Image

“අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි”

“අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි”

අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ, සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

වේල්ස් කුමර හා කුමරි විද්‍යාලවල 150 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන්, අද(14) දින මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේදී පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියාය.

1876 වසරේ දී චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුන්ගේ සංකල්පයකට අනුව මොරටුව ප්‍රදේශය ආශ්‍රිතව මෙම විද්‍යාල ද්විත්වය ඉදිකර ඇති අතර අද වන විට අධ්‍යාපන, ක්‍රීඩා හා විෂය සමගාමී ක්ෂේත්‍රවලින් ඉහළ ප්‍රගතියක් අත් කරගෙන ඇත.

එම විද්‍යාලවල 150 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් සැකසූ සමරු මුද්දරය, මුල් දින කවරය සහ සමරු කලාපය අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනැමීම ද මේ අවස්ථාවේදී සිදු විය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය,

අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ පවතින සමාජය තේරුම් ගෙන, සමාජය ගුණාත්මක මගකට හැරවීම සඳහා නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමයි. ඒ භාරදූර්ය කර්තව්‍ය වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් යන මේ පරිවර්තනීය මොහොතේ මෙවැනි පාසල්වලට සුවිශේෂී වූ කර්තව්‍යයක් ඉටුකිරීමට සිදුවෙනවා.

අපි රජයක් හැටියට ප්‍රමුඛත්වය දීලා තියෙන්නෙ මානව සම්පත් දියුණු කරන්න. ඒ ගමනේදී අධ්‍යාපනයට අප සුවිශේෂී අවධානයක් දීලා තියෙනවා. අප ක්‍රමානුකූලව අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල අයවැයෙන් අයවැයට වැඩි කරමින් යනවා. නමුත් එම ක්‍රියාවලිය නිදහස් අධ්‍යාපනය නිර්මාණය කිරීමේදී පැවති දර්ශනයේ අඩංගු සියලුම සංකල්පයන් ආවරණය වන ආකාරයෙන් සිදුකළ යුතුයි. එම අරමුණු කරා යාමට අවශ්‍ය කරන සහය ඔබ සැමගෙන්ම ලැබේවියැයි අප අපේක්ෂා කරනවා.

මෙම අවස්ථාව සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් යන මහත්වරුන් සහ වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති කපිතාන් වසන්ත කුමාර වඩුගේ මහතා සහ වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පති තිළිණි විජේවීර මහත්මිය ඇතුළු නිලධාරින්,ආදි සිසුන්, දෙමාපියන් සහ සිසුන් පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න