Image

"2048 වෙනකම් හදන්න බෑ කිව්ව රට අපි පරිවර්තනීය වෙනසකට ලක් කළා" - අමාත්‍ය විජිත හේරත්

"2048 වෙනකම් හදන්න බෑ කිව්ව රට අපි පරිවර්තනීය වෙනසකට ලක් කළා" - අමාත්‍ය විජිත හේරත්

බංකොලොත්භාවයට පත්ව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කාලයක් තුළ ස්ථාවර කරමින්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නව රජය සුවිශේෂී පියවර රැසක් ගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

2048 වන තෙක්වත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට ප්‍රකාශකර තිබූ පසුබිමක, 2024 අවසානයේ රට භාරගත් නව රජය කෙටි කාලයකින් ආර්ථිකයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.

2024 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් නිදහස් වූ බව ලෝකය පිළිගත් බවත්, අද වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ද්විපාර්ශ්වික ණය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) සම්බන්ධ ක්‍රියාවලීන් 95%ක් අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ හරහා ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගුන අතර, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වීය ආයතන මෙන්ම ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව සහ රුසියාව වැනි රටවලින් සහනදායී ණය සහ ප්‍රදාන ලබා ගැනීමට හැකි වී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

 

රාජ්‍ය ආයතන ලාභ ලැබීම සහ බදු ආදායම ඉහළ යාම

ආර්ථිකයේ සිදු වූ වෙනස පිළිබිඹු කරමින්, පාඩු ලබමින් පැවති රාජ්‍ය ආයතන 51ක 2025 වසරේ පළමු මාස අටේ ලාභය රුපියල් බිලියන 307ක් වූ අතර, 2026 වසරේ එම කාලය තුළ එය රුපියල් බිලියන 367 දක්වා ඉහළ නංවා ගැනීමට රජය සමත් වී ඇත. එමෙන්ම, 2025 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදු ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 3,275 ඉක්මවා රුපියල් බිලියන 4,252ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය මූල්‍ය විනය, විනිවිදභාවය, පරිපාලන හා කළමනාකරණ වෙනස්කම් සහ නාස්තිකාර වියදම් අවම කිරීම මෙම ප්‍රගතියට හේතු වී තිබේ.

 

සංචාරක බදු ඉවත් කිරීම සහ විදෙස් ප්‍රේෂණ වර්ධනය

රාජ්‍ය ආදායම ශක්තිමත් කරන අතරම ජනතාවට සහන සැලසීමද රජයේ ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, සංචාරක සංවර්ධන බද්ද (TDL) මුළුමනින්ම ඉවත් කිරීම මඟින් සංචාරක ක්ෂේත්‍රයේ ද්විත්ව බදු බර ඉවත් කර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අවස්ථා විවෘත කර ඇති බව සඳහන් කළේය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක වාර්තාගත මට්ටමකට ළඟා වූ අතර, 2026 වසරේදී එය ඩොලර් බිලියන 9කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

 

වැටුප් වැඩි කිරීම් සහ ජනතාවට ලබාදුන් සහන

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය වැඩි කිරීම, ගොවීන්ට හා ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබාදීම, විදේශගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම සහ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී කලත්‍රයාට හා දරුවන්ට අදාළ ගාස්තු නිදහස් කිරීමද රජය ගත් පියවර අතර වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. දේශපාලන අධිකාරියට හිමිව තිබූ වරප්‍රසාද අඩු කරමින් එම ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.

 

මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීම

බංකොලොත්භාවයෙන් මිදුණු රට වසර දෙකක් තුළ ලෝක බැංකුව විසින් මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පිළිගන්නා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත්, ආදායම් බෙදීයාමේ විෂමතාව අවම කිරීම සඳහා අස්වැසුම ඇතුළු සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

GSP+ සහනය දීර්ඝ වීම සහ නව නීති ප්‍රතිසංස්කරණ

එමෙන්ම, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය 2028 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ගැනීම රටේ අපනයන ආර්ථිකයට වැදගත් ජයග්‍රහණයක් බව සඳහන් කළ ඔහු, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ඒමටද රජය කටයුතු කරන බව පැවසීය.

 

අඩු ආදායම්ලාභීන්ට නව නිවාස 2,700ක්

ආර්ථික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම තහවුරු කරමින්, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රට පුරා නව නිවාස 2,700ක් ඉදිකර විවෘත කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ණය නොගෙන රජයේ ප්‍රතිපාදන වලින් අධිවේගී මාර්ග

තවදුරටත් ණය මත යැපීම වෙනුවට රජයේම භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්, රුවන්පුර, කුරුණෑගල–දඹුල්ල සහ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති ඉදිරියට ගෙන යන අතර කඩවත–මීරිගම මාර්ගයේ ඉදිකිරීම්ද යළි ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය. දේශීය ඉදිකිරීම් සමාගම් සහ කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කරගැනීමෙන් එම සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දේශීය ආර්ථිකයට සහ ග්‍රාමීය ජනතාවට ලබාදීම රජයේ අරමුණ බවද අවධාරණය කළේය.

අභ්‍යන්තර හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ වුවද, මූල්‍ය විනය සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පදනම්ව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, සාධනීය විවේචන පිළිගනිමින් මෙම පරිවර්තනීය ගමන සාර්ථක කර ගැනීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න