රාජපක්ෂලාට අදාළ එක නඩුවක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නැති බවත්, ඒවා විභාග වන මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල විනිසුරුවරුන් ගෙන් බහුතරය වයස අවුරුදු 30 - 50 අතර අය යැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ එම පක්ෂ කාර්යාලයේ දී අද (05) පැවති අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...
අලුතෙන් පත්වන විනිසුරුවරු හොරු ආරක්ෂා කරයි කියා සිතීම අධිකරණයට කරන අපහාසයක්
''මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ හේතුව ලෙස ආණ්ඩුව කියන්නේ හොරු ඇල්ලීමට සහ නඩු ප්‍රමාදය වැළක්වීමට විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බව. හොරකම් පිලිබඳ නඩු විභාග වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නෙවෙයි. රාජපක්ෂලාට අදාළ එක නඩුවක්වත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නෑ. ඒවා විභාග වන මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල විනිසුරුවරුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30 - 50 අතර අය. ඔවුන් මේ නඩු අවසන් වීමට පෙර විශ්‍රාම ගොස් නඩු කඩාකප්පල් වීමේ ඉඩක් නෑ. ඒ වගේම හොරු ඇල්ලිය හැක්කේ දැනට සිටින විනිසුරුවරුන්ට පමණයි, අලුතෙන් පත්වන විනිසුරුවරු හොරු ආරක්ෂා කරයි කියා සිතීම අධිකරණයට කරන අපහාසයක්.
අධිකරණවල පුරප්පාඩු සියයකට වැඩියි
නඩු කල් යෑම සහ ප්‍රමාදය විසඳන්න වෙන්නේ අධිකරණ පද්ධතිය පුළුල් කිරීම, අලුතෙන් විනිසුරුවරුන් බඳවා ගැනීම, කාර්ය මණ්ඩල පුළුල් කිරීම, ඇතැම් නීතිමය බාධක ඉවත් කිරීම යනාදි ක්‍රියාමාර්ග හරහා. දැනට සිටින පිරිස විශ්‍රාම වයස වැඩි කිරීමෙන් වැඩි කාලයක් තබා ගැනීම විසඳුමක් නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ආණ්ඩුව නඩු කල් යාම ගැන කිඹුල් කඳුළු හෙලන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් ලෙස ඉහළ උසාවි වල පුරප්පාඩු දීර්ඝ කාලයක් හිස්ව තබමින් නිසා මේ කියන හේතු ව්‍යාජ බව පෙනෙනවා. ජනාධිපතිවරයාට එම පුරප්පාඩු පුරවා අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ හැකියි. අනෙක් අතට පූර්ව නඩු විභාග අධිකරණවල පුරප්පාඩු 50ක් සහ සුළු හිමිකම් අධිකරණ වල පුරප්පාඩු 50ක් තිබෙනවා. නමුත් පසුගිය දිනවල මුදල් වෙන් කර නොමැති බව කියමින් බඳවා ගත්තේ මහේස්ත්‍රාත්වරුන් 33ක් පමණයි. නීතිපති දෙපාර්තමේන්තුවට 200ක් හිඟයි. ඒවා ගැන නිහඬව සිටින අතර මෙවැනි කරුණු කීම හාස්‍ය ජනකයි.
අලුතෙන් ඉපදුණ විපක්ෂයේ අය
පාර්ලිමේන්තු විපක්ෂය දැන් බොරුවට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කියනවා. ඒ අය පාලන බලය හොබවන කාලයේ තමයි මේ නරක පූර්වාදර්ශ දුන්නේ. ලංකාවේ 1948 පළමු ආණ්ඩුවත් එවකට සිටි ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක වෙනුවට ආතර් විජේවර්ධන අගවිනිසුරු ලෙස පත් කළේ දේශපාලන හේතු මත. 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විනිසුරුවරයෙකු නොවන නීතීඥ නෙවිල් සමරකෝන් දේශපාලන හිතවත්කම් මත අගවිනිසුරු ධුරයට පත් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව අගවිනිසුරු ධුරයට සුදුසුකම් ලබා සිටි මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා මගහැර කැබිනට් නීති උපදේශක සරත් එන්. සිල්වා පත් කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ට අවාසිදායක තීන්දු දුන් ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් මගින් නෙරපා හැර, විනිසුරුවරයෙකු නොවන මොහාන් පීරිස් පත් කළා. යහපාලන ආණ්ඩුවත් ඔහු ඉවත් කර පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නොවන නීතිපති ජයන්ත ජයසූරිය. මෙවැනි ඉතිහාසයක් සහිත අය දැන් අලුතෙන් ඉපදුණා වගේ අධිකරණ ස්වාධීනත්වය ගැන කෑ ගහනවා.
පාර්ලිමේන්තුවෙන් එළියෙ ජනතාව ගේ නව කඳවුරක් ගොඩනැගිය යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පැත්තෙන් ඉතාම වැදගත්. එකක් රාජ්‍ය ආයතනයක් විසින් ජනතාව ගේ මූලික අයිතිවාසිකම් කඩකළ අවස්ථාවක ජනතාවට යන්න තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම පාර්ලිමේන්තුවට ගෙනෙන ජනතා විරෝධී අණපනත් සම්බන්ධයෙන් නෛතික අර්ථකතන ඉල්ලා යන්න තිබෙන තැනත් එයමයි. පාර්ලිමේන්තු බලය භාවිතා කර ආණ්ඩු නීතිමය අවි ඔසවන විට ජනතාවට තිබුණු විකල්පය එය. ඒ නිසා ආණ්ඩුවේ මෙම තීරණය ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට බරපතළ තර්ජනයක්. එම උත්සාහය පරාජය කළ යුතුයි. ආණ්ඩුව පොරොන්දු වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙවැනි සංශෝධන කරන්න නෙවෙයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන, ජාතික ගැටලුවට විසඳුමක් සම්පාදනය කරන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න. එතෙක් පවතින ව්‍යවස්ථාවට ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහිත සංශෝධන ගෙන එන්න. ඒ වෙනුවට කරන්නේ ජනතා අයිතිවාසිකම් උදුරා ගැනීම. මේ ප්‍රශ්නය විසඳා ගන්න ජනතාව සංවිධානය විය යුතුයි. පාර්ලිමේන්තුව ඇතුළෙ ආණ්ඩුවේ කඳවුරයි, විපක්ෂයේ කඳවුරයි වෙනුවට පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාව ගේ නව කඳවුරක් ගොඩනැගිය යුතුයි.''
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
