Image

ජාත්‍යන්තර කළු පැල්ලම් මැකීම පහසු නෑ - පාඨලී

ජාත්‍යන්තර කළු පැල්ලම් මැකීම පහසු නෑ - පාඨලී

ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ ජාත්‍යන්තර කළු පැල්ලමෙන් අඩපණවූ සංවර්ධන ව්‍යාපෘති කෙසේ හෝ පණගන්වන්නට කැපවෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කල අතර පසුගිය ඔක්තොම්බර් 26 සිදු වූ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයට දින පනස් ගණනකට පසුව නැවත වතාවක් නිල වශයෙන් බස්නාහිර හා මහානගර අමාත්‍යාංශය මෙහෙයවන්නට ලැබීම ගැන සතුටු වන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඇති වූ කුමන්ත‍්‍රණකාරී වාතාවරණය නිසා අන්තර්ජාතිකව අපේ රටට ඇති වූ කැළල නිසා විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දුන් අමාත්‍යාංශයක් අපේ අමාත්‍යාංශය. මොකද අපේ රටට, අපේ ජනතාවට විශාල වශයෙන් බලපාන අපේ අමාත්‍යාංශය යෝජනා කර තිබූ ව්‍යාපෘති ගණනාවකටම කුමන්ත‍්‍රණය හරහා බරපතල හානියක් වුණා. පසුගිය නොවැම්බර් 22 වෙනිදා අපි පළවෙනි දුමරිය මාර්ගය පිළිබඳව අපේ ණය ගිවිසුම අත්සන් කරන්න තිබුණා ජපානය සමග ඩොලර් මිලියන1400 ක. එය 0.1% පොළියට අපි ලබා ගත්තේ.

ඒ වගේම අපි පෙන්වා දී තිබෙනවා එහි පූර්ව ශක්‍යතා අධ්‍යනයෙන් ඒ වියදම් කළ මුදල් වසර 14 කින් පසුව නැවත උපයා ගැනීමේ හැකියාවක් තිබෙන බව. ඒ අනුව මෙරට ජනතාව ණය බරට ලක් කරපු අධිවේගී මාර්ග නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල් වගේ නෙමෙයි මේ රටේ ප‍්‍රවාහන පද්ධතියේ 1860 න් පසුව ඇති කරන ලද ප‍්‍රධානම විප්ලවය අපේ මේ සැහැල්ලූ දුම්රිය පද්ධති ක්‍රියාදාමය.

ඒ වගේ ව්‍යාපෘතියක් කිරීම ඉතාම අමාරුයි. උදාහරණයක් ගත්තොත් අපේ පවතින දුම්රිය පද්ධතිය පොල්ගහවෙල ඉඳන් ද්විත්ව දුම්රිය මාර්ගයක් කරන්න අවුරුදු 15 ක් තිස්සේ තවම බැරි උනා. ඒ වගේම අපි සඳහන් කළ යුතුයි අධිවේගී මාර්ග කියන කාරණාව ගත්තාම, විශේෂයෙන්ම කටුනායක අධිවේගී මාර්ගය1968 පටන් ගන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය 1991 පටන් අරන් තිබෙන්නේ දශක ගණන් ගත වුණා ඒ ව්‍යාපෘති කරන්න. නමුත් අපෙ කණ්ඩායමේ තිබූ සාර්ථකත්වය නිසා අපි වසර තුනක් ඇතුළත ශක්‍යතා අධ්‍යන, ණය කොන්දේසි සහ අනෙකුත් කරුණු සියල්ලම අරගෙන මේ ණය අත්සන් කරන්න, ලබන වසරේ වැඩ ආරම්භ කරන්න හිටියේ. අපි ඉතාම කනගාටු වෙනවා මේ රටේ ප‍්‍රවාහන පද්ධතියේ ඉදිරි ගමන සඳහා තිබූ එම දියුණුව ඇනහිටීම ගැන. නමුත් අපි උපරිම උත්සාහ කරනවා එය ලබන වසරේවත් එම කටයුතු නැවත ආරම්භ කරන්න. මොකද එය තාවකාලිකව නතර කර තිබෙන බව අපට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අපි අපේ ජනතාවගේ ජීවිත පහසු කරන්න තව දුම්රිය මාර්ග 4 ක් සඳහා පුද්ලික අංශයේ ආයෝජන බලාපොරොත්තුව හිටියේ.

නගර ගණනාවක සංවර්ධන කටයුතු අඩපණ වුණා !

ඒ වගේම අපි බත්තරමුල් බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය, පිටකොටුවේ චාමර්ස් ගැන්රි ඉඩම ආදී දේ සඳහා විශාල ආයෝජන මෙරටට ගේන්න කටයුතු කරලා තිබුණේ. නමුත් ඒ සියල්ලම මෙයත් සමග ඇන හිටි බව කිව යුතුයි. ඒ වගේම අපි ආරම්භ කළ අලූත් අදහසක් වූ බස් ප‍්‍රමුඛතා මංතීරු ඒකත් සමග හොඳ බස් සේවයක් අපේ ජනතාවට ලබාදෙන්න අපි බලාපොරොත්තු උනා. ත‍්‍රීවීල් එකේ, මෝටර් රථයෙන්, මෝටර් සයිකලයෙන් පාරේ වාහන තදබදයෙන් දුක් විඳින අපේ ජනතාවට සේවයක් කිරීම සඳහා එම බස්රථ නවීකරණය කිරීම සහසර වැඩපිළිවෙල, ඒ සඳහා අපට ඇමරිකා එක්සත් ජනපදයෙන් නොමිලේ ප‍්‍රදානයක් හැටියට කිසිම ණය බරකින් තොරව අපි ඩොලර් මිලියන 70ක පමණ ආදායමක් ලැබෙන්න තිබුණා. රටටම ඩොලර් මිලියන 480 ක් මහාමාර්ග සහ ඉඩම් ක්‍ෂෙත‍්‍රවලට ලැබෙන්න නියමිතව තිබුණා. එය මෙම දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ගිවිසුම් ගතවෙන්න තිබුණේ. එයත් අපට මේ සමගම අහිමි උනා. ඒ වගේම දඹුල්ල, කුරුණෑගල, රත්නපුර ආදී නගර ගණනාවක් ගොඩනගන්න අපි යුරෝපා ආධාර බලාපොරොත්තු උනා. ඒ සම්බන්ධයෙනුත් අපට බාධා ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශයට සැලකිය යුතු ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙන් සිදුවෙලා තිබෙනවා මෙ කුමන්ත‍්‍රණකාරී වටපිටාව සමග. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒවා කෙසේ හෝ ජයගෙන ඉදිරි මාස කිහිපය ඇතුළත එම ව්‍යාපෘති නැවත පණ ගන්වලා ඉදිරියට ගෙනයන්න. කෙසේ වෙතත් මෙරට යුක්ති සහගත ජනතාවගේ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාවගේ සුවිශේෂී ජයග‍්‍රහණයක් මේ කුමන්ත‍්‍රණය ආපසු හැරවීමෙන් සිදු වුණේ. ඒ සටනට ශක්තියක් වුණු ජනතාවට අපි අද අපේ ප‍්‍රණාමය පිරිනමනවා.

ශ්‍රීලනිපයේ සහය ආණ්ඩුවට ලැබෙනවා !

විශේෂයෙන්ම යුක්තිය ඉටු කිරීම සඳහා නොබියව ඉදිරිපත් වූ අධිකරණයට අපේ ප‍්‍රණාමය පිරිනමණවා. ඒ වගේම මුදලට විකිනෙන්නේ නැතිව තමන්ගේ ආත්ම ගරුත්වය රැකගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටත් අපේ ගෞරව ප‍්‍රණාමය පිරිනැමෙනවා. ඉදිරියේ යම් යම් දුෂ්කරතා ඇති වූනත් අද සම්මත වන අතුරු සම්මත ගිණුමත් සමග ඉදිරි මාස 4 සඳහා අපි කටයුතු කරන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එළඹෙන සිංහල අවුරුද්දට පෙර නව අයවැයක් ඉදිරිපත්කර එළඹෙන2019 වසරේ කටයුතු කරගෙන යන්න රජය බලාපොරොත්තු වෙනවා. රජය ඉතාමත්ම ස්ථාවරයි. අපට සහයෝගය දීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා ඇමතිකම් ලබා නොදුන්නත් අපිට පාර්ලිමේන්තුව තුළ සහය ලබාදෙන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තර`ග කළ වෙනත් පක්ෂවල තවත් මන්ත‍්‍රීවරු ගණනාවක් ඉදිරි කාලයේ අපේ කටයුතු කරගෙන යාමට සහයෝගය ලබාදීමට සිටිනවා. ඒ අනුව ස්ථාවර පාලනයක් කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අපේ වැඩකටයුතුත් කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා දුෂ්කරතා මධ්‍යයේ.

මෙහිදී අපි පෙන්වා දුන්නා මෙරට ධන බලයට, පදවි බලයට ආණ්ඩු මාරු කළ යුගය අවසන් බව. ඒ වගේම ජනාධිපතිවරයෙකුගේ විධායක බලය අත්තනෝමතිකව පාවිච්චි කර රටක් ගෙනයාමට මෙරට සාමකාමී යුක්තිගරුක ජනතාව ඉඩ ලබා නොදෙන බව. ඒ සියල්ලම මෙහිදී මනාව ඔප්පු උනා ඒ නිසා අපි හිතනවා ඉදිරිකාලයේදීත් බිහිවෙන ඕනෙම පාලකයෙකුට මේ සිදුවීම ඉතා වැදගත් අත්දැකීමක් බව මේ කාරණයේදී අපේ ජනතාව පෙන්වාපු ශක්තිය. ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ රටේ ඇති වූ එක`ගතාවය සියළුම ජන කණ්ඩායම් අතරේ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව අතරේ සියලූම ආගමික කණ්ඩායම් අතරේ බෞද්ධ, හින්දු, මුස්ලිම්, කිතුනු ආගමික කණ්ඩායම් අතරේ පන්ති බේදයකින් තොරව, කුල - මල භේදයකින් තොරව ඇති වූ එකගතාවය, අපි අපේ අභිමානය වෙනුවෙන් කටයුතු කරන්න ඕනෙයි කියන පණිවිඩයටත් ඉතා වැදගත්.

ඒකාධිපති ආකාරයට හැසිරුණොත් ජනතාව නැගිටියි !

මොකද දේශපාලනඥයෝ හිතාගෙන ඉන්නවා කෑම - බීම දුන්නහාම, ඒ වගේම නිවාස, වාහන ලබාදීලා මිනිසුන් තමන්ගේ පැත්තට ඕන විදිහකට නතු කර ගන්න පුළුවන් කියලා. කුමන්ත‍්‍රණයක් කරලා තෙල් මිල අඩු කළහම මිනිස්සු අත්පුඩි ගසයි තමන්ගේ පැත්තට එයි කියලා. නමුත් මිනිසුන් කියන්නේ කෑමට- බීමට, යාන - වාහන වලට, ඉඳුම් - හිටුම්වලට නෙවෙයි තමන්ටම කියල ස්වයං අභිමානයක් තිබෙන පිරිසක්. එම ස්වයං අභිමානයට තමයි මේ අත තිබ්බේ. ඒ නිසා එම ජනතාව තෙල් මිල අඩු කිරීම්වලින්, බදු සහනවලින් රැවටිලා මුලාවේ වැටුනේ නැහැ. ශක්තිමත්ව එක් බැම්මකින් තමන්ගේ අබිමානය රැක ගැනීම සඳහා පක්ෂ භේදවලින් තොරව එකතු වූ එම සියළු දෙනාමට අපේ ප‍්‍රණාමය පිරිනමනවා. හැම දෙනාම මතක තබා ගත යුතු දෙයක් තමයි ජනතාවගේ ස්වයං අභිමානයට අභියෝග කරන්න, ආඩම්බරකාරී විදිහට, අත්තනෝමතික අයුරින්, ඒකාධිපති විදිහට කටයුතු කළහොත් එයට එරෙහිව අනිවාර්යයෙන්ම ජනතාව නැගී සිටින බව. ඒකට අපේ රටේ පසුගිය දින පනහ ඇතුලත ඇති වූ ක්‍රියාදාමය ඉතා වැදගත් වෙන රටක නම් මෙවැනි ක්‍රියාදාමයක් කෙළවර වෙන්නේ ලේ වැගිරීම් වලින්, විශාල ප‍්‍රශ්නවලට රට ගමන් කරලා. කුමන්ත‍්‍රණකරුවන්ගේ මැර කණ්ඩායම්වල පහරදීම්, රාජ්‍ය ආයතන අත්පත් කරගැනීම් ආදී දේවල් හමුවේ, ඔවුන් මිරිස්කුඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රටට ගෙනා පසුබිමක, ඒ සියල්ල හමුවේ ඉතා ඉවසිලිවන්තව මෙම තත්වයට මුහුණ දීම ගැන අපේ ජනතාවටත්, සමාජයටත් විශේෂයෙන්ම ස්වාධීනව කටයුතු කළ අපේ ආරක්‍ෂක අංශවලටත් අපේ ගෞරවය පිරිනමනවා.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න