Image

සෑම ආගමකටම හා ජන වර්ගයකටම සමානව සලකන සංවේදී රාජ්‍ය නායකයෙක් රටට අවශ්‍යයි – සජිත් ප්‍රේමදාස

සෑම ආගමකටම හා ජන වර්ගයකටම සමානව සලකන සංවේදී රාජ්‍ය නායකයෙක් රටට අවශ්‍යයි – සජිත් ප්‍රේමදාස

මේ රටට අවශ්‍ය සංවේදී නායකයකු බවත් සෑම ආගමකටම, ධර්මයකටම, සංස්කෘතියකටම, ජනවර්ගයකටම, සෑම තරාතිරමකටම එක හා සමානව සලකන සංවේදී රාජ්‍ය නායකයෙක් අවශ්‍ය බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ආසනයේ සමගි වනිතා බලවේගයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එමෙන්ම අධිරාජ්‍යවාදී යුගයේ සිට පැවත එන නීතිරීති යුගයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතු බවත්, ආගමික නායකයන්ගේ ඇඳුමට හෝ ගෞරවයට හානියක් නොවන පරිදි නව නීති පද්ධතියක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන ලබා දී ඇති අතරම, සෙසු සියලු ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ට අයත් ජනතාවට තමන් විශ්වාස කරන ආගම ඇදහීමේ අයිතිය තහවුරු කර ඇති බවයි. එමෙන්ම එම ආගම් හා සංස්කෘතීන් සුරක්ෂිත කිරීම ද සමස්ත සමාජයේම වගකීමක් බව ඔහු පැවසීය.

ආගමික නායකයන්ට සහ චීවරයට ගරු කළ යුතුයි

ආගමික නායකයන් සමඟ වාද නොකළ යුතු අතර සෑම විටම චීවරයට සහ ආගමික ගෞරවයට හිස නැමිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීම හෝ පැළඳවීම අදාළ නිකායට හෝ සංඝ සභාවට අයත් කාර්යයක් මිස ගිහියන්ට අයිති රාජකාරියක් නොවන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

පවත්නා ආන්දෝලනාත්මක තත්ත්වයන් හමුවේ කමිටු පත් කරමින් සති දෙකක් කල් මරනවා වෙනුවට, රටට බලපාන මෙවැනි සංවේදී කරුණු පිළිබඳව රජය අද හෙටම තීන්දු තීරණ ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

අධිකරණ තීන්දුවලට ගරු කරනවා

තමා කිසිවිටෙකත් ගරු අධිකරණය ලබා දෙන තීන්දු තීරණ ප්‍රශ්න නොකරන බවත්, මෙහිදී මතුව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ නිර්මාණය වූ තත්වය තුළ බුදුදහමට සිදු වූ නිග්‍රහය සහ අපහාසය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එම සිදුවීම මෙන්ම සිදුවූ වරද හමුවේ රජය කල්මැරීම ද බරපතළ වරදක් බව විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ හැසිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

රජයේ මෙම ක්‍රියාකලාපය නිසා සමාජය විවිධ පාර්ශ්වවලට බෙදී වෙන්වීම තුළින් රටේ එකමුතුකමට සහ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට මුල් තැන දෙමින් සෙසු සියලු ආගම් හා ජාතීන් සුරකින සංවේදී ජාතික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සමගි වනිතා බලවේගයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රොහිණී කවිරත්න සමගි ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක සේනක දමයන්ත ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න