Image

"MCA දීමනාව 9% කින් කප්පාදු කරලා; JVP වෘත්තීය සමිති නායකයින්ගේ කොඳු කඩලා" - විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයෙන් හෙළිදරව්වක්

"MCA දීමනාව 9% කින් කප්පාදු කරලා; JVP වෘත්තීය සමිති නායකයින්ගේ කොඳු කඩලා" - විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයෙන් හෙළිදරව්වක්

විශ්ව විද්‍යාලවල අනධ්‍යන සේවකයන්ට ගෙවනු ලබන පැමිණීමේ හිලවු දීමනාව (MCA)45% සිට 36% දක්වා 9% කින් රජය විසින් කප්පාදු කර ඇති බව විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයේ ලේකම් පී.පී. නිශාන්ත පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී.පී. නිශාන්ත මෙසේද කියා සිටියේය:

“45% ව තිබුණ පැමිණිමේ හිලව් දීමනාව (MCA) අද 36% දක්වා, 9% කින් කප්පාදු කරලා. අපි එක්ක ඒ දීමනාව 75% කරන්න කියලා සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයෝ අද අසරණ වෙලා. ඒ වෘත්තීය සිමිති නායකයින්ගේ කොඳු කඩලා. කටවල් වහලා.” 

රාජ්‍ය ආයතනවල සේවකයන්ට නිවාඩු දිනවල සේවය කිරීමේදීත්, අමතර රාජකාරි සිදුකිරීමේදීත් ගෙවනු ලබන විශේෂ දීමනාවක් ලෙස මෙම "නිවාඩු හිලව් දීමනාව" (MCA) ක්‍රියාත්මක වේ.

2024 මැයි මස 02 දා සිට පුරා දින 75 ක කාලයක් හිලව් දීමනාව (MCA) 75% කින් වැඩි කරන ලෙස ඉල්ලා සියළුම විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති එදා විරෝධතාවල නිරත වූ බවත්, එහෙත් 2024 සැප්තැම්බරයේ බලයට පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව එදා තමන්ට හිමිව තිබූ 45% එම දීමනාව පවා අද කපා දමා එය 36% මට්ටමට පත්කර ඇති බවත්, විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයේ ලේකම් පී.පී. නිශාන්ත මහතා අද (18) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළා.

“අපේ අයිතිවාසිකම් දිනා ගන්න අපි හැම ආණ්ඩුවක් එක්කම හැප්පුනා. එදා අරගලවලට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සක්‍රිය ලෙස දායක වුණා. ඒත් අද ඒ වෘත්තීය සමිතිවල නායකයින් පේන්නවත් නෑ. මාලිමා ආණ්ඩුව බලයට ඇවිත් 2024 ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් 2017 සිට ලබාදුන්න හිලව් දීමනාව 9%න් කප්පාදු කළා. අපි මේ අසාධාරණ කප්පාදුව ගැන හරිනි අමරසූරිය අගමැතිවරිය එක්ක සාකච්ඡා කළා. එදා ඇයත් කිව්වා මෙතැන යම් වරදක් සිදුව තිබෙන බව. ඒත් 2024 සිට අද දක්වාම මේ ගැටලුවට විසඳුමක් දෙන්න ආණ්ඩුව කටයුතු කරල නෑ. දැන් මේ ආණ්ඩුවේ තුන්වෙනි අයවැය. ඒ වගේම විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ලබාදෙන හිඟහිටි දීමනාවත් මේ ආණ්ඩුව කපලා දැම්මා. පැරණි හා නව විෂය නිර්දේශ යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සාධාරණයක් කරන්න 2012 වසරේදී විශ්වවිද්‍යාලවලට බඳවාගන්න සිසුන් ගණන දෙගුණයකින් වැඩි කළා. ඒක ක්‍රියාත්මක වුණේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව. ඒ අනුව විශ්වවිද්‍යාලවල අධ්‍යන, අනධ්‍යයන සියළු කාර්ය මණ්ඩලවලට දෙගුණයකින් සේවාවන් වැඩි කරන්නත් සිද්ධ වුනා. ඒ වෙනුවෙන් තමයි 20%ක් වූ හිඟහිටි දීමනාවක් අපට හිමිවුණේ. නමුත් වර්තමාන ආණ්ඩුව 2024 අතුරු අයවැයෙන්ම ඒකත් කපා දැම්මා. ඒ වගේම තමයි සරසවිවල අනධ්‍යන සේවකයින්ට තිබුණ අතිකාල දීමනාවත් භාගයකින් අඩු කළා. අපේ දීමනා ප්‍රතිශතයක් විදිහට 29% කින් මේ ආණ්ඩුව කපලා දාලා”

රටේ පවතින උද්ධමනය හමුවේ අද වනවිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද ඔහු අවධාරණය කළා. මෙලෙස සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම අර්බුදයකට සහ පරිපාලනමය වශයෙන් කඩාවැටෙමින් ඇති මොහොතක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කිසිදු අවධානයක් යොමු නොකරමින් කාලය කා දමමින් සිටින බවටද විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයේ ලේකම් පී.පී. නිශාන්ත චෝදනා කළේය.

“සරසවි පද්ධයේ කිසිදු ගැටලුවකට විසඳුම් නෑ. අධ්‍යන, අනධ්‍යන ගැටළු, බඳවාගැනීම්, මාරු කිරීම්, උසස්වීම් කිසිවක් සිද්ධ වෙන්නේ නෑ. විද්‍යාගාර, නේවාසිකාගාර, ක්‍රීඩා වගේ යටිතල පහසුකම් ගැන කිසිම සොයා බැලීමක් නෑ. විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන මානව සහ භෞතික ගැටළු කිසිවකට විසඳුම් නෑ. අපිට තියෙන ප්‍රශ්ණය තමයි විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවුණ, මේ විශ්වවිද්‍යාල පද්ධතියෙම සේවක කරලා අගමැතිවරිය වෙච්ච හරිනි අමරසූරිය මහත්මිය, මේ කිසිම දෙයක් ගැන වගේ, වගක් නැතුව ඉන්න එක.”

විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයේ ලේකම්වරයා කියා සිටියේ, අඩුම වශයෙන් අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රතිපාදන ටික හෝ හරියාකාරව වියදම් කරමින් මෙම ගැටළු විසඳීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පවා අග්‍රාමාත්‍යවරිය අපොහොසත් වී ඇති බවයි.

2024 අතුරු අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ රුපියල් බිලියන 63.5 න් රුපියල් බිලියන 20.3 ක් යළි ප්‍රයෝජනයට නොගෙන මුදල් අමාත්‍යාංශයට හරවා යවා ඇති බවත්, 2025 වසරේ වෙන් කළ රු බිලියන 619න් වසර අවසාන වනවිට අධ්‍යාපන සංවර්ධනයට වියදම් කර තිබුණේ, 69% ක් පමණක් බවත් ඔහු අවධාරණය කළා.

සමගි වෘත්තීය සමිතියේ ලේකම්වරයා කියා සිටියේ, මෙලෙස තම අමාත්‍යාංශයට වෙන් කරන මුදල හෝ ඵලදායී ලෙස කළමණාකරනය කිරීමට නොහැකි අග්‍රාමාත්‍යවරිය ගමේ මරණාධාර සමිතියක සභාපතිධූරයකට හෝ සුදුසු නොවන අයෙකු බවයි.

මෙම කටයුතු රජයේම කූඨ ව්‍යාපෘති වියහැකි බවටද ඔහු අනතුරු අඟවා සිටියා.

“ වසරකට වෙන් කරන මුදල් ටික වැයකරලා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු විසඳන්නේ නැත්තේ ඇයි ? මේක යට පැහැදිලි අරමුණක් තිබෙනවා. ඒ තමයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අරාජික කිරීම. මේ පද්ධතිය කඩාවැට්ටවීම හරහා වාර්ෂිකව බඳවා ගන්න සිසුන් සංඛ්‍යාවත් අඩුකරන පුලුවන්. පහසුකම් අඩුයි කියලා ශිෂ්‍ය සංඛ්‍යාව සහ අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩල අඩු කරන්නත් පුළුවන්. ඒ හරහා මේ රටේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමේ වරම් අහුලාලන්න පුළුවන්. මේ කරන්නේ විදේශ විශ්වවිද්‍යාලවල ඒජන්තකරුවන්ට අපේ රටේ දරුවන්ගේ පවුල්වල මුළු සේසතම මිට මොලවල දෙන කුමන්ත්‍රණයක් ද? ජනාධිපති විශ්වවිද්‍යාල 50ක් හදන්න රට වටේ ගිහින් පච කියද්දී අපි කියන්නේ පුළුවන්නම් මේ රටේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල 19 තවදුරටත් සංවර්ධනය කරලා දරුවෝ ප්‍රමාණය වැඩි කරලා. මේ රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කියලා.”

විශ්වවිද්‍යාල සමගි සේවක සංගමයේ ලේකම් පී.පී. නිශාන්ත මහතා අවධාරණය කළේ, මාලිමා රජයේ සේවක අයිතිවාසිකම් කප්පාදුවට සහ සරසවිවල ගැටළු දිග්ගැස්සීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න