රටක සැබෑම ආයෝජනය පවතින්නේ ඉදිකරන ගොඩනැගිලි තුළ නොව දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය තුළ බවත්, පරිසරයට ආදරය කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ විශාලතම නා වනය පිහිටි ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
වනවාසී රාහුල හිමියන්ගේ කැපවීමට රජයේ ගෞරවය
අභිමානවත් ඉතිහාසයක්, අපූර්ව ජෛව විවිධත්වයක්, සංචාරක ආකර්ෂණයක් සහ ඉහළ අධ්‍යාපනික වටිනාකමක් සහිත ජාතික නාමල් උයන අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමට මුළු ජීවිතයම කැප කළ පූජ්‍ය වනවාසී රාහුල නායක හාමුදුරුවන්ටත්, උන්වහන්සේගේ ඒ උදාර වෑයමට ශක්තියක් වූ සැමටත් රජයේ ගෞරවය පිරිනමන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාරිසරික නීති
විභාගවලට පමණක් සීමා නොවී, පරිසරයට ආදරය කරන පූර්ණ පෞරුෂයකින් හෙබි දරුවෙකු බිහි කිරීම වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බව අගමැතිනිය අවධාරණය කළාය.
තවද, පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙන ඇති ප්‍රායෝගික පියවර පිළිබඳව අදහස් දැක්වූ ඇය:
වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම තවදුරටත් දැඩි කළ බවත්,
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරන පුද්ගලයින්ට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පැනවීමට නීති සම්මත කළ බවත්, ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන්නන්ට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමට පියවර ගත් බවත් සඳහන් කළාය.
මීට අමතරව, ක්‍රියාත්මක කළ භූගත ජලය ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළ නිසා නාමල් උයන ආශ්‍රිත ජනතාවට නොමිලේ පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ භාග්‍යය උදාවී ඇති බවද ඇය පැවසුවාය.
ගල්කිරියාගම රෝහල සහ ආඩියාගල පාසල සංවර්ධනය කිරීමට පියවර
මෙම උත්සවයේදී අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහල සංවර්ධනය කිරීම සහ ආඩියාගල පාසල සංවර්ධනය කිරීම යන ඉල්ලීම් දෙක අග්‍රාමාත්‍යතුමිය හමුවේ ඉදිරිපත් කළා.
එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ:
ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහල සංවර්ධනය කර, ඉදිරි බඳවා ගැනීම් හරහා එහි පවතින පුරප්පාඩු ලබා දීමට කටයුතු කරන බවයි.
2027 අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංවර්ධනය කරන පාසල් අතරට ආඩියාගල පාසලද ඇතුළත් කර ඉදිරියේදී එය සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත්ය.
මෙම සංවත්සර උත්සව අවස්ථාව සඳහා පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක, ප්‍රාදේශීය සභා සභාපති G.K. බණ්ඩාර ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කොරියානු නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
