තමන් නැවක සුක්කානමක රැව රැගත් මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රැව රැගත් ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වැරදියට වටහා ගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වෙයි.
කොළොන්ගොඩ පුදලූගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත, සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.
නීතීඥ හරිනි ජයවර්ධන, නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ ගේ උපදෙස් මත මේ පෙත්සම ගොනුකර තිබේ.
ඒ අනුව අදාල පෙත්සමේ මෙසේ සදහන්ව තිබේ.
පෙත්සම්කරු එක් දරු මවකි.කලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය.
පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රැව නොව නැව් සුක්කානමක රැවකි.ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , ඊට වන්දි ලබා දෙන ලෙසද , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටියි.

