Image

ඤාණසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළව මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට විශේෂ ලිපියක්

ඤාණසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළව මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල හා විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා අධිකරණමය ක්‍රියාදාමයන්ට කිසිදු පාර්ශ්වයකින් බාධා නොවිය යුතු බව උන්වහන්සේලාගේ ස්ථාවරය බව සඳහන් කරමින්,

මහනායක හිමිවරුන් මෙම ලිපිය මගින් අවධාරණය කරන්නේ භික්ෂුවකගේ පැවිදි භාවය අහෝසි කිරීම හෝ චීවරය ඉවත් කිරීම යනු හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන අතර එය ගරුතර මහා සංඝ රත්නයට අයත් වූ ශාසනික කර්තව්‍යයක් වන බවයි.

අදාළ ලිපියේ දක්වා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:

අධිකරණය මගින් වරදකරු කරන ලද යම් භික්ෂුවකගේ භික්ෂූත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් එකී භික්ෂුව අයත් වන නිකාය පාර්ශ්වයේ නිර්දේශ හා නියමයන් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බව මහනායක හිමිවරුන්ගේ විශ්වාසය බව මෙම ලිපියේ දැක්වේ.

එමෙන්ම බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියට අනුව වරදකරු වූ අයෙකු උසාවියට ඉදිරිපත් කිරීමේදී වරදකරු වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමකින් ඉදිරිපත් කළ යුතුය යන්න දැක්වෙන බවද භික්ෂුවක් සම්බන්ධයෙන් "වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම" වන්නේ චීවරය විනා ගිහි ඇඳුමක් නොවන බව මහානායක හිමිවරු පෙන්වා දෙති.

තවද එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17 (3) රීතියට අනුව ද සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන විට පෞද්ගලික/සාමාන්‍ය ඇඳුම් ඇඳීමට අවසර දිය යුතුය යන්න වන රීතිය ශ්‍රී ලංකා බන්ධනාගාරය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව උන්වහන්සේලාගේ විශ්වාසය වන බවද එම ලිපියේ දැක්වේ.

ඒ අනුව ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මඟින් කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක බන්ධනාගාර පරිපාලනය මඟින් එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමට හේතු වන අතරම බෞද්ධ සම්ප්‍රදායට සිදුවන බලවත් හානියක් බව එම ලිපියේ සඳහන්.

"එබැවින්, ගරු අධිකරණ තීන්දුවට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින්, ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිරයන් බන්ධනාගාරය තුළ රැඳී සිටින කාල සීමාව තුළ භික්ෂූත්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීමට අවකාශය සලසා දෙන ලෙසත් ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව භික්ෂු භාවයෙන් (චීවරධාරීව ) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දීම සුදුසු බවත් ලිපියේ සඳහන් වේ.

මෙම ලිපිය සඳහා මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්හි අතිපූජ්‍ය මහානායක හිමිවරුන් අත්සන් තබා ඇති අතර, එහි පිටපතක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ද යොමු කර ඇත.

අදාළ ලිපිය පහතින්,

 

letterwi

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න