රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA) මගින් මෙරට මාධ්ය නිදහස, ගවේෂණාත්මක මාධ්යකරණය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය බරපතළ අනතුරකට ලක් කර ඇති බව ‘අයිතිය උදෙසා මාධ්යවේදියෝ’ සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මුවාවෙන් ප්රජාතන්ත්රවාදී අයිතීන් අහුරා දමන මෙම පනත් කෙටුම්පත් වහාම සංශෝධනය කරන ලෙසයි.
ප්රකාශනයට පත් කර ඇති මාධ්ය නිවේදනයට අනුව, මෙම නව නීති හරහා මාධ්යවේදීන්ට එල්ල වන ප්රධාන තර්ජන කිහිපයකි:
මාධ්යවේදීන්ට අපරාධ චෝදනා එල්ල වීම: PSTA පනතේ 3, 9 සහ 10 වගන්ති යටතේ ත්රස්තවාදය පිළිබඳ අපැහැදිලි හා පුළුල් නිර්වචන මගින්, රජයේ දූෂණ හෙළි කරන මාධ්යවේදීන්ට සහ විරෝධතා වාර්තාකරුවන්ට එරෙහිව බරපතළ අපරාධ චෝදනා එල්ල කිරීමේ අවදානමක් මතු කර ඇත.
මූලාශ්ර රහස්යභාවය සහ ඩිජිටල් පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම: POCA පනතේ 28, 44 සහ 45 වගන්ති හරහා අධිකරණ අධීක්ෂණයකින් තොරව මාධ්යවේදීන්ගේ ඩිජිටල් දත්ත ලබාගැනීමට සහ සන්නිවේදනවලට සවන් දීමට පොලිසියට බලය පැවරීමෙන්, ගවේෂණාත්මක මාධ්ය මූලාශ්ර දැඩි අවදානමකට ලක් වේ.
මාධ්ය කණ්ඩායම් 'සංවිධානාත්මක අපරාධ කල්ලි' බවට පත් කිරීම: POCA පනතේ 3 සහ 66 වගන්තිවලට අනුව, වාර්තාකරුවන් හෝ කැමරා ශිල්පීන් තිදෙනෙකු එක්ව කරන රාජකාරියක් පවා සංවිධානාත්මක අපරාධයක් ලෙස අර්ථකථනය කර රැඳවුම් නියෝග නිකුත් කිරීමට ඉඩ සලසා තිබේ.
වරෙන්තු රහිත සෝදිසි කිරීම් සහ උපකරණ අත්පත් කර ගැනීම: PSTA පනත යටතේ කිසිදු අධිකරණ වරෙන්තුවකින් තොරව මාධ්යවේදීන් සෝදිසි කිරීමට සහ ඔවුන්ගේ උපකරණ පැහැර ගැනීමට ආරක්ෂක අංශවලට පුළුල් බලතල ලබා දී ඇත.
විධායක රැඳවුම් නියෝග, අනිවාර්ය රිමාන්ඩ් කිරීම සහ පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඇති විධිවිධාන හරහා සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ද උල්ලංඝනය වන බව අදාළ නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව, මූලික අයිතිවාසිකම්වලට තර්ජනයක් වන සියලු විධිවිධාන ඉවත් කර, ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූල වන පරිදි මෙම නීති ප්රතිසංස්කරණය කළ යුතු බව ‘අයිතිය උදෙසා මාධ්යවේදියෝ’ සංවිධානය අවධාරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
