විමල් සහ ගම්මන්පිල : ගෝඨාව හයිජැක් කරලා !

විමල් සහ ගම්මන්පිල : ගෝඨාව හයිජැක් කරලා !

විමල් විරවංශ හා උදය ගම්මන්පිල යන පක්ෂ නායකයින් විසින් මේ වනවිට ගෝඨාබය රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරය තම අතට ගැනීමට සමත්ව ඇත.

ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කළ දිනයේ සිට පසුගියදා වනතෙක් ම බැසිල් රාජපක්ෂ විසින් ඔවුන් දෙදෙනාව මුලුමනින්ම කොන්කර තිබිණ.

එසේම, ගෝඨාබය රාජපක්ෂ සහභාගි වන රැස්වීම්වලදී අදහස් දක්වන පොදුජන පෙරමුණේ සහ අනෙකුත් පක්ෂවල කථිකයන් පොහොට්ටු මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලයේ උපදෙස් අනුව කතා පැවැත්විය යුතු බවට ද නියෝගයක් පනවා තිබිණ.

එයට විරෝධය පළකරමින් විමල්ගේ පක්ෂයේ නායකයකු වන වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරණය කැඳවන දිනය වෙනතෙක් හිදැස් පිරවීමට 'ඉවෙන්ට්ස්' තේරීම වෙනුවට ජනතාව පෙළගස්වන උපාය මාර්ගික ප්‍රවේශය තේරිය යුතු බවයි.

ඒ අනුව, බැසිල්ගේ නියෝග මුළුමනින්ම කඩාබිඳ දමමින් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් වෙනම රැස්වීම මාලාවක් රටපුරා සංවිධානය කිරීමට විමල් විරවංශ හා උදය ගම්මන්පිල සැලසුම් කර ඇත.

ඒ අනුව, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ 'පිවිතුරු හෙළ උරුමය' පසුගිය 01දා ගෝඨාබය රාජපක්ෂට සහය පළකිරීම සඳහා එම පක්ෂයේ විශේෂ මහා සමුළුවක් කැඳවා එහි ප්‍රධාන අමුත්තා ලෙස ගෝඨාබයට ආරාධනා කරනු ලැබිය.

‘උරුමයක උදාව’ තේමාව යටතේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩා පිටියේදී පැවැති එම සමුළුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් හා විද්වතුන් කළාකරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවී සිටියේය.

ගෝඨා විමල්ගේ වේදිකාවේ !

මේ අතර විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ එහි තුන්වැනි ජාතික මහා සමුළුව සැප්තැම්බර් 8 වැනි ඉරිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 2.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවන මෙම සමුළුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ආරාධනා කර තිබේ.

එම සමුළුව ජාතික නාලිකාවක් ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

ගෝඨාබය තනි පක්ෂයක අපේක්ෂයෙකු ලෙස පෙනී සිටීම වෙනුවට මහා ජාතික සන්ධානයකින් ඉදිරිපත් වන ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු බව විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න