“රාජ්‍යයේ සරණ යන ආගමක් පූජනීය වන්නේ කෙසේද?” සුමන්දිරන්

“රාජ්‍යයේ සරණ යන ආගමක් පූජනීය වන්නේ කෙසේද?” සුමන්දිරන්

එක් ආගමකට රාජ්‍ය ආරක්ෂාව සලසා දීම මගින් අනිකුත් ආගම් පහත් කොට සැලකීමක් සිදුවන බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට නැවතත් ප්‍රමුඛස්ථානය ලබා දීමට විරෝධය පල කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සති අන්තයේ උතුරේ පැවති තරුණ සමුළුවක් අමතමින් ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් මණ්ඩලයේ කළමනාකරණ කමිටු සාමාජික එම් ඒ සුමන්දිරන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සැකසීමේදීම තමන්ගේ විරෝධය පළකරන ලද බවයි.

මහජන අදහස් ගොනුකරගැනීමෙන් අනතුරුව වසරකට වැඩි කලක් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සභාගත කෙරුනේ සැප්තැම්බරයේය.

මිත්‍රත්වය සහ ප්‍රේමය වෙනුවෙන් වූ සංගමය (AFRIEL) විසින් වව්නියාවේ පවත්වන ලද සමුළුවට සහභාගි වූ තරුණ තරුණියන් අමතමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සියලුම ආගම් අන් සියල්ලටම වඩා උසස් වන බවයි.

“බුද්ධාගමට රාජ්‍යයේ සරණ අවශ්‍ය වන්නේ නම්, එය පූජනීය වන්නේ කෙසේදැ?” යි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා විමසා සිටියේය.

“ඒ හින්දා මගේ ආගමට රාජ්‍යයේ ආරක්ෂාව ලබා දෙන්න කියා මම කිසි දවසක ඉල්ලා සිටින්නේ නෑ.”

ලෝකයේ අන් සැම දේටම වඩා ආගම් උත්තරීතර හෙයින් ඊට කිසිවකුගේ ආරක්ෂාව අවශ්‍ය නැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 ranil at buddhist stupaථෙරවාදය රැකීම:

 කෙසේවෙතත් ජනපති අගමැති දෙපලම ශපත කොට ඇත්තේ වර්තමාන ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් නොකෙරෙන බවටයි.

විශේෂයෙන්ම, බුද්ධාගමේ එක පාර්ශවයක් වන ථෙරවාදය රක්ෂා කිරීමත්, ප්‍රචාරය කිරීමත් රජයේ වගකීමක් බව අගමැතිවරයා සංඝයා වහන්සේ හමුවේ මේ සති අන්තයේත් සහතික කර සිටියේය.

“ ථෙරවාදී බුදු දහම මේ රටේ වර්ධනය කිරීම රජයක් ලෙස අපේ යුතුකම වෙනවා.” යි අගමැති රනිල් වික්‍රමසිංහ පන්නිපිටිය, පැලැන්වත්ත, සත්බුදු විහාරයේ ඉදිකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහ සෑය විවෘත කරමින් ප්‍රකාශ කළේය.

“එමෙන්ම බුදු දහම අදහන අනෙක් රටවල් සමග එකතු වෙමින් ථෙරවාදී බුදු දහම යුරෝපය, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද අප කටයුතු කළ යුතුයි.”

සැමට සමතැන දෙන බව කියාපාන ව්‍යවස්ථාවක එක් ආගමකට මුල්තැන දීම “මුළුමනින්ම පරස්පර විරෝධී” බව එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා මීට වසරකට ඉහතදී 'රේඩියෝ ගගන' සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනි.

කෙසේ වෙතත්, පවත්නා ව්‍යවස්ථාවේ කිසියම් ප්‍රතිසංස්කරණයක් කරන්නේ නම් එය බෞද්ධ භික්ෂුන් වහන්සේගේ අනුමැතියෙන් තොරව සිදු නොකරන්නට මීට මාස පහකට ඉහතදී ඉහල පෙලේ සඟ මඬුල්ලක් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වූයේය.

 (radiogagana)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න