Image

සජිත් ආණ්ඩුව ම චෙක්මේට් කළ හැටි

සජිත් ආණ්ඩුව ම චෙක්මේට් කළ හැටි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙර නඩු තීන්දුවක් උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයසට බලපාන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට සුවිශේෂී තර්කයක් ගොඩනැගුවා.

ස්ථාවර නියෝග 27(2) යටතේ අදහස් දක්වමින්, සජිත් ප්‍රේමදාස, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම යන වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කර ඇති බවත්, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ 2022 දී ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුව ගෙන හැර දක්වමින් සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ විශ්‍රාම යන වයසට හෝ ධුර කාලයට සෘජුව හෝ වක්‍රව වත්මන් විනිසුරුවරුන්ට බලපාන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වන අතර එය ජනමත විචාරණයක් අවශ්‍ය වන 3 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බවට අධිකරණය තීරණය කර ඇති බවයි.

විනිසුරුවන් ගේ

බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු හා ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 2022 වසරේ මෙම නඩු තීන්දුව ලබාදී තිබුණා.

“ ධුර කාලයේ නියුතු විනිසුරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති කරමින් ඔවුන්ගේ විශ්‍රාම යන වයසට හෝ ධුර කාලයට සංශෝධනයක් එක් කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් අධිකරණයේ ස්වාධිනත්වයට බාධාවක් සිදුවන නිසා එය ජනමත විචාරණයකට තුඩු දෙන තුන්වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට මෙහි පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා”

ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙයට විරුද්ධ ද...?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාව ගැන සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළ අතර, මෙම පියවරට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ දේශීය හා ජාත්‍යන්තර නීති ආයතන කිහිපයක්ම දැනටමත් සිය විරුද්ධත්වය ඵලකර ඇති බව ද පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වකරුවන් ඉදිරිපත් අදහස්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රිවරුන්ට කරුණු පැහැදිලි කරන ලෙස තමන් ඉල්ලා සිටි බවත් ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේ, නීතිඥ සංගමයේ සභාපතිවරයා ගේ ප්‍රකාශයට අනුව ගෞරවණීය ත්‍රෛනිකායික මහා සංඝරත්නය පවා මෙයට විරුද්ධ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි කියන ලිපිය සභාගත කරන ලෙසයි.

ජනතාවට දුන් පෙරොන්දුව වහාම ක්‍රියාවට නංවන්න

මේ වනවිට අධිකරණවල ගොඩගැසී ඇති බව කියන මිලියන 1.1 ක පමණ නඩු ප්‍රමාණය, විනිසුරුවරුන් ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම හරහා අඩුකර ගතහැකි ආකාරය පැහැදිලි කරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියා.

විනිසුරුවරුන්ගේ හිඟය සේම අධිකරණ පරිපාලනය, රජයේ රසපරීක්ෂක හා නීතිපති දෙපාර්තමේන්තුවල සහ වෙනත් ආයතනවල ප්‍රමාදයන් නිසා සිදුව ඇති නඩු කටයුතු ප්‍රමාදය පිළිබඳ නිල දත්ත සභාගත කරන ලෙස කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා, අධිකරණ අමාත්‍යාංශය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව 2023 වසරේ වාර්තාවක් සකස් කර තිබිය දී, අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පද්ධතිමය ප්‍රතිසංස්කරණ සිදු කරමින් රජය පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් ගෙන එන බව කියූ ආණ්ඩුව, දැන් අධිකරණ පද්ධතිය වෙනුවෙන් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කිරීමට උත්සාහ කිරීම ගැටලුවක් බවත්, තමන් ජනතාවට දුන් පෙරොන්දුව වහාම ක්‍රියාවට නංවන ලෙස තමන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අවධාරණය කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න