Image

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව 28වන දිනට කල් යයි

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව 28වන දිනට කල් යයි

මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබිය දී අරගල සමයේ දී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්‍ෂ 88කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද (05) කැඳවී ය. එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා නඩුව ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවන ලෙසයි.

ඉකුත් ජුලි 07 වැනිදා මේ චෝදනා සම්බන්ධයෙන් මහාධිකරණය අධිචෝදනා භාර දී විත්තිකරුවන්  රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත  මුදාහැරීමටද නියෝග කළ  විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද නියම කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට අමතරව අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගමටයි. 2023 නොවැම්බර් 27 වැනිදාත් 2024 මැයි 29 වැනිදාත් අතර කාලය තුළ මහවැලි අධිකාරියට අයත් සෙවණගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී පසුගිය අරගල සමයේ විනාශයට පත්කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 88,50,000/-ක වන්දියක් ගබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ විග්‍රහ කෙරෙන වරදක් කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ජුනි 19 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා 10 ක් යටතේ නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා නඩු විභාගයේදී  සාක්කිකරුවන් 30 දෙනකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇත.

නඩුව කැඳවු අවස්ථාවේ දී මීට පෙර අධිකරණයෙන් කර තිබු නියෝගයකට අනුව විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර්  28 පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විත්තිකරුවන්ට නියම කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න