මාධ්‍ය සාකච්ඡාවකදී මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අපහාසයක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය විසින් ස්ථීර කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) දන්වා සිටියේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් සිරදඬුවමට එරෙහිව ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනය නිෂ්ප්‍රභ කර ඇති බවත්, අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට මහාධිකරණය මැදිහත් වීමට අවශ්‍ය නොවන බවත් අදාළ තීන්දුවේ සඳහන් කර තිබේ. මහාධිකරණ තීන්දුව කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා අද අධිකරණයේදී මේ බව දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් 2025 ජනවාරි 09 වන දින සැකකාර හිමිනමට මාස 9ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 1,500ක දඩ මුදලක් නියම කර තිබිණි.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ ප්‍රකාශ කළේ, එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති බවයි.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම අභියාචනය සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් නඩුව ලබන පෙබරවාරි 25 වන දින යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.
පෙර නඩු දිනයේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබූ අතර, අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ විවෘත අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
