පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් ඊයේ විත්ති කූඩවේ සිට තම විත්ති වාචක ඉදිරිපත් කිරීම ආරම්භ කළහ.
ඒ අනුව අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රහීම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවී ඊයේ දින විත්ති කූඩුවේ සිටිමින් පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්තිවාචක ඉදිරිපත් කළේ ය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන අය ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ විභාගය පැවැත්වේ.
මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම් ඉකුත් සතියේ අවසන් කළ අතර ඉන් අනතුරුව විත්තිකරුවන් ගේ විත්තිවාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම ඊයේ දින සිට ආරම්භ කිරීමට අධිකරණය නියම කර තිබුණා. ඒ අනුව මෙම නඩුවේ ප්‍රථම විත්තිකරු වන නවුෆර් මවුලවී විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින්
සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා
" ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙලමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙලමින් තමා කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් චෝදනා 940 ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා." යනුවෙන් සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිය දී මට පහර දුන්නා
වැඩිදුරටත් සිය විත්ති වාචකය ඉදිරිපත් කළ විත්තිකරු" පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින සවස කැකුණගොල්ලේ සිට කාත්තන්කුඩියේ පිහිටි තම බිරිඳ ගේ නිවසට පිටව යමින් සිටි අවස්ථාවේ දී දඹුල්ලේ දී පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගත්තා. ඉන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාර දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව වසර එකහමාරක් පමණ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශ ගණනාවක් සටහන් කරගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නේ අමුතුම ආකාරයකට. මුලින් ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛනවලට අත්සන් ලබාගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිය දී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මම ඒ පිළිබඳව පැමිණිලි කළා. මගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගත් පාපොච්චාරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි. එය මා විසින් ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් නෙවෙයි. එම පාපොච්චාරණය සඳහන් මුහම්මදු නව්ෆර් යන මගේ නම හැර අන් සියල්ලම අසත්‍ය කරුණු. එම පාපොච්චාරණය සටහන් කරගත් බව කියන විජිත පෙරේරා නමැති නිලධාරියා මා දන්නේවත් නැහැ. අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට සහාය පළ කරමින් මා මුහුණු පොතේ පළකිරීම සිදු කර තිබූ බව කර තිබූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මා කිසිදු අවස්ථාවක එම සංවිධානයට සහාය පළ කරමින් කටයුතු කළේ නැහැ. මුස්ලිම්වරු ඊට සම්බන්ධ නොවිය යුතු බවට මා මගේ දේශනවලින් සඳහන් කර තිබුණා."යනුවෙන් සඳහන් කළා.
රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ බව කියන සහරාන් හෂිම් සමග පැවති සම්බන්ධතා ගැනත් විත්තිකරු අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කළා. "ස්වාමීනී... 2005 සහ 2006 වසරවල "දූරුල් අදර්" නමැති සංවිධානයේ සහරාන් හෂිම් කටයුතු කළා. පසුව සහරාන් හශීම් එම සංවිධානයෙන් ඉවත් වී ජාතික තව්හීද් ජමාත් සංවිධානය නිර්මාණය කළා. මම එම සංවිධානයට විරුද්ධවයි හිටියේ. පසුව මා කටාර් රාජ්‍යයට පිටත්ව ගියා. කටාර් හී සිටින කාලයේ මම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටියා. සහරාන්ගේ එන්.ටී.ජේ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා. ලේ දන්දීම වැනි ප්‍රජා සේවාවන් ඉටු කිරීමේ අරමුණින් තමයි එය ක්‍රියාත්මක වුණේ. 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී ක්‍රියාකාරකම් මුදා හැර තිබුණා. මුස්ලිම් ජනතාව ගේ දේපළවලට ප්‍රහාර එල්ල වුණා. ඉස්ලාමීය දේවස්ථානවලට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානි සිදුවුණා. ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම සිදුවුණා. මුස්ලිම් ජාතිකයින්ගේ පරිශ්‍රවලට ඌරු මස් විසි කිරීම සිදුවුණා. කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාලියක් ගමන් කළා. මේ සියල්ල සිදුවුනේ මහා දවල් පොලිසිය සහ ආරක්ෂක අංශවල ඇස් ඉදිරිපිටයි. නමුත් ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම පියවරක් ගත්තේ නෑ. මේ පිළිබඳව මා ගැඹුරු සොයා බැලීමක් සිදු කළා. එහිදී මා තේරුම් ගත්තා මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රායින් ක්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවන් බවට පෙනී ගියා. එම ක්‍රියා පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබෙන බවත් මට තේරුම් ගියා. මේ පිළිබඳව ඉස්ලාමීය මවුලවීවරයකු වශයෙන් මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යැයි මා කල්පනා කළා. ඉස්ලාම් ජනතාව තම ආගමික පිළිවෙත් නිසි පරිදි පිළි නොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් මා කල්පනා කළා." ඒ අනුව තමන් ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකළ බවත් විත්තිකරු ප්‍රකාශ කර සිටියා.
ආගමික දේශනවල දී ආයුධ ගෙන සටන් කළ යුතු බව මා ප්‍රකාශ කළේ නෑ
වැඩිදුරටත් කරුණු දැක්වූ විත්තිකරු " 2007 වසරේ සිට 2017 වසර දක්වා කාල සීමාව තුළ සහරාන් හෂීම් සමග මගේ කිසිම සම්බන්ධතාවයක් තිබුණෙ නෑ. නමුත් සහරාන් විවාහ වී සිටින්නේ මගේ ඥාති කාන්තාවක් සමග යි. ඒ අනුව සහරාන් මා දැනගත්තා. ඔහුගේ සහෝදරයා රිල්වාන් වත් මා දැන සිටියා. නමුත් පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නෑ." යනුවෙන් විත්තිකරු පැවසුවා.
වැඩිදුරටත් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ විත්තිකරු" ස්වාමීනි... මෙම නඩුවේදී 'අනාස්" නමැති පුද්ගලයකු සාක්කි ලබා දුන්නා. ඔහු සඳහන් කර සිටියා නුවරඑළිය සහ හම්බන්තොට පැවති "බයාන්" නමැති ආගමික දේශනවලදී ආයුධ ගෙන සටන් කළ යුතු බවද මා විසින් ප්‍රකාශ කළ බවට. "ජිහාද්" පිළිබඳව දේශනා කළ බවට. ස්වාමීනී... ජිහාද් කියන්නේ "අසීරුවෙන් කරන සෑම ක්‍රියාවක්ම" යන්නට යොදන වචනයක්. ඒ යටතේ ආයුධ සන්නද්ධ අරගලයක් කිරීමට අවස්ථා දෙකක් තිබෙනවා. මුස්ලිම් රාජ්‍යයක් පවතින අවස්ථාවක එහි පාලකයාට හැකියාවක් තිබෙනවා වෙනත් ප්‍රදේශයක් ආගමේ නාමයෙන් ආක්‍රමණය කිරීමට සන්නද්ධ අරගලයක් දියත් කිරීමට. දෙවන අවස්ථාව තමයි ආත්මාරක්ෂාව වෙනුවෙන් අවි අරගලයක් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ ගැන තමයි මම එම දේශනවලදී පුළුල් පැහැදිලි කිරීමක් කළේ. නමුත් මේ සාක්කිකරු එම පුළුල් දේශනයේ "ආයුධ සන්නද්ධ අරගලයක් කළ යුතු බවට" මා විසින් ප්‍රකාශ කළේ යැයි තෝරාගත් කොටසක් පමණක් ඉදිරිපත් කරමින් සාක්ෂි දී තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මා ප්‍රකාශ කළේ එවැනි අදහසක් නෙවෙයි. ඒ පිළිබඳව මගේ නීතිඥවරු හරස් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී අනාස් නමැති සාක්ෂිකරු ඊට පිළිතුරු දීම මග හැර ගියා. මා විසින් දේශන පැවැත්වූ අවස්ථාවලදී අවි පුහුණුව, අයි.එස්. කොඩිය ප්‍රදර්ශනය කිරීම, අයි.එස්. ප්‍රතිඥාව ලබාදීම (බයියත්), ස්වයං ඝාතක ප්‍රහාරකයින් සහ සාමාන්‍ය ප්‍රහාරකයින් තෝරා ගැනීම වැනි ක්‍රියා සිදු වුනේ නෑ" යනුවෙන් වැඩිදුරටත් පැවසුවා.
මට විරුද්ධ කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ
වැඩිදුරටත් අධිකරණය හමුවේ සිය විත්තිවාචකය ඉදිරිපත් කළ විත්තිකරු…
"ස්වාමීනී.... මා සහරන් හෂීම්, රිස්වාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග එක්ව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට හෝ සැලසුම් කළ බවට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. මා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මගේ ජංගම දුරකථනයත් පොලිසිය භාරයට ගෙන විමර්ශන සිදු කෙරුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වෙලා නෑ. වත්තල ප්‍රදේශයේ දී සහරාන් හෂීම් තමන්ට 9mm ගිනි අවියක් ලබාදන් බවට පොලිසිය විසින් ප්‍රකාශ කරලා තිබුණත් ඒ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන්, රිල්වාන් , ඉන්සාබ්, ඉල්හාම් යනාදි මරා ගැන මැරෙන බෝම්බ කරුවන් සමග තමා සම්බන්ධතාවයක් පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමටත් පැමිණිල්ල සමත් වෙලා නැහැ. මේ නඩුවෙන් චෝදනා එල්ල කරලා තිබෙන කාලසීමාවේ ශ්‍රී ලංකාවේ කොහොමත් ජාතික සංහිඳියාවක් තිබුණේ නෑ. සංහිඳියාවක් තිබුණේ නැත්නම් මා ඒක උල්ලංඝනය කරන්නේ කොහොමද? ස්වාමීනි. ඒ අනුව මෙම චෝදනාවලින් මා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් විත්තිකාර නවුෆර් මවුලවී සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
