Image

සාගර කාරියවසම්ට ඇප

සාගර කාරියවසම්ට ඇප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇප මත මුදා හරින ලෙස කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කරයි.

පිටු 17 කින් යුත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් රුපියල් ලක්ෂ 20 බැගින් ශරිර ඇප 2ක් මත මුදා හරින ලෙස නියෝග කර, විදෙස් ගමන් ද තහනම් තහනම් කර, ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ද නියෝග කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද දින CCIB එක විසින් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ දී අද (10) පෙරවරු 10.45 ට චෝදනා පහදා දී අත්අඩංගුවට ගත්තේ වර්තමාන 37 වන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සහ ඒ තුළින් ඒ මහතාට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙනි.

ඒ අනුව සැකකරු අද (10) පස්වරු 3.30ට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරමින් B වාර්තාවක්ද සමගින් කරුණු වාර්තා කලා. එහි දී එම ඒකකය අධිකරණයට කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය සිදු කරන බව යි.

එහි දී කරුණු දක්වමින් නිලධාරීන් සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ විහාරාධිපතිවරු තිදෙනෙක් පැමිණිලි කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර අද දින සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කැඳවීමක් කර, චෝදනා පහදා දී 10.45 ට අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම සැකකරුට දණ්ඩ නීති සංග්‍රහයේ 102, 108, 113, 114, 120, 186, 486 යන වගන්ති යටතේ චෝදනා ගොනු කරන බව දන්වා සිටියා.

මේ ප්‍රකාශ කරකරන්නේ කිසිවෙකුගේ වුවමනාවට ද…?

ස්වාමිනි…, පොලිස්පතිවරයා අපට පැමිණිල්ලක් කරා මේ පුද්ගලයා ඉකුත් 03වෙනිදා රටේ මිලියන 20ක ජනතාව ඉදිරියේ කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. වර්තමාන පොලිස්පතිවරයා දැනට රටේ විශාල අපරාධකරුවන් සම්බන්ධයෙන්, විදෙස්ගත අපරාධකරුවන් සම්බන්ධයෙන්, සංවිසංවිධානාත්මක අපරාධකරුවන් වගේම දුෂිත දේශපාලකයන් වගේම නිලධාරීන් සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්. ඒ නිසා පොලිස්පතිවරයාට මරණ බියක් තියනවා. මොකද ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් වුණ පොලිපතිවරයා නිසා. මේ සැකකාර පුද්ගලයා නීතිඥවරයෙක්. නමුත් ඔහු එම වෘත්තීයේ සදාචාරය , ගෞරවය කෙලසමින් තමයි ක්‍රියා කරලා තියෙන්නේ. අපට සැකයක් තියනවා මේ ප්‍රකාශ කරකරන්නේ කිසිවෙකුගේ හෝ උවමනාවට බව. දැනට හිරු ආයතනය පමණයි සංස්කරණය නොකල දර්ශන ලබා දුන්නේ . ඒ නිසා ඉදිරි විමර්ශන ක⁣ටයුතු සිදු කිරිම සඳහා 8/24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.

පොලිස්පතිවරයා ගේ ජිවිතයට තර්ජනයක්

විනිසුරුවරයා ප්‍රශ්න අසයි :- 113, 114 යටතේ චෝදනා පවත්වාගෙන යන්නේ කේසේ ද?

ඒ වගේම 102,108, 113 වගන්දි කුමකට අදාල ද, ඒ වගන්ති තුනට ස්වාධීනව පවතින්න බෑ. අනුබල දීම එකක් තැත් කිරිම තව එකක්. එවාට දෙන දඬුවම් වෙනස්. 120 යනු රාජ්‍යට එරෙහිව විරුද්ධත්වය ඇවිස්සීම හෝ තැත් කිරිම, 186 යනු රාජකාරියට බධා කිරීම. චෝදනා පැහැදිලි මදි. සිද්ධියට අදාළව මෙහෙදි චෝදනා ගම්‍ය වන්නේ නෑ.

CCIB :- ස්වාමිනි…, කුමන්ත්‍රණය හා පෙලඹවිම මගින් පොලිස්පතිවරයා ගේ ජිවිතයට තර්ජනයක් 296 වගන්තිය යටතේ බැඳී පවතිනවා.

ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කරන්න

ඉන් අනතුරුව සාගර කාරියවසම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් කරුණු දැක්වීය.

ස්වාමීන් මේ අයට චෝදනා පවා ගොනු කර ගන්න බෑ. අඩු තරමේ මේ අය මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයවත් හරියට අධ්‍යන්‍ය කරලාවත් නෑ. මං ඉදිරිපත් කරනවා ඒ කරපු ප්‍රකාශය සම්පුර්ණයෙන්ම. මං මේ ප්‍රකාශ යම් තැන් කිහිපයක් පෙන්වා දෙන්න කැමතියි ස්වාමිනි. ස්වාමීනි මේ ප්‍රකාශය කොතනකවත් පොලිස්පතිවරයාට මරන තර්ජනයක් කරලා නෑ. මුල ඉඳන් බැලුවොත් ඒක පේනවා. නමුත් ඔබතුමාට ඒක පෙනෙයි කියලා තමයි මේ අය කොටසක් විතරක් පෙන්වන්නේ. මේ සියලු චෝදනා ඇප දිය හැකි චෝදනා. මේ පුද්ගලයාට මීට පෙර කිසිම උසාවියක නඩුවක් නෑ. එන්න කියපු වෙලාවට ම විමර්ශනය සඳහා සහය දීමට පැමිණියා. මෙතනදි කියන්නේ මේ ආණ්ඩුව පත්වුනාට පසු 34,35, 36;යන පොලිස්පතිවරුන්ට අත්වුණ ඛේදනීය ඉරණම මේ පොලිස්පතිවරයාට අත් නොවීමට නං ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කරන්න කියලයි.

සමාජයක යහපැවැත්ම සඳහා භාෂාව නිවැරැදි ව භාවිත කළ යුතුයි

විනිසුරුවරයා :- නමුත් මේ පුද්ගලයා පක්ෂයක නායකයෙක් ලෙස ශිෂ්ට සම්පන්න සමාජයක යහපැවැත්ම සඳහා භාෂාව හරියට භාවිතා කළ යුතුයි නේද. මේක ප්‍රාථමික ග්‍රෝත්‍රික සමාජයක් නෙවෙයි. මේ ප්‍රකාශ ඒ පුද්ගලයාගේ බිරිඳට දරුවන්ට අපකිර්තියක් ගෙන්න පුලුවන්.

සම්පත් මෙන්ඩිස් :- නමුත් ස්වාමිනි මේ අවස්ථාවේ ඒ කොටස දිහා විතරක් බලන්න එපා කියලා ඉල්ලනවා.

පාරෙ ගහලා මරනවා කියන ප්‍රකාශය බරපතළයි

විනිසුරුවරයා :- ඔබේ ස්ථාවරය හරි, නමුත් ඒකෙන් කෙනෙකුට රිදෙනවා නම් එක හරි නෑ. මේ පුද්ගලයා මේක කිව්වේ මහජන මාධ්‍යයක, මේයා දේශපාලන නායකයෙක්.

සම්පත් මෙන්ඩිස් :- ස්වාමිනි මේ පැමිණිල්ල පරස්පරතා තියනවා. මේ චෝදනා අපහැදිලියි. විශේෂයෙන් ජිවත් වෙලා ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් 296 වගන්තිය පවත්වාගෙන යා නොහැකියි.

විනිසුරුවරයා :- නමුත් පාරෙ ගහලා මරනවා කියන ප්‍රකාශය බරපතළයි. ඒ ගැන ඔබලා කිසිවක් කියන්නෑ.

සම්පත් මෙන්ඩිස් :- ස්වාමීනි අපි කියන්නේ මරනවා කියලා නෙවෙයි. එහෙම දෙයක් වෙනවට කැමති නැ කියලා.

සමාව ඉල්ලා කනගාටුව ප්‍රකාශකරන්න කැමති ද…?

විනිසුරුවරයා :- නීතිය බැඳිලා ඉන්නවා ජීවිත සහ දේපළ ආරක්ෂා කරන්න. යමේකුගේ ජිවිතය සම්බන්ධයෙන් ශිෂ් සම්පන්න ප්‍රවේශයක් තිබිය යුතුයි. කාට හරි හෙට මෙහෙම විනිසුරුවරයාට හෝ නීතිඥනරයෙකුට කියන්න පුළුවන්. ඔබ මේ නඩුවට ඉන්න එපා ගහලා මරයි කියලා. එක ඉතා බරපතළයි. සමාව ඉල්ලා කනගාටුව ප්‍රකාශකරන්න කැමති නැද්ද…

සම්පත් මෙන්ඩිස් ඒ අවස්ථාවේ දි විත්තිකුඩුවේ සිටි සාගර කාරියවසම්ගෙන් එය විමසුවා.

මඳ වෙලාවකට පසු.

සම්පත් මෙන්ඩිස් :- මේ සම්බන්ධයෙන් අප පොලිස්පතිවරයාට කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

විනිසුරුවරයා :- එහි සමාව කියන කොටස නැද්ද.

සම්පත් මෙන්ඩිස් :- අපි ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා පමණයි ස්වාමිනි.

ඉන්අනතුරව විනිසුරුවරයා නියෝගය ලබා දීම හවස 5.30 දක්වා කල්තැබුවා.

එහිදී මධ්‍යයම අපරාධ විමර්ශන ඒකකය ඉල්ලා සිටි සියලු ම නියෝග ලබා දුන් අතර මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 24 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.

වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න