රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ අදාළ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේ දී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ තම සේවාදායකයා ගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.
සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහි දි දැන්වුයේ ය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් දිලීප පිරිස් වැඩිදුරටත් දන්වා සිටියේ ය.
මෙහි අනෙක් සැකකරු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටියේ ය.
මෙම නඩුව ලබන ජූලි 08 තෙක් කල් තැබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
