Language Switcher

V2025

චමල්ගේ කිල්ලොටයේත් අඩුවක් නැතිව හුණු !

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් වංචාව, දූෂණය, නාස්තිය ගැන වචනයක්වත් කතා නොකරන තරම් ය. එපමණක් නොව මහජන මුදල් කාබාසිනියා කරන ජනතා ද්‍රෝහීන්ට විරුද්ධව කි‍්‍රයා කරන ආයතන එකිනෙකට විරුද්ධව අවි අමෝරා අවසන් ය. මේ වන විට ද එවැනි ආයතන කීපයක් ම සමතලා කොට අවසන් ය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිදර්ශනයකට දැක්විය හැකි ය. දැන් මේ ආයතන බෝඩ් ලෑලි පමණි.

මේ තත්ත්වයට පත් කළ යුතු බව ඔවුන් හඳුනාගෙන තිබෙන (ඔවුන් යනු මෛත්‍රී, මහින්ද සහ රනිල් තුන්හවුල ය.) තවත් ප‍්‍රමුඛ ආයතනයක් තිබේ. ඒ කෝප් කමිටුව ය. මේ රටේ ජනතාවගේ ඇඟ කිලිපොලා යන තමට අතිශය බරපතළ මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳ තොරතුරු රැසක් කෝප් කමිටුව විසින් ගෙවී ගිය අවුරුදු හතර තුළ හෙළි කර තිබේ. ‘මහින්ද – රනිල් කෝටි 17,600ක් ගිලලා’ යනුවෙන් පෙබරවාරි මස 03 වැනිදා ‘ලංකා’ මුල් පිටුවෙන් හෙළි කළේ එවැනි එක් දෙයකි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන දෙකෙන් පමණක් පාලකයන් විසින් රුපියල් කෝටි 16,638ක් මහජන මුදල් ගිල දමා අවසන් බව එයින් හෙළි කෙරිණි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධ කෝප් කමිටු හෙළි කිරීමක් නිසා වහා ගිනි ඇවිළෙන තත්ත්වයට පත් වී තිබිණි. හිටපු කතානායක චමල් රාජපක්‍ෂගේ අවධියේ දී කතානායක නිල නිවසේ දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස් වී ඇති බව හෙළි කිරීමත් සමඟ එම තත්ත්වය ඇති විය. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කළේ එම සමාගමට එයාර් බස් 08ක් මිල දී ගැනීමේ සාකච්ඡුාවක් එහි පවත්වන ලද බවයි. එම හෙළි කිරීම හඳුන්නෙත්ති සභාපතිවරයා අංජනම් එළි බලා කරන ලද්දක් නොව විගණකාධිපතිවරයාගේ හෙළි කිරීම් තුළින් උපුටා ගන්නා ලද්දකි.

මේ හමුවේ වෙන කවරදාකවත් නොවූ ආකාරයට පරල වූ චමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා බොහෝ දේ කී ය. පරල වීමට බරපතළ හේතුවක් තිබේ. රාජපක්‍ෂලාගේ ‘මිස්ටර් ක්ලීන්’ වීමට ඉන්නේ චමල් බැවින් ය. මිස්ටර් ක්ලීන් ලෙස මී ළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු වීමට බලා සිටීමේ ඉලක්කයට මරු පහරක් මේ මඟින් එල්ල වන නිසා ය. මොනවා හෝ උත්තරයක් පාර්ලිමේන්තුවේ දී තමන්ගේ ජනමාධ්‍යවලින් ප‍්‍රචාරය කිරීමට සැලැස්වීම සඳහා ඔහු ක්‍රියා කළේ ය. අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගන්නා ලද මූල්‍ය තීරණ මොනවා දැයි හෙළි කරන ලෙසත්, එසේ ගත් මූල්‍ය තීරණ මඟින් වංචා, දූෂණ සිදු කර ඇති බවට ඔප්පු කළහොත්, තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බවත් කී ය.

සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයා කරන ලද්දේ විගණකාධිපති උපුටා දැක්වීම පමණි. එම උපුටා දැක්වීමේ අඩංගු වන්නේ මොනවා දැයි හොඳින් ම තේරුම්ගෙන අදාළ වාර්තාවේ නොමැති දෙයක් දක්වන ලෙසට අභියෝග කර ඔප්පු කළහොත්, ඉල්ලා අස් වන බව කීම කදි ම රඟපෑමක් ය. චමල් එය සෑහෙන තරම් සාර්ථක මට්ටමකින් කළේ ය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් 08ක් මිල දී ගැනීමේ සාකච්ඡාවක් එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කතානායක නිල නිවසේ පැවැත්වීම ම කෙතරම් බරපතළ ද යන්න කාටත් නොවැටහිය නොහැකි ය.

මෙහි තවත් විශේෂත්වයක් තිබේ. එය නම්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එවකට සභාපති, චමල් රාජපක්‍ෂගේ මස්සිනා වීම ය. ඒ මහින්ද රාජපක්‍ෂගේ බිරිඳගේ සහෝදරයා වන නිශාන්ත වික‍්‍රමසිංහ ය. පාර්ලිමේන්තුවේ දී ම ඔහු පිළිබඳව හෙළි වී තිබුණේ, සාමාන්‍ය පෙළවත් සමත් නොවූ සභාපතිවරයකු ලෙස ය. ‘ජාතික ගුවන් සේවය’ යනුවෙන් හැඳින් වූ ගුවන් සමාගමක ලොක්කා වීමට තිබූ එක ම සුදුසුකම වතු වැවිලිකරුවකු ලෙස සිටීම ය. තේ වතු, රබර් වතු බලාකියා ගත් අයෙක් ජාතික ගුවන් සමාගමේ සභාපති වී කතානායක නිල නිවෙසෙහි අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට තරම් බලවත් වී සිටියේ ය.

එයාර් බස් අටක් මිල දී ගැනීමේ ඩොලර් මිිලියන සිය ගණනක ගනුදෙනුවක් සම්බන්ධ සාකච්ඡා කිරීමට කතානායක නිල නිවස තෝරාගෙන තිබීම ම ආශ්චර්යයක් ය. මේ ආශ්චර්යය නිර්මාණය වී ඇත්තේ, මුදල් ඇමති ලෙස කතානායකගේ ජනාධිපති මල්ලී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම පාදක කරගෙන ය. 2013 මාර්තු 27 වැනිදා එම කැබිනට් පත්‍රිකාව මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා වූ සභාපතිට අවශ්‍ය ආකාරයට මේ ගනුදෙනුවේ දී කටයුතු කිරීමේ පූර්ණ බලය ද අදාළ කැබිනට් පත‍්‍රිකාවෙන් ලබා දී තිබිණි.

“ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ස්වාධීන අධ්‍යක්‍ෂ මණ්ඩලයක් යටතේ පාලනය වන සමාගම් පනත යටතේ ස්ථාපනය කරන ලද පොදු සමාගමක් වන අතර, ගුවන් යානා ඇණිය ප‍්‍රතිස්ථාපනය කිරීම මීට ප‍්‍රථම ගුවන් යානා ඇණිය ප‍්‍රතිස්ථාපනය කළ පරිදි සිදුකිරීම සභාපති ප‍්‍රධාන විධායක නිලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වගකීමක් බව නිරීක්‍ෂණය කරමි.” නිශාන්ත මස්සිනාට බලය පැවරී ඇත්තේ, මෙසේ ය. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අදාළ තීරණ ගැනීමේ සාකච්ඡා කතානායක හෙවත් මහින්ද රාජපක්‍ෂගේ අයියාගේ නිල නිවසට ඇවිදගෙන ගොස් ඇත්තේ ද මස්සිනාලා එක් වීමෙන් ය.

මෙම සාකච්ඡාවල දී අවසන් තීරණය ගෙන ඇත්තේ, එයාර් බස් අටක් මිල දී ගැනීමට ය. මුල් ම කැබිනට් පත්‍රිකාවෙන් (2013/03/02) යෝජනා වී ඇත්තේ, එම බස් 06ක් මිල දී ගැනීමට ය. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 80ක් වැය කිරීමට ය. පසුව තීරණ වෙනස් වී ගුවන් යානා 08ක් මිල දී ගැනීමේ පෙර සූදානම වෙනුවෙන් ගිවිසුම් අත්සන් තැබී ය.

හොඳ ම හරිය එළියට එන්නේ එහි දී ය. 2015 ජනවාරි 08 වැනි දින ආණ්ඩු බලය රාජපක්‍ෂ පවුල් පාලනයෙන් මෛත්‍රී – රනිල් හවුල් පාලනයට මාරු කෙරිණි. ගුවන් යානා මිල දී ගැනීමේ ගිවිසුම වංචා, දූෂණවලින් පිරී ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බරපතළ පාඩු ගෙන දෙන බව මුල පටන් ම හෙළි වී තිබිණි. හවුල් පාලනය යටතේ එම මිල දී ගැනීමේ ක්‍රියාවලිය අවලංගු කිරීමට තීරණය විය. නිකම් ම නොවේ. මිල දී ගැනීමේ ගිවිසුමක් අත්සන් කර තිබූ බැවින්, වන්දි ගෙවා මෙම ගිවිසුමෙන් ඉවත් වීමේ කොන්දේසිය පිට ය. රනිල් – මෛත්‍රී හවුල් පාලනයේ අවකෙළි එළියට එන්නේ එයිනි.

මෙහි දී මුලින් ම මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමති ඉදිරිපත් කරන ලද 2013 මාර්තු 27 දිනැති කැබිනට් සන්දේශය පිළිබඳ වගකීමට ඔහු අත්සන් තබා ඇත. නමුත්, මේ සන්දේශයට කැබිනට් අනුමැතිය ලබා දී නැත. එලෙස වූ එයාර් බස් 08ක් මිල දී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට රාජ්‍ය ව්‍යවසාය ඇමති ලෙස කබීර් හෂීම් ද, මුදල් ඇමතිව සිටි රවි කරුණානායක ද මූලික වී යෝජනා කර ඇත්තේ, ඩොලර් මිලියන 115ක වන්දියක් ගෙවීමට ය. ඒ ද ගුවන් යානා තුනක් මිල දී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා ය. මෙම වන්දි ගෙවීම ඩොලර් මිලියන 115 සිට 98ක් දක්වා අඩු කර ගැනීමට හැකි වීමේ ජයග‍්‍රහණයක් ද එයින් කියැවේ.

කෙසේ වෙතත්, මේ මහා වංචාව සඳහා යොදා තිබෙන ගැට එසේ මෙසේ ඒවා නොවේ. හරියට බැඳුම්කර කොල්ලය සේ ම ය. කෝප් කමිටුව ද තවමත් හරිහැටි අලගිය මුලගිය තැන් සොයාගෙන එකපෙළට සියල්ල අනුපිළිවෙළින් පෙළගස්වා නැති බව පෙනේ. මෙය පැහැදිලි වන්නේ ගුවන් යානා 04ක් මිල දී ගැනීම සඳහා අත්සන් කර තිබූ ගිවිසුම අවසන් කිරීමෙන් ය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 16,924.36ක් වන්දි ගෙවා ඇත්තේ, 2012 අගෝස්තු මස 15 වැනි දින දී ය. මුදල් ඇමති රවි කරුණානායක යටතේ ය. අදාළ මුදල අනුමත කර ගැනීමට කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ ම වන්දිය ගෙවීමෙන් පසුව බව කෝප් කමිටුව සොයාගෙන ඇත.

“එම අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව මඟින් මෙම කි‍්‍රයාව සෘජුව අනුමත කර නොමැති අතර, එමඟින් ඉදිරිපත් කර ඇත්තේ, එවකට මුදල් ඇමතිවරයාගේ නිරීක්‍ෂණ පමණක්” යැයි කෝප් කමිටුව හෙළි කර තිබේ. මුදල් ඇමතිගේ නිරීක්‍ෂණ ඇතුළත් අදාළ 2012 අගෝස්තු මස 15 වැනි දිනැති සන්දේශයට මුදල් ඇමති අත්සන් කර හෝ තිබී නැත. එහෙත්, මේ රටේ මහජන මුදල් රුපියල් මිලියන 16,924ක් විදේශීය සමාගමකට වන්දි ලෙස ගෙවා තිබේ. මේ රටේ මහජන මුදල් උන්ගේ අම්මා, අප්පාගේ බූදලය සේ විනාශ කරන ආකාරය කෙබඳු ද යන්න මෙයින් පැහැදිලි ය. අදාළ කොල්ලයත් හෙළි වන විට ‘ඩේසි ආච්චිගේ මැණික් මල්ල’ සේ සොරා ගත් බඩු ආපසු භාර දී බේරී යන හැටි මෛත්‍රී, මහින්ද, රනිල් තුන්හවුල ම ඉතා හොඳින් ප‍්‍රගුණ කර ඇත්තේ ද හවුලේ ම ය.

එයාර් බස් මගඩිය කොතරම් සැලැසුම් කරන ලද්දක් ද යන්න පැහැදිලි වන්නේ මේ යානා මිල දී ගැනීමට ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි දඩයක් ගෙවීමෙන් ය. කතානායක නිල නිවසේ සාකච්ඡා කිරීම තුළ තිබෙන ප‍්‍රබලතාව මෙය විය හැකි ය. ජනාධිපති නිල නිවස වූ අරලියගහ මන්දිරය සාකච්ඡා සඳහා නොගැනීම පුදුමයක් ය. නමුත්. ඒ හා සමාන දේවල් සිදු නොකරන්නේ ද නොවේ. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ අධිවේගී මාර්ග ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ඉක්මවා අති විශාල මුදලකට කොන්ත‍්‍රාත් ලබා දෙන්නේ ඉහළ ම අනුහස්වලින් ය. ඇස්තමේන්තු මුදලට වඩා රුපියල් කෝටි 3,921ක් වැඩිපුර කොන්ත‍්‍රාත් දී ඇත්තේ ද මෛත්‍රී, මහින්ද, රනිල් තුන්හවුලේ අවබෝධය පිට ම ය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මඟින් 2017 ජූලි 01 දින සිට 2017 සැප්තැම්බර් 30 වැනි දින දක්වා කරන ලද විමර්ශන වාර්තාව මඟින් මේ කරුණු හෙළි වේ. එය 2019 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය. ඉන් රාජ්‍ය ආයතන 17ක් පිළිබඳව විමර්ශන ඉදිරිපත් කර තිබේ. මේ අතුරින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විශේෂිත වන්නේ අතිවිශාල මුදල් කොල්ලයක් කර ඇති නිසා ය. මාර්ග සංවර්ධන අධිකාරිය දිගට ම අතිවිශාල කොල්ලයක් කිරීමේ පසුබිමක තිබෙන නිසා ය. ශ්‍රී ලන්කන් සමාගමේ කෙරුමෝ 190 දෙනෙක් මසකට රුපියල් ලක්‍ෂ 10 ඉක්ම වූ පඩි ගන්නා අය වෙති. මේ අයගේ අධ්‍යාපන සුදුසුකම්, වයස් සීමාවන් හා පැවරී ඇති කාර්යභාරයන් පිළිබඳව කෝප් කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර තිබුණ ද, කෝප් කමිටු වාර්තාව සකස් කරන තුරු එය ලබා දී නැත.

පවතින්නේ මේ තත්ත්වය නම්, තව දුරටත් නිහඬව මේ පාතාල කොල්ලයන්ට ඉඩ දී නිහඬ වන්නේ ද යන්න ජනතාව තීරණය කළ යුතු ය.

(ලංකා ඉරිදා සංග්‍රහය)