Language Switcher

V2025

මහින්ද චීන සමාගමකින් තවත් මිලියන 100ක් අරගෙන : විස්තරේ මෙන්න 

2015 ජනාධිපතිවරණය වෙනුවෙන් රාජපක්ෂලාට ලැබුණු තවත් රුපියල් මිලියන 100ක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

China Harbour Engineering Company වෙතින් එම මුදල් ලබා දී ඇති අතර එම ගණුදෙනුව සිදුව ඇත්තේ Standard Charted හරහාය. කොළඹ කොටුව යෝර්ක් විදියේ පිහිටි Standard Charted බැංකුවේ ශාඛාවෙන් මුදල් කර ගැනීම සඳහා මිලියන 25 බැගින් වූ චෙක් පත් 4ක් China Harbour Engineering Company වෙතින් රාජපක්ෂලා වෙත ලබා දි තිබේ.

රුපියල් මිලියන 25ක එක චෙක් පතක් 2015 ජනවාරි 06 වැනි දින නිකුත් කර ඇති අතර ජනවාරි 07 වැනි දිනට තවත් රුපියල් මිලියන 25ක චෙක් පත් තුනක් ලබා දී තිබේ.

පසුගිය 26 වැනිදා ඇමරිකාවේ "ද නිව්යෝර්ක් ටයිම්ස් " පුවත් පත ආනාවරණ කර තිබූ පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් China Harbour සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක් ලබා දී තිබුණි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ වෙතද චීනයට සම්බන්ධ සමාගමකින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ලබා දී ඇති බවද අනාවරණ විය. කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම (CICT) විසින් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් (150,000) හෙවත් රුපියල් 19,410,000 ක මුදලක් බැසිල් රාජප්කෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ වෙත ලබා දුන් බව එම සමාගම විසින්ම තහවුරු කර තිබුණි. චීනයේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති සමාගමට උක්ත සමාගම අයත් අතර එය සෘජුවම චීන පාලනයේ පවත්නා සමාගමකි.

මේ ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේ රාජපක්ෂ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් චීනය රාජපක්ෂවරුන් වෙත අත දිග හැර මුදල විසිකර තිබේ.

මේ අනුව රාජපක්ෂ පාලනය චීනය සමඟ පැවති සබඳතාවල සැබෑ අරමුණු මෙම මුදල් හුවමාරු මඟින් පැහැදිලිව හෙළිදරව් වෙමින් ඇත.

එමෙන්ම මේ වන විට 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රාජපක්ෂවරු අතර ගොඩනැගෙමින් තිබෙන එදිරිවාදිකම් තුළ තවත් බොහෝ ගණුදෙනු ගැන ඉදිරියේදී හෙළිදරව් වනු ඇති අතර රාජපක්ෂවරුන්ගේ මෙවැනි දූෂිත ගණුදෙනු පිළිබඳ ඉදිරියටත් තොරතුරු බලාපොරොත්තු වන්න.

(LNW)