බීර නිෂ්පාදනයට ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම විරෝධතා සඳහා ඔක්තෝබර් මස 02වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පෙත්සම ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.
එහි දී වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි කේ. කනගීෂ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි සබ්‍රි යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරවලට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව වගඋත්තරකරුවන්ට විරෝධත ගොනු කිරීම සඳහා අවසර ලබා දුන් අධිකරණය පෙත්සම යළි ඔක්තෝබර් මස 02වන දා කැඳවන ලෙස නියම කළා.
බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ සුරාබදු පනතේ දෙවැනි වගන්තිය මගින් "බීයර්" යනුවෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෝල්ට්වලින් සාදන ලද පැසුණු මත්පැන් බවයි. එහෙත් වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කරන බවට තොරතුරු හෙළි වී ඇති බවත්, එසේ බීර නිෂ්පාදනය කිරීම සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි බවත්, පෙත්සම්කරුවන් චෝදනා කළා.
රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදල්වලින් විශාල සහනාධාරයක් ලබා දෙමින් තිබිය දී එසේ නිෂ්පාදනය කරන සහල් බියර් යනාදි වාණිජ කර්මාන්තයක් සඳහා යෙදවීම තුළින් ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල වන බවයි පෙත්සම්කරුවන් සඳහන් කළේ. මේ හරහා ශ්‍රී ලංකාවට සහල්වලින් ස්වයංපෝෂිත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය යාවත්කාලීන වී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ඒ අනුව පෙත්සන්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සීනි සහ සහල් භාවිත කිරීමට අනුමැතිය දීම වළක්වාලන නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
