වසර 18කට ආසන්න කාලයක් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ “නෙළුම් විලෙන් පැන” ගීතය සම්බන්ධයෙන් ගායන ශිල්පී දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව ලබාගෙන තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය මහාධිකරණ විනිසුරු අමාලි රණවිර නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම ගීතය දේශීය හෝ විදේශීය ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් දුෂ්‍යන්ත් වීරමන්ට සීමා පැනවීමට හරිත රවිහංස් වැටකේපොත විසින් ලබාගෙන තිබූ වාරණ නියෝගය මෙලෙස ඉවත් කර ඇති අතර, ඔහු ඉල්ලා තිබූ අතුරු තහනම් සහනය සම්බන්ධ ඉල්ලීමද 2026 සැප්තැම්බර් 25 වැනිදා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ගාස්තුවලටද යටත්වය.
මෙම අධිකරණ තීන්දුවත් සමඟ, “නෙළුම් විලෙන් පැන” ගීතය දුෂ්‍යන්ත් වීරමන්ගේ හඬින් යළිත් ප්‍රසංග වේදිකාවල සජීවීව ගායනා කිරීමට පැවති නීතිමය බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත.
දුෂ්‍යන්ත් වීරමන්ගේ පාර්ශ්වය පෙන්වා දුන් කරුණු,
2007 වසරේ සිට දුෂ්‍යන්ත් වීරමන් විසින් ගායනා කර ඇති මෙම ගීතය රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, වීරමන් පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ ගීතයේ ගායන ශිල්පියා මෙන්ම සම-නිෂ්පාදකයකු ලෙසද තමන්ට ඒ සම්බන්ධ අයිතිවාසිකම් පවතින බවයි.
එමෙන්ම, වසර ගණනාවක් පුරා ගීතය ප්‍රසිද්ධියේ ගායනා කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ වාණිජමය වශයෙන් භාවිත කිරීම කිසිදු බාධාවකින් තොරව සිදුව ඇති බවද එම පාර්ශ්වය පෙන්වා දී තිබෙනවා.
මෙවැනි දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුව ගීතයේ අයිතිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද කලා ක්ෂේත්‍රය තුළද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
අධිකරණය විසින් සලකා බැලූ කරුණු
දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව ඉල්ලා තිබූ අතුරු තහනම් සහනය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී, අධිකරණය විසින් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන් වෙනවා.
ඒ අතරින් සහනය ඉල්ලා අධිකරණයට පැමිණීමේ දීර්ඝ ප්‍රමාදය, සිදුවිය හැකි හානියකට මූල්‍ය වන්දි මඟින් සහනයක් ලබාදීමට ඇති හැකියාව, සහ නඩුවට අදාළ වැදගත් කරුණු අධිකරණය හමුවේ සම්පූර්ණයෙන් අනාවරණය කර තිබේද යන්න පිළිබඳ කරුණු ප්‍රධාන වේ.
ඒ අනුව, මෙම නඩු අදියරේදී දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව පනවා තිබූ සීමාව ඉවත් කිරීමට මඟ පෑදී තිබෙනවා.
මෙය අවසන් තීන්දුවක් නොවේ
කෙසේ වෙතත්, මෙම නියෝගය “නෙළුම් විලෙන් පැන” ගීතයේ ප්‍රකාශන අයිතිය හෝ අවසන් හිමිකාරිත්වය පිළිබඳ අවසන් තීන්දුවක් නොවන බව අවධාරණය කළ යුතුය.
ගීතයේ ප්‍රකාශන අයිතිය හා ඒ ආශ්‍රිත හිමිකම් සම්බන්ධයෙන් පවතින මූලික නඩුව තවදුරටත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බැවින්, එහි අවසන් තීන්දුව අනුව ගීතයට අදාළ නීතිමය හිමිකම් පිළිබඳ තත්ත්වය තීරණය වනු ඇත.
දුෂ්‍යන්ත් වීරමන් වෙනුවෙන් දිලිනි ජයසූරිය ගේ උපදෙස් මත දිලුමි ද අල්විස් සහ නෙතිදි ලංකේශ්වර පෙනී සිටියා.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිකා පාර්ට්නර්ස් හි උපදෙස් මත සඳුන් සේනාධිපති සහ නුවන් ගොඩගේ පෙනී සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
