකද ගුරුවරයටත් ජීවිතයක් තියෙන්න ඕනි. එයාටත් දරු පවුලක් ඉන්නවා. ඒක නඩත්තු කරගන්න මේ හම්බ වෙන සොච්චම් පඩිය මදි. අනික මේ නොදී ඉන්නේ අවුරුදු 24 ක් තිස්සේ එයාලට අයිති දෙයක්.

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර දිගටම කිව්වේ පාසැලේ වැඩ කරන්න කැමති ගුරුවරුන්ට විවිධ බලපෑම් තර්ජන තියනවා කියලා. එයාට ගුරුවරු කතා කරලා කියනවලු. හැබැයි එහෙම එකක් එයාට ඔප්පු කරන්න තවම බැරි වුණා. එහෙම ඔප්පු කලා නං ගුරු විදුහල්පති වැටුප් සටන එතනින්ම ඉවරයි.

ඒක නිසා රටේ රාළ වීරසේකර උන්නැහැට කියන්නේ ගුරුවරු හරි ගුරුවරියෝ හරි කියන රහස් කතා මේකට අදාළ කරගන්න එපා කියලා. තියන දෙයක් විවෘතව කියන්න. නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න. වැරදී නම් දඩුවම් දෙන්න ඕනි කාට උනත්. එක පාරක් බොරුවට ගුරුවරු කීපදෙනෙක් CID යට ගෙන්නුවා එච්චරයි.

ඒක නිසා සරත් වීරසේකර මේ ප්‍රශ්නයේදී හැසිරෙන්නේ වගකීම් විරහිතව බව කියන්න ඕනි. අනික තමයි පාසැල් එන ගුරුවරුන්ට බලපෑම් කරන්න බෑ වගේම පාසැල් එන්න කියලා වර්ජිත ගුරුවරුන්ට බලපෑම් කරන්නත් බෑ. තග් පාට් දාලා ගුරුවරු ගෙන්වන්න කාටවත් බෑ. හැබැයි ඒවා ගැන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.

එදා සාලියපුර හමුදා කදවුරේදී ජනාධිපති කිව්වේ අර රුවන් වැලි සෑය ළගදී හම්බ වෙච්ච හාමුදුරුවෝ කිව්වට පස්සේ දැන් රටේ යන්නේ එක රටක් එක නීතියක් කියලනේ.

එහෙනම් ඒ නීතියේ රැකවරණය වර්ජනය කරන ගුරු විදුහල්පතිවරුන්ටත් තියෙන්න ඕනි. ඒක එයාලගේ අයිතිවාසිකමක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු මුලික අයිතිවාසිකමක්.

ඒක නිසා රටේ රාළ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඔය මොඩ තග් පාට් එකට යන්න එපා. ගිහින් මේ ප්‍රශ්නය අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කරන්න එපා. මොකද ආණ්ඩුව කොච්චර මේ ප්‍රශ්නයේ වගකීම ගුරුවරුන්ට පටවන්න හැදුවත් ඒකේ වැඩි කොටස තියෙන්නේ ආණ්ඩුවට.

ගොඩක් මැති ඇමතිවරු කියන්නේ වැටුප ගැන හිතන්නේ නැතිව දරුවන් ගැන හිතලා වැඩට එන්න කියලා. ඇත්තටම එහෙම බන්දුලලා ඇතුළු ඇමතිවරු කියනකොට රටේ රාළට නං ලැජ්ජා හිතෙනවා. මරු ජාතික වගකීම ඉෂ්ඨ කරපු කට්ටියනේ මේ කියන්නේ කියලා. මේ රටේ සමස්ථ ජනතාවගේ රීරි මාංශ උරාබොන ලේ මාපිල්ලු දැන් බණ කියනවා.

කොහොම උනත් දැන් ආණ්ඩුව පැත්තෙන් ගුරුවරුන්ට තර්ජනය කරන්න පටන් අරන්. එස්.බීට අනුව නං 21 ක වැඩට එන්නේ නැති ගුරුවරු මර්ධනය කරන්න ඕනි. ඒක සමහවිට තර්ජනයක් වෙන්නත් පුළුවන්ලු, මර්ධනයක් වෙන්නත් පුළුවන්ලු. එහෙමලු ලෝකයේ රටවල් ගොඩනැගුවේ.

රටේ රාළට නං හිතෙන්නේ එස්.බී මරු කියවනවද කොහේද කියලා. මානව නිදහස සම්බන්ධව සංකල්පය පලල් වෙලා තියන ලෝකෙක එස්.බී යමපල්ලෙක් වෙන්න හදනවා. ඒකෙන් ෆේල් වෙන්නේ එස්.බී මිසක් මානව නිදහසේ සංකල්පය නෙවෙයි.

ඊළඟට ඇත්තටම එස්.බී පෙන්නන්න හදන්නේ එයා තවමත් ලොකු දේශපාලන මැරයෙක් කියලද දන්නේ නෑ.

ලංකාවේ දේශපාලනයේ ලොකුම මැරයෝ හිටියේ ජේ.ආර්ගේ කාලේ, නැත්තං ප්‍රේමදාසගේ කාලේ. දැන්නං මේ ඉන්නේ මැරයෝ නෙවෙයි. දේශපාලන නරියෝ. එස්.බී මේ හදන්නේ එන මොනවා හරි අවස්ථාවක් පාව්ච්චි කරගෙන රාජපක්ෂලාගේ සිත් ගත් සුරතලා වෙන්න. පොඩි හරි ඇමති කට්ටියක් සූප්පු කරන්න ආශා ඇති.

ඊළඟට ඊයේ වෘත්තීය සමිති චෝදනා කළා නාලක ගොඩහේවත් ගුරුවරු ගම්පහ, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවලට කැදවලා පොඩි පාට් එකක් දැම්මා කියලා. අනේ මන්දා ගොඩහේවලා මොන ජීවිතද කියලා. මිනිහා හිතාගෙන ඉන්නේ හැමදාම තියෙන්නේ වාරකන් කාලේ කියලද දන්නේ නෑ.

ඊයේ අනුරාධපුරේ එස්.එමුත් අමුතු රගපෑමක් කලා. 21 පාසැල් එන්නැති ගුරුවරු ගැන බලාගන්න ගමේ දෙමාපිය බටෑලියන් එකක් එයා හම්බ වෙනවා දැක්කා.

ඕවා ඉතින් හොදයි TV News වලට, වෙන නං ඇති වැඩක් නෑ. ඔතන ඉන්න එස්.බීගේ, නාලක ගොඩහේවගේ, සරත් වීරසේකරගේ, චන්ද්‍රසේන අධ්‍යාපන මට්ටම් නං වෙනස් ඇති. ඒත් රටේ රාළට හිතෙන්නේ කට්ටියගේම බුද්ධි මට්ටම නං එක සමානයි කියලා.

මොකද තග දාලා ගුරුවරු පාසැලට ගේන්න පුළුවන් වෙයි. හැබැයි ඒ තගට දරුවන්ට උගන්නන්න බෑ. හමුදාව දාලා ළමයින්ට උගන්නන්න බෑ. හමුදාව දාලා ඕනි නම් ගුරුවරු බලෙන් ගෙන්නන්න පුළුවන්. ඒත් උගන්නන්න බෑ. ඒකට ගුරුවරයා ඇතුළේ හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕනි.

ඒක නිසා රටේ රාළ ඔය මහත්තුරුන්ට කියන්නේ ගුරුකම කියන්නේ කුඹුරු කොටනවා වගේ වැඩක් නෙවෙයි. ඒ උදාහරණය ගන්නේ ගොවියා බාල්දු කරන්න නං නෙවෙයි. අපේ රටේ ගුරුවරුන් අතර ඉස්කෝලේ ගිහින් ඇවිත් කුඹුරට බහින ගොවියෝ ගොඩක් ඉන්නවා.

මෙයාලට දැනෙන උදාහරණයක් ගත්තොත් ගුරුකම කියන්නේ හොදට කාලා පාර්ලිමේන්තුවේ නිදාගන්නවා වගේ වැඩක් නෙවෙයි. අපේ ඉතිහාසය පුරාම ගුරුවරු පින් බත් ගිල්ල ජාතියක් නෙවෙයි.

ඒක නිසා ජනාධිපතිතුමා වහාම මේ තග් පාට් එක ඉල්ලා අස්කරගෙන මෙයාලා ගැට ගහන්න ඕනි. ඊට පස්සේ ජනාධිපති මැදිහත් වෙලා ගුරුවරු එක්ක සාකච්ඡාවක් තියලා වැඩේ අවසන් කරන්න ඕනි. දැන් ප්‍රශ්නයට තියෙන්නේ එහෙම උත්තරයක්.

මතක තියාගන්න මේ රටේ ජනතාව සම්බන්ධව වැඩිම වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒක මේ ආණ්ඩුවට නිතර අමතක වෙනවා. මේ ප්‍රශ්නනෙදී ආණ්ඩුව නම්‍යශීලී වෙන්න ඕනි. සුබෝධනී කමිටු වාර්තාව මත පදනම් උන උත්තරයක් හදන්න ඕනි. ඒක සියට සීයක් සාධාරණයි.

එහෙම නැතිව ගුරුවරුන්ට ගහන්න දෙමව්පියෝ ෆෝම් කරන්න යන්න එපා. ගුරුවරුන්ට උස්සපු අත් ආපහු හැරිලා ඔයාලටත් ඉස්සෙන දවස වැඩි ඈතක නෙවෙයි.

දැන් දෙගොල්ලටම මැද තැනකට එන්න වෙලාව හරි. දැන් දෙගොල්ලොම තමන්ගේ ක්‍රියාකාරකම් හා වගකීම් ගැන හරි තක්සේරුවකට ඇවිත් තීරණයක් ගන්න ඕනි. කාටවත් මස් රාත්තලම ඉල්ලන්න අයිතීයක් නෑ.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....) 2021 - ඔක්තෝම්බර් 16