එක පවුලක් තේ මේසයේ ගන්න තීන්දුවලින් රටේ ඉරණම තීරණය කරන්න දෙන්න බෑ - පාඨලී

එක පවුලක් තේ මේසයේ ගන්න තීන්දුවලින් රටේ ඉරණම තීරණය කරන්න දෙන්න බෑ - පාඨලී

‘පවුලක් විසින් උදෑසන තේ මේසයේදී රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතරයක් රටේ තීන්දු තීරණ ගැනීම, රටටත්, ජනතාවටත් අනාගතයට වැදගත් වෙයි.’ යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (01) කොළඹ නගරයේ බේරේ වැව ආශ‍්‍රිත සංවර්ධන කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘බේරේ කියන්නේ ලන්දේසි යුගයෙත්, බි‍්‍රතාන්‍ය යුගයේත් ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක්. දුම්රිය මාර්ග ආවට පසුව තේ, රබර්, එළවළු, පළතුරු ආනයනය කරන ස්ථානය අද වන විට බොහෝ දුරට අතහැර දමන ස්ථානයක් බවට පත්ව තිබෙනවා. අප ලෝක බැංකු ආධාරය යටතේ මේ පෙත්මග ඞී.ආර්. විජේවර්ධන මාවතට සමාන්තරව ඉදිකළා. ඒවගේම අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් මෙහි තිබූ කුණු රොඩු වගේම ගිලී තිබූ යකඩ, කොන්ක‍්‍රීට් ඉවත්කර සෑහෙන දුරට අවසන් කර තිබෙනවා. ලබන වසරේ මැද භාගය වන විට මුළු බේරේ පරිශ‍්‍රයම වැව අයින දිගේ මීටර් හයහමාරක වපසරියක මන්තීරුවක් ඉදිකරන්න කටයුතු කර තිබෙනවා. මුළු දුර කි.මි. 6 ක් පමණ තිබෙනවා. දැනට හතරහමාරක් පමණ ඉවර කර තිබෙනවා. තව කිලෝමීටර් එකහමාරයි තිබෙන්නේ. ඒ අනුව මුලූ බේරේ වැව වටේටම ගමන් කිරීමේ පහසුව ලබන වසරේදී ලැබෙනවා.

ඒ වගේම රජය විසින් දශ ලක්‍ෂ හයසියයක් ආයෝජනය කරනවා බේරේ වැව යටින් තිබෙන රොන්මඩ තට්ටුව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ජනාධිපති කාර්යාලය අසලින් මුහුදට යවන්න. ඒ සඳහා වැඩකටයුතුත් දැන් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම දැනට කොළඹ නගර සභාවේ ඇතැම් ස්ථානවලින් බේරේ වැවට මලාපවහන පද්ධති එවනවා. ඒවා අපි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඇරෙන්න මෙහි ජිවත් වූ අති විශාල පවුල් ප‍්‍රමාණයකට නිසි නිවාස ලබාදී ඉවත් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලික අංශයේ ඉඩම් සඳහා අපි සැලසුමක් ලබාදී තිබෙනවා සංවර්ධනය කරන්න. රජය, වරාය අධිකාරිය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් අපි පොදු සැලසුමක අනුව දියුණු කරනවා. ඒ වගේම බේරේ ඞී.ආර්. විජේවර්ධන මාවත පැත්තෙන් තිබෙන ප‍්‍රදේශය ලබන වසරේ ආරම්භ වෙනවා මැනිං වෙළෙඳපොල ඉවත් වීමත් සමග ප‍්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරන්න.

ඒ වගේම සංචාරක කර්මාන්තයත් දැන් හොඳින් දියුණු වෙමින් පවතිනවා. අප මෙහි බෝට්ටු සේවාව ආරම්භ කිරීමෙන් පසුව සති අන්තයේ දිනකට එක්දහස් පන්සියයක්, දෙදාහක් පමණ එම සේවාව ලබනවා. මේ විට විවිධ පක්ෂීන් මෙම ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ වගේම නැවතත් දැන් බේරේ වැවේ ධීවර කර්මාන්තය පටන් ගෙන තිබෙනවා. ඒ කියන්නෙ බේරේ වැවේ නැවත ඔක්සිජන් තිබෙනවා කියන එකයි. අපේ පිරිසිදු කිරීමේ කටයුතු 50% ක් අවසන් වන විටම හොඳ තත්වයක් ඇති වී තිබෙනවා. අපි ලේක් හවුස් එක යටින් යන පෙත්මගක් නිර්මාණය කර තිබෙනවා දුම්රිය ස්ථානයට මෙන්ම කාර්යාල සඳහා යාමට. අපගේ දෙවන පියවර මෙවැනි බෝට්ටු සේවයක් පාර්ලිමේන්තුව අසල සිට වැල්ලවත්ත දෙසට සහ මේ දෙසට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපට තිබෙන එකම බාධාව පාලම් කිහිපයක් තිබෙනවා ඒ නිසා මුල් වටයේදී අපට සිදුවන්නේ තරමක පහත බෝට්ටු කිහිපයක් යෙදවීමට පමණයි. පාලම් සකස් කළාට පසුව හොඳ ජලමාර්ග ප‍්‍රවාහන පද්ධතියක් ඇතිවෙයි.

ඒ වගේම අපි නාගලන්වීදිය සිට තිබෙන ශාන්ත සෙබස්තියන් ඇළ පොම්පාගාරයක් සාදා තිබෙනවා. එම පොම්පාගාරය මගින් ගංවතුර තත්වයක් ආවොත් මුහුදට යවන්නත්, වියලි කාලගුණයකදී කැළණි ගඟේ වතුර ගෙනවිත් මෙම ඇළ මාර්ගය පුරවන්නත් පුළුවන්.

මීට ප‍්‍රථම 1988 දී එක්සත් ජාතික පක්ෂයේ අර්බුධයක් තිබුණා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේදී, නමුත් පේ‍්‍රමදාස මහතා අවසානයේදී ඇවිත් ජයග‍්‍රහණය කළා. ඊළඟට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුධයක් තිබුණා චන්ද්‍රිකා ද, අනුරද? සිරිමද කියලා. කට්ටියක් එළියට ගියා. හැබැයි චන්ද්‍රිකා මැතිණිය ජයග‍්‍රහණය කළා. ඒ වගේම 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට අපේක්‍ෂකත්වය දෙයිද? නැද්ද? දුන්නත් කකුලෙන් අදියිද? ඇතුළේ ගැටුමක් තිබුණා. වැඩ කළේ නැහැ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා දිනුවා. ඒ වගේ අභ්‍යන්තර ගැටුම් ජයග‍්‍රාහී පැත්තට කි‍්‍රයාත්මක වෙනවා. මොනවා උනත් පවුලක් විසින් උදේ තේ පැන් සංග‍්‍රහයේදී එකතු වෙලා රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතර පිරිසක් රටේ තීන්දු තීරණය ගැනීම රටටත්, රටේ ජනතාවටත් අනාගතයේදී හොඳ වේ යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න