වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (07) මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාර දෙන ලදී.
මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු වූ අතර, අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ චුදිතයන් 9 දෙනා ඇප මත මුදා හරින ලෙසයි.
ඒ අනුව, එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප හතරක් සහ රුපියල් ලක්ෂ දෙකහමාරක (250,000) මුදල් ඇප නියම කෙරිණි. ශරීර ඇපකරුවන් අතුරින් දෙදෙනෙකු පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවටද කොන්දේසියක් පනවන ලදී. මුදල් ඇප ගෙවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස විත්තිවාදී නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය ඒ සඳහා පසුව දිනයක් ලබා දීමට පියවර ගත්තේය.
සිද්ධියට අදාළ පසුබිම
2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අයත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබිණි.
වැලිගම හෝටලයට වෙඩි තබා පලායමින් සිටියදී ව්‍යාජ අංක සවිකළ එම වෑන් රථය නතර කරන ලෙස වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් අණ කළද, එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වැලිගම පොලීසිය සමඟ කැබ් රථයේ රාජකාරියේ සිටි හමුදා නිලධාරියකු විසින් සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා ඇත. එහිදී වෑන් රථයේ සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගොස් තිබිණි.
2025 පෙබරවාරි 28 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කිරීමට මාතර එවකට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එම මුල් අටදෙනා වන්නේ දේශබන්දු තෙන්නකෝන්, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, පොලිස් සැරයන් ප්‍රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන් සහ රියදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයයි.
ඔවුන් සමඟ මෙහෙයුමට ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණි.
පසුව එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාද අධිකරණයට භාරවීමෙන් මෙම විමර්ශනයේ නවවැනි සැකකරු බවට නම් කෙරුණි.
අද දින ඒ නව දෙනා හට අධිචෝදනා භාර දෙනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
