අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද(18) හයවන දිනටත් රැස්වීමට නියමිත අතර කාත්තන්කුඩි පොලීසියේ ස්ථනාධිපතිවරයා, හිටපු ස්ථානාධිපතිවරයා සහ සූපි මුස්ලිම්වරුන්ගේ නියෝජිතයන් පිරිසක් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
මේ අතර කාරක සභාවේ ක්‍රියාකාරීත්වයට බලපා ඇති විශේෂ කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සහ කාරක සභා සාමාජිකයින්, කතානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද අද නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම හමුව අද පෙරවරු 11.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
දැනට සේවයේ නිරතව ඇති බුද්ධි අංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රශ්න කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්ව මතුකර දක්වන ගැටළු සහ එමගින් ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එසේම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික සංඝරත්නය නියෝජනය කරන හිමිවරුන් පිරිසක් කතානායක කරූ ජයසූරිය හමුවීමට ද අද නියමිතව තිබේ. අද පෙරවරු 10.30ට මෙම හමුව යොදාගෙන ඇතැයි වැඩිදුරටත් වාරතා වේ.
කෙසේ වෙතත් අද පස්වරු 2.00ට තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව අතර සාක්ෂි විමසීම ද සිදුවේ.

